Print this Article


සද්පුරුෂ චරිත ලක්ෂණ හඳුනා ගනිමු

සද්පුරුෂ චරිත ලක්ෂණ හඳුනා ගනිමු

තමාගේ ජීවිතයට සැප කැමැති කෙනා, සුන්දර ජීවිතයක් ඇතිකර ගන්න කැමැති කෙනා ජීවිතය ආරක්ෂා කරගන්ට ඕන. ජීවිතය ආරක්ෂාකර ගැනීම පිණිස සද්පුරුෂ ඇසුරට එයා පත්වෙන්ට ඕනෑ. සද්පුරුෂයන්ගේ ඇසුරට පැමිණෙන්ට ඕනෑ. සද්පුරුෂයන්ගේ ඇසුරට පත්වෙන්න නම් සද්පුරුෂ ඇසුරට කැමැති කෙනා මොකක්ද කළ යුත්තේ? තමන් සද්පුරුෂයෙක් බවට පත්වන්ට ඕනෑ. තමන් සද්පුරුෂයෙක් නොවී සත්පුරුෂ ඇසුරට පත්වෙන්ට බෑ

පාප මිත්‍ර සේවනය, පාපී අය සමඟ ඇසුරු කිරීම ඥානවන්තයන් අගය කරන්නේ නෑ. අප පවිටු පුද්ගලයන් සමඟ ආශ්‍රයට කවදාවත් කැමැති වෙන්ට හොඳ නෑ. එය අගය කරන්ට හොඳත් නෑ. එය වර්ණනා කරන්ටත් හොඳ නෑ.එබඳු අය සමඟ ඇසුරටවත් සිතිවිල්ලක් ඇති කරගන්නටවත් හොඳ නෑ.

ආනන්ද මහරහතන් වහන්සේගේ ථේර ගාථාවල අපට මේ විදිහට කියා දෙනවා ‘කේළාම් කියාගෙන, ක්‍රෝධ කරගෙන, මසුරුකම් කර කර විනාශ වෙලා යන්න කැමැති උදවිය ඉන්නවා. ඒ අයත් එක්ක මිත්‍ර වෙන්න ඥානවන්තයෙක් කැමැති වෙන්නේ නෑ. පවිටු පුද්ගලයන් එක්ක ආශ්‍රය කිරීමත් පවිටු දෙයක්’ බලන්න මේ පාප මිත්‍ර සේවනයට ප්‍රඥාවන්තයන් ගරහන හැටි. ඊට පස්සේ කියා දෙනවා ‘ශ්‍රද්ධාවන්ත , සිල්වන්ත, ප්‍රඥාවන්ත, උදවිය ඉන්නවා. ඒ අය ධර්මයත් හොඳට දන්නවා. ඥානවන්තයා මිත්‍රත්වයක් ගොඩනගා ගන්නේ ඒ උදවියත් එක්කයි. සද්පුරුෂයන් සමඟ ඇසුරු කිරීම සුන්දර දෙයක් “ බලන්න ඥානවන්ත කෙනා සද්පුරුෂ ඇසුර කොච්චර වර්ණනා කරනවද කියල. ප්‍රඥාවන්ත කෙනා අසද්පුරුෂ ඇසුර වර්ණනා කරන්නේ නෑ.අසද්පුරුෂ ඇසුර පිළිකුල්කරනවා. බැහැරකරනවා. ඒකට නින්දා කරනවා. ඒ නිසා අප ඒ විදිහට තේරුම් ගන්ට ඕනෑ. අසද්පුරුෂ ඇසුර කියන එකට අප කැමැති වෙන්ට හොඳ නෑ. ඒක පිළිකුල් සහගත දෙයක් විදිහමයි අප බැහැර කරන්ට ඕනෑ. ඒක බැහැර කළ යුත්තේ ලෝකයට පෙනෙන්න නෙවෙයි. ඒක තමන් තුළින් තමා පෞද්ගලිකව කළ යුතු දෙයක්. පවිටු පුද්ගලයන් බැහැර කිරීම කියන කාරණාව තමන් පෞද්ගලිකව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කළ යුතු දෙයක්. ඒ සඳහා තමයි මේ මහා ප්‍රඥාවන්තයන්ගේ අවවාද අප පිළිගත යුත්තේ.

ආනන්ද ස්වාමින්වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පහදා දුන්නේ මහා පණ්ඩිතයි, ප්‍රඥාවන්තයි කියල. එහෙම නම් ඒ වගේ ඒ රහතන් වහන්සේලාගේ අවවාද අප පිළිගත්තොත් අපට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ ධර්මය පිළිගැනීමෙන් ම අපට විශාල පිනක් රැස් වෙනවා. යහපතක් වෙනවා. බලන්න සද්පුරුෂයන්ගේ ඇසුර වර්ණනා කරන හැටි “ ශ්‍රද්ධාවන්ත, සිල්වන්ත, ප්‍රඥාවන්ත, උදවිය ඉන්නවා. ඒගොල්ලෝ ධර්මයත් හොඳට දන්නවා. ඥානවන්තයා මිත්‍රත්වයක් ගොඩනගා ගන්නේ ඒ උදවියත් එක්කයි “ එවිට ඥානවන්තයා තමයි සද්පුරුෂයාත් සමඟ මිත්‍රත්වයක් ගොඩ නගා ගන්නෙ. ඥානවන්ත නැති කෙනාට සද්පුරුෂයන් සමඟ මිත්‍රවෙන්න පුළුවන්කමක් නෑ.

සද්පුරුෂයන් සමඟ ඇසුරු කිරීම සුන්දර දෙයක්. ඇයි සද්පුරුෂයන් සමඟ ඇසුරු කිරීම සුන්දරයි කියලා කියන්නේ? එවිට තමන්ගේ ජීවිතයත් සුන්දර දෙයක් බවට පත්කර ගන්ට පුළුවන්කම තියෙන නිසයි. ඉතින් අප කැමැති වෙන්න ඕනෑ. අපේ ජීවිතය සුන්දර එකක් බවට පත් කර ගන්න. යම් කෙනෙක් කැමැති වෙනවා නම් තමන්ගේ ජීවිතය සුන්දර කර ගන්න, එය ඉතාම සැප සහිත ජීවිතයක්, සුව පහසු ජීවිතයක් බවට පත්කර ගන්ට එයා කැමැති වෙන්ට ඕන සත්පුරුෂ ඇසුරට පත්වෙන කෙනාට ආරක්ෂාවක් තියෙනවා.අනාරක්ෂාවක් ඇති වෙන්නේ නෑ. ඒ නිසා සද්පුරුෂ ඇසුරේ වටිනාකම මෙච්චරයි කියලා ඒක ප්‍රමාණ කරන්න බෑ. එතරම්ම සද්පුරුෂ ඇසුර වටිනා දෙයක්. ඒ නිසා අප ඒ සද්පුරුෂ ඇසුරට කැමැති වෙන්ට ඕනෑ.

තමාගේ ජීවිතයට සැප කැමැති කෙනා, සුන්දර ජීවිතයක් ඇතිකර ගන්න කැමැති කෙනා ජීවිතය ආරක්ෂා කරගන්ට ඕන. ජීවිතය ආරක්ෂාකර ගැනීම පිණිස සද්පුරුෂ ඇසුරට එයා පත්වෙන්ට ඕනෑ. සද්පුරුෂයන්ගේ ඇසුරට පැමිණෙන්ට ඕනෑ. සද්පුරුෂයන්ගේ ඇසුරට පත්වෙන්න නම් සද්පුරුෂ ඇසුරට කැමැති කෙනා මොකක්ද කළ යුත්තේ? තමන් සද්පුරුෂයෙක් බවට පත්වන්ට ඕනෑ. තමන් සද්පුරුෂයෙක් නොවී සත්පුරුෂ ඇසුරට පත්වෙන්ට බෑ. ඒ නිසා අපේ ජීවිතයට සැප ඇති කරගන්ට කැමැති නම් ජීවිතය ආරක්ෂා කරගන්ට කැමැති නම් සත්පුරුෂයන්ගේ ඇසුරට කැමැති වෙන්ට ඕනෑ. තමා සත්පුරුෂයෙක් නොවුණොත් ලැබුණ සද්පුරුෂ ඇසුර එයා බැහැර කරදානවා. වැඩි කාලයක් යන්ට කලින් ඒක අතහැර දානවා. ඒක එයාට වදයක් බවට පත්වෙනවා. අසද්පුරුෂයාට සද්පුරුෂ ඇසුර මිහිරි දෙයක් වෙන්නේ නෑ. එයා සද්පුරුෂ ඇසුර වර්ණනා කරන්නේ නෑ. එයාට ඒක කරදරයක්. ඒ නිසා අප ලබන සද්පුරුෂ ඇසුර අපේ ජීවිතයට සමීප කර ගන්න නම් අප සද්පුරුෂයන් බවට පත්වෙන්ට ඕනෑ.

කොහොමද අප සද්පුරුෂයන් බවට පත්වෙන්නෙ? අප සද්පුරුෂ ගුණ ඉගෙන ගන්ට ඕනෑ. සත්පුරුෂ ගුණ ඉගෙන ගෙන සද්පුරුෂ ගුණ අපේ ජීවිතයට එකතු කර ගන්ට ඕනෑ. අසද්පුරුෂ ලක්‍ෂණ හඳුනා ගෙන අසත්පුරුෂ ලක්‍ෂණ බැහැර කරන්ට ඕනෑ. එවිට අපට සද්පුරුෂභාවය ඇති කරගන්ට පුළුවන්කම තියෙනවා. අසද්පුරුෂයාගේ ස්වභාවය තමයි අන්අයගේ අඩු පාඩු කියන එක. ඇහුවත් නැතත් අන් අයගේ අඩුවමයි කියන්නේ. වැරැදිමයි කියන්නේ. ඇහුවොත් එහෙම අඩුපාඩු විස්තර කර කර කියනවා. ඒ අසත්පුරුෂයාගේ ගතියක්. ඒ වගේම අනිත් අයගේ හොඳ කියන්නේ නෑ.ඇහුවොත් එහෙම හංග හංගා තමයි කියන්නේ, යාන්තම් කියන්නේ, ඒකත් අසද්පුරුෂයාගේ ගතියකි.

ඊළඟට ඒ අසද්පුරුෂයා තමන්ගේ යම් හොඳක් තියෙනවා නම් ඇහුවත් නැතත් ඒ හොඳ කියනවා. ඇහුවොත් එහෙම එය විස්තර කර කර කියනවා. තමන්ගේ හොඳ පමණක් පැවැසීම අසද්පුරුෂ ගතියක් ඊළඟට අසද්පුරුෂයා තමන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක කියන්නේ නැහැ. සඟවා ගෙන ඉන්නවා. ඇහුවොත් එහෙම හංග ගෙන තමා කියන්නේ, සම්පූර්ණයෙන් කියන්නේ නෑ. ඒවා අසත්පුරුෂගති. අසද්පුරුෂයෙකුගේ චරිත ලක්ෂණ අප හඳුනා ගන්න ඕනෑ. ඒ චරිත ලක්ෂණ අප ළඟ තියෙනවා නම් ඒවා බැහැර කරන්න අවශ්‍ය බව ධර්මයේද සඳහන් වෙනවා.

ඒ වගේම සද්පුරුෂයාගේ චරිත ලක්‍ෂණත් තියෙනවා. සදපුරුෂයාගේ ස්වභාවය තමයි අනුන්ගේ අඩුපාඩු කියන්නේ නෑ. යම් කෙනෙක් අනුන්ගේ අඩුපාඩු මොනවාහරි ඇහුවොත් එය සම්පූර්ණයෙන් කියන්නේ නෑ. සඟවලා තමයි කියන්නේ ඊළඟට ඒ සද්පුරුෂයාගේ චරිත ලක්ෂණයක් තමයි අනිත් අයගේ හොඳ කියනවා. ගුණ කියනවා. ඇහුවත් නැතත් අනුන්ගේ ගුණ කියනවා. ඇහුවොත් එහෙම විස්තර කර කර කියනවා. හොඳට මතක තියා ගන්න මේ කාරණා. මේවා සරල දේවල් විදිහට හිතන්න එපා. අප සමහර වෙලාවට මේවා අහලත් ඇති. කියවලත් ඇති. නමුත් අපේ ජීවිතයේ සත්පුරුෂභාවය ඇති කරගන්ට බැරි වුණේ මේවා නොවටිනා දේවල් විදිහමට කල්පනා කළ නිසා. මේ තමයි ජීවිතයේ දියුණු කරගන්න තියෙන පදනම. ඒ නිසා මේක අතිශය වැදගත් උතුම් කාරණයක් විදිහට සලකලා පිළිගන්න.

සද්පුරුෂයාගේ ගති දෙකක් අප කිව්වා. පළවෙනි එක මොකක්ද? අනුන්ගේ අඩුපාඩු කියන්නේ නෑ. ඇහුවොත් එහෙම සඟවලා කියන්නේ කෙටියෙන් පැවසුවොත් හංගලා තමයි කියන්නේ, අනුන්ගේ ගුණ ඇහුවත් නැතත් කියනවා. ඇහුවොත් එහෙම විස්තර කර කර කියනවා. එවිට තමාගේ යම්කිසි ගුණයක් තියෙනවා නම් සත්පුරුෂයා ඒක කියාගෙන යන්නේ නෑ.ඇහුවොත් එහෙම හංග ගෙන කියන්නේ. තමන්ගේ තියෙන ගුණ සම්පූර්ණයෙන් කියන්න යන්නේ නෑ. ඊළඟට යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ප්‍රකට කරල එයා කියනවා ඇහුවොත් එහෙම සම්පූර්ණයෙන් කියනවා. මගේ මේ අඩුපාඩුව තියෙනවා කියලා. ඒවා සත්පුරුෂයින්ගේ චරිත ලක්ෂණ.

එවිට අප සත්පුරුෂයාගේ චරිත ලක්‍ෂණත් අසද්පුරුෂයාගේ චරිත ලෂණයත් හඳුනා ගෙන අසද්පුරුෂ ගති අප බැහැර කරන්නත් සත්පුරුෂ ගති අපේ ජීවිතයට එකතු කර ගන්නත් කැමති වෙන්න ඕන.

එතකොට අපට සද්පුරුෂයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා.