Print this Article


අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ

උදායී කියා සිටිනවා,මේ සඳහා මට කරුණු පහක් දක්වන්න පුළුවන්. ඔබ වහන්සේ පමණ දැන ආහාර වළඳනවා. කටුක ආහාර වුව උපේක්‍ෂාවෙන් පිළිගන්නවා. පංශුකූලික සිවුරු පොරවනවා. සුව පහසු සේනාසන නොසොයා කටුක ස්ථානවල වාසය කරනවා. ඕනෑම කාලයක් හුදෙකලාව වාසය කරනවා. මෙන්න මේ නිසා ඔබ වහන්සේට ජනප්‍රසාදය ලබා ගැනීමේ හැකියාව ඇතැයි මා විශ්වාස කරනවා කියා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උදායි මට ශ්‍රාවකයන් ගරු කරන්නේ සලකන්නේ පූජා මානන කරන්නේ ඔබ ඔය කියන කාරණා නිසා නොවෙයි කියා.

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස

“ඉති ඛො උදායි මම සාවකා ඉමෙහි පඤ්චහි ධම්මෙහි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්කත්වා ගරුකත්වා විහරන්ති”

කාරුණික පින්වතුනි,

අද ධර්ම දේශනය සඳහා මා මාතෘකා කළේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ පරිබ්‍රාජක වග්ගයේ සත්වැනි සූත්‍රදේශනාවයි. එනම් සකුලුදායි සූත්‍ර දේශනයයි.

දිනක් උදෑසන පිණ්ඩපාත චාරිකාව සඳහා සූදානම් වූ බුදුපියාණෝ ඒ සඳහා තවත් කාලවේලා ඇති බැවින් මොරනිවාප නම් වූ පරිබ්‍රාජක ආරාමයේ සකුලුදායි පිරිවැජියා වසන ස්ථානයට වැඩමවා වදාළා.

බුදුහිමියන් වඩිනු දුටු සකුලුදායී පරිබ්‍රාජකයා ‘අප්ප සද්දා භොන්තො හොන්තු මා භොන්තො සද්ද මකත්ථ’ තථාගතයන් වහන්සේ නිහඬතාව අගයන අයෙක්. එබැවින් නිශ්ශබ්ද වන්නැයි ආරාමික පිරිස නිහඬ කළා. පනවා වදාළ ආසනයෙහි වැඩහුන් බුදුපියාණෝ මුලින්ම උදායි පිරිවැජියා අමතා, “උදායී එතරහි කථාය සන්නිසින්නා” උදායී ඔබ කවර කතාවකින් යුක්ත වූයේදැයි විචාළා.

මෙහිදී සකුලුදායී පිරිවැජි තෙම මෙසේ කියා සිටිනවා. “ස්වාමීනි, දිනක් කුතුහල ශාලාවේ දී ශ්‍රමණ බ්‍රාහ්මණ ආජීවක ආදී නොයෙක් පිරිස් විසින් කරන ලද සංවාදයන් මට අසන්නට ලැබුණා. අංග මගධ, දෙරට වැසි අප බොහෝ වාසනාවන්තයි. ෂට් ශාස්තෘවරුන් ඇතුළු බොහෝ ශ්‍රමණ කණ්ඩායම් මෙහි වාසය කරනවා. ඔවුන් අතර වඩාත් සත්කාර ගරුකාර පූජා ලබන්නෝ කවරහුද යන ප්‍රශ්නයට විවිධ පිළිතුරු ලැබුණා. ඒ අතර ඔබවහන්සේ ලබා ඇති ජනප්‍රසාදය ඉතා ඉහළ බව පෙනුනා.”

මෙහිදී බුදුරදුන් අසනවා, ඔබ දන්නවද එසේ ඉහළ ප්‍රසාදයක් ලැබෙන්න හේතුව කුමක්ද කියා. උදායී කියා සිටිනවා,මේ සඳහා මට කරුණු පහක් දක්වන්න පුළුවන්. ඔබ වහන්සේ පමණ දැන ආහාර වළඳනවා. කටුක ආහාර වුව උපේක්‍ෂාවෙන් පිළිගන්නවා. පංශුකූලික සිවුරු පොරවනවා. සුව පහසු සේනාසන නොසොයා කටුක ස්ථානවල වාසය කරනවා. ඕනෑම කාලයක් හුදෙකලාව වාසය කරනවා. මෙන්න මේ නිසා ඔබ වහන්සේට ජනප්‍රසාදය ලබා ගැනීමේ හැකියාව ඇතැයි මා විශ්වාස කරනවා කියා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “අත්ථි ඛො උදායි අඤ්ඤෙව පංච ධම්මායෙහි මමං සාවකා සක්කරොන්ති ගරු කරොන්ති මානෙන්ති පූජෙන්ති” උදායි මට ශ්‍රාවකයන් ගරු කරන්නෙ සලකන්නේ පූජා මානන කරන්නේ ඔබ ඔය කියන කාරණා නිසා නොවෙයි කියා.

ඔවුන් මට සලකන්නේ, මා පිළිබඳ ප්‍රසාදයෙන් කතා කරන්නේ මා උත්තරීතර සීලස්ඛන්ධයෙන් යුක්ත නිසා, මාගේ සර්වඥතාඥානය නිසා, අධිප්‍රඥාවෙන් වෘද්ධත්වයට පත්වීම නිසා, දුකත් දුක ඇතිවීමේ හේතුවත් දුකනැති කිරීමත් දුක නැතිකිරීමේ මාර්ගයත් යන සදාතනික ලෝක ධර්මතා ස්වයංභූ ඥානදර්ශනයෙන් නිරවශේෂ කොට දේශනා කිරීම නිසා. මාගේ දේශනා ප්‍රතිපදාව නිසාඔවුන් මට සලකනවා, ගරු කරනවා ආදී වශයෙන් බුදුන් වහන්සේගේ දේශනා ප්‍රතිපදාව ගැන කරුණු දොළසක් යටතේ මේ සූත්‍රයේ දී ගැඹුරින් කරුණු සඳහන් කරනවා.

පළමුවැන්න කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයයි. දෙවැන්න උපන් කුසල් වැඩිදියුණු කිරීම, නූපන් කුසල් උපදවා ගැනීම, උපන් අකුසල් දුරුකර ගැනීම, නූපන් අකුසල් නොඉපිදවීම පිණිස වීර්ය කිරීම යන සතර සම්‍යග්ප්‍රධාන වීර්යයයි. තෙවැන්න ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන සතර සෘද්ධිපාදයයි. සතරවැනුව පැහැදිලි කෙරෙන්නේ සද්ධා, විරිය සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්ම පිළිබඳවයි. පස්වැනුව සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච බලයන් පිළිබඳවයි. සයවැනුව සති, ධම්ම විජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා යන සප්ත බෝජ්ඣංග ධර්ම පිළිබඳ පැහැදිලි වෙනවා.

අනතුරුව සත්වැනුව පැහැදිලි කරන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉන්පසු අටවැනි කරුණ ලෙස අෂ්ට විමෝක්‍ෂය පෙන්වා දී තිබෙනවා. එනම් රූප ධ්‍යාන, අරූප ධ්‍යාන, කසින ධ්‍යාන, ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේව සංඥා නා සඤ්ඤායතන, සඤ්ඤා වේදයිත නිරෝධ යන කරුණු ය.

නවවැනුව අභිභූ ආයතනයන් ද දසවැනුව දස කසිනයන් ද එකොළොස්වැනුව සතර ධ්‍යානයන් පිළිබඳවද දොළොස් වැනුව සාසන ප්‍රතිපදාවේ උත්තරීතර ඵලය වූ නිර්වාණය පිළිබඳ කරුණු ද දක්වා වදාළා.

මේ සූත්‍ර දේශනය අවසානයෙහි බුදු රදුන් පැහැදිලි කරනවා, ඉඳීන් උදායී යම් හෙයකින් මට ශ්‍රාවකයන් සත්කාර සම්මාන පූජා සිදු කරන්නේ ඉහත සඳහන් කරුණු නිසාය කියා.

කාරුණික පින්වතුනි, ඉතා දීර්ඝ සූත්‍ර දේශනයක් වූ මහා සකුලුදායී සූත්‍ර දේශනය මැනැවින් පරිශිලනය කිරීමෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය හා සමස්ත ලෝකවාසී ජනතාව උන්වහන්සේට ගරු කරන්නේ කවර හේතූන් නිසාද කියා වටහා ගන්න පුළුවන්. එනිසා මෙකී කරුණු හද තුළ රුවාගෙන ඒ අනුව ක්‍රියා කොට දෙලොව සැනසීම හා අමා මහ නිවන් සුවය සලසා ගැනීමට කටයුතු කරන්න.

තෙරුවන් සරණයි!