Print this Article


නාවලපිටිය කොහුවල ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය


මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ආසනයේ ගඟ ඉහළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අතිදුෂ්කර ගම්මානයක පිහිටා ඇති කොහුවල ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය 1960 දශකයේ දී ආරම්භ වී ඇත.

මෙම විහාරස්ථානය ඉදි කර ඇති භූමියේ කුඩා බෝධියක් පමණක් තිබූ අතර ගම්මානයේ දායක සභාවේ දායකත්වයෙන් කුඩා බුදු මැදුරක් ඉදි කොට ගම්පොළ නියම්ගම්පාය රජමහ විහාරාධිපති අත්ථදස්සි ස්වාමීන් වහන්සේ භාරකාරත්වයට පත් කොට ඇත. උන්වහන්සේගේ අනුදැනුම මත මෙහි ස්වාමීන්වහන්සේ බොහෝ පිරිසක් වස් වසා තිබේ. ඉන්පසු මොරගොල්ලේ ජිනරතන හිමියන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක වන කිරියගොල්ලේ ධම්මාලංකාර හිමියන් විහාරස්ථානයේ වැඩ වාසය කර ඇත. මෙම සමයෙහි ධර්මශාලාව සහ සංඝාවාසය ඉදි කරන්නට යෙදිණි. වර්තමානයේ එම ධර්මශාලාව දක්නට නොලැබුණත් එම සමයෙහි විහාරස්ථානය ඉතා දියුණුවට පත්ව තිබී ඇත.

වත්මන් විහාරාධිපති වන අතුරුගිරියේ චන්ද්‍රරතන හිමියන්ගේ වැඩමවිමත් සමඟ ගමත් පන්සලත් ඉතාම දියුණුවට පත්විය. 2007 වර්ෂයෙහි චන්ද්‍රරතන හිමියන් විහාරස්ථානය භාර ගැනීමෙන් අනතුරුව අටවිසි බෝධි ප්‍රාකාරය, ඝණ්ටාකුළුන, දෙමහල් ධර්ම ශාලාව, දොළොස් මහේ පහන, සංඝාවාසය සහ වලාකුළු බැම්ම ඇතුළු සියලුම විහාරාංගවලින් විහාරස්ථානය සමන්විත කෙරිණි.

පිටකන්ද, කොහුවල සහ පැල්ලපිටිය ඇතුළු ගම්මාන රැසක ජනතාවට ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය නිසා සැලසෙනුයේ අතිමහත් සේවයකි. විහාරස්ථානය අද මුළුමහත් පළාතටම ආලෝකයකි. ගම්වැසි ජනතාවගේ හිතසුව පිණිස විහාරාධිපති හිමියන් ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේවෙතින් ඉටුවන සේවය මහත් සේ අගය කළ යුතුය.