Print this Article


පුද පූජා චාරිත්‍ර යි සම්බුදු දහමයි

 පුද පූජා චාරිත්‍ර යි සම්බුදු දහමයි

සකලවිධ පූජා චාරිත්‍ර බිහිව ඇත්තේ ස්වභාව ධර්මයෙන් බව ටී. බී. ටයිලර් පවසයි. ස්වභාව ධර්මය දේවත්වයට නංවා පූජා චාරිත්‍ර පැවැත්වීම පිළිබඳ තොරතුරු ගෙනහැර දක්වමින්, ඔහු එම අදහස ඉදිරිපත් කරයි. ඉපැරැණි ජන ඇදහිලි, ආගමික පූජා බිහිවීමට පදනම සකසන ලදැයි ද මතයක් තිබේ. බිය හා විශ්වාසය පදනම් කරගෙන ඇදහිලි බිහි වූ බව එකී මතය සනාථ කරන්නවුන්ගේ පිළිගැනීමයි. ඉපැරැණි සමාජයේ මිනිසා ස්වභාවික සිදුවීමක් වන වර්ෂාව, දේවත්වයෙහිලා සලකා වැසි දෙවියන්ට පුද පූජා පැවැත්වීමට යොමුවීම නිදසුන් ලෙස දක්වති. පැරැන්නෝ තමන්ට පිහිටක් බලාපොරොත්තුවෙන් ඉර හඳ, අව්ව, වැස්ස, සුළඟ, ගින්න ආදී ස්වාභාවික වස්තු හා තත්ත්වයන් තුළ සැඟවී පවතින අද්භූත බලවේගයක් ඇතැයි විශ්වාස කළ අතර, තමන්ට නොපෙනෙන එම බලය දෙවියන් වහන්සේයැයි විශ්වාස කළහ. මේ ලෝකයෙහි සත්ත්වයා කිසියම් බලවන්තයෙකුගේ නිර්මාණයෙකැයි පිළිගන්නා අය, ඒ නිර්මාණකරුවා සතුටු කිරීම පිණිස පුද පූජා පැවැත්වීමෙහි වරදක් නැත. බුදු දහම නිර්මාණවාදය ප්‍රතික්‍ෂේප කරන දහමකි. එබැවින් පුද පූජා ආදියට ද බුදු සමය තුළ ප්‍රබල ස්ථානයක් හිමි නොවේ.

පුද පූජා වලට ඇත්තේ බුද්ධකාලය ද ඉක්මවා යන දිගු ඉතිහාසයකි. බුදුරජාණන් වහන්සේ පහළවන අවධිය වන විටත් භාරතයේ විවිධ පුද සිරිත් පැවැති බවට සාධක තිබේ. අශ්වමේධ, පුරුෂමේධ වැනි යාගයන් පිළිබඳ දැක්වෙන තොරතුරු ඊට කදිම සාක්‍ෂියකි. සුජාතා සිටු දේවිය රුක් දෙවියන් වෙනුවෙන් කරන ලද කිරිපඬු පූජාව ද එවකට පුද පූජා පැවැති බව සනාථ කරයි.

ස්වාභාවික තත්ත්වයන් තේරුම් ගැනීමට අපොහොසත් වූ ආදි කාලීන මිනිසා, ඉර හඳ, අව්ව වැස්ස, ගින්න සුළඟ ආදී ස්වාභාවික වස්තූන්ට අදෘෂ්‍යමාන බලයක් ආරෝපණය කොට, පුද පූජා පවත්වමින් තමන් තුළ ඇති වූ භය හා සැකය නැති කිරීමට උත්සාහ ගෙන තිබෙන බව මේ බුදු වදනින් පැහැදිලි කෙරේ.

බහුං වෙ සරණං යන්ති පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛ චෙත්‍යානි මනුස්සා භය තජ්ජිතා

බුද්ධ කාලය වන විට බමුණු නායකත්වය යටතේ සිදු කළ යාග හෝම ආදී පූජා සිරිත්, යම් යම් විවේචන වලට භාජනය වුවද, ඒවා සම්පූර්ණයෙන්ම අහෝසි නොවුණි. ආගමික සංවිධාන වලට ඇතුළත් හා ඇතුළත් නොවන නොයෙකුත් පුද පූජා හා සිරිත් ලෝකයේ දියුණු, නොදියුණු හැම රටකම පාහේ පවතින බව නම් පැහැදිලිය.

බුද්ධ දේශනාව දෙස විමසිලිමත්ව බලන විට, පුද පූජා පිළිබඳව සඳහන් වන අවස්ථා ගණනාවක්ම හමුවෙයි. මහාමංගල සූත්‍රයේ පූජා ච පූජනීයානං යනුවෙන් පිදිය යුත්තන් පිදීම උතුම් මංගල සම්මත කරුණක් ලෙස දක්වයි. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය විසින් බුදුරදුන්ට පූජා කිරීම සඳහා සිවුරක් පිළියෙළ කරගෙන පැමිණි විට, එය මහා සංඝයාට පූජා කරන ලෙස ඉල්ලා සිටි බව දක්ඛිණා විභංග සූත්‍රයේ දැක්වෙයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව තථාගත ශරීරයට කෙසේ ක්‍රියා කළයුතුදැ යි අනඳ හිමියන් විමසා සිටි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබ වහන්සේලා පුද පූජා නොකළ යුතුය.

නුවණැති බමුණු ගැහැවියන් සුදුසු පුද සත්කාර කරනු ඇත” යනුවෙනි, පූජා රහෙ පූජයතෙ බුද්ධෙ යදිච සාවකෙ යන ගාථා අර්ධයෙන් ද දැක්වෙන්නේ, බුදුරදුන් හා ආර්ය ශ්‍රාවක සංඝයාට යමෙක් පුදපූජා පවත් වන්නේ ද, එයින් ලැබෙන පින කියා නිම කළ නොහැකි බවයි. පූජකො ලභතෙ පූජං යනුවෙන් පිදිය යුත්තන් පුදන්නා, අන් අය විසින් ද පුදනු ලබන්නේයැ’ යි කියවේ. පුද පූජා පිළිබඳ සඳහන් වන මෙවැනි අවස්ථා රැසක් සූත්‍ර දේශනාවල ඇතුළත්ව තිබේ. පෙළ දහම තුළ ගෞරව දැක්වීම, සැලකීම යන අර්ථයෙන් පූජා යන්න යොදා ඇති බැවින්, වර්තමානයේ ඇතැමුන් විසින් උත්සවශ්‍රීයෙන් සිදු කරනු ලබන පූජා ඊට ඇතුළත් නොකළ හැකි බව ද කිව යුතුය.

පූජා ච පූජනීයානං යන්න අර්ථ දක්වන අටුවාචාරීහු පූජාර්හ පුද්ගලයන් නම් සියලු දොසින් විරහිත, සියලු ගුණයෙන් සමන්විත, බුදු, පසේබුදු, මහ රහතුන් වහන්සේලා යැයි අර්ථ දක්වා තිබේ. උන්වහන්සේලා විෂයෙහි සුළු දෙයක් වුවද පූජා කළහොත් එයින් මහත් වූ ආනිසංශයක් ලැබෙන බව ද අටුවාව දක්වයි. ධම්ම පදට්ඨ කතාවේ එන සුමන මාලා කාරයාගේ කතාව ඊට කදිම සාක්‍ෂියක් සපයයි. ඔහු සිය දහස් ගණන් කල්පයන්හි දෙව්ලෝ මිනිස් ලොව සැරිසරා අවසානයේ මූනිස්සර නම් පසේ බුදුබව ලබයි. ඒසා විශාල සැපතකට ඔහු උරුමකම් කීවේ සුවඳ මලින් බුදුරදුන් පිදීම නිසයි. මල් පූජා කිරීම ආමිස පූජාවකි. එහි ප්‍රතිපල එතරම් ආනිසංසදායක නම්, ප්‍රතිපත්ති පූජාවේ මොන තරම් අනුසස් විය හැකිද ? අරියපරියෙසන සූත්‍රයේ සදහන් වෙන, ආලාර කාලාමාදීන් විසින් බෝසතුන් වෙත කරන ලද පූජාවක් පිළිබඳව අටුවාව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරයි. එකී තවුසන්ගේ උපස්ථායක ස්ත්‍රීන් රැගෙන ආ මල් ගඳ විලවුන් ආදිය . “ යව මහ පුරුෂයන් වෙතම පූජා කරන්නැයි” බෝසතුන් වෙතම යැවූ බව කියවෙයි. මෙහිදී වුවද අටුවාව ආමිස පූජාව උසස්කොට සලකා ඇති බවක් පෙනෙයි.

තිට්ඨයන්තේ නිබ්බුතේ චාවි සමේ චිත්තේ සමං ඵලං
තවතෝපාසාද හේතුම්හි සත්තා ගච්ඡන්ති සුග්ගතිං

බුද්ධාදි ආර්යයන් වහන්සේලා වැඩ සිටිය ද, පිරිනිවිය ද සම සිතින් උන්වහන්සේලාට පූජා පවත්වන්නන්ට සම ඵල ලැබෙන බව ධම්ම පදට්ඨ කතාවේ ඇතුළත් යථෝක්ත ගාථාවෙන් පෙන්වා දෙයි. අටුවාව බොහෝ අවස්ථාවල ආමිසයම පූජා නමින් හඳුන්වා ඇති බවත් ප්‍රතිපත්ති පූජාවට ද නිසි ගෞරවය ලබා දී ඇති බවත් මෙම තොරතුරු වලින් පැහැදිලි වෙයි.

බුදු සමය ශ්‍රී ලංකාවට ලැබෙන විටත් මෙරට ජන සමාජය තුළ ද විවිධ ඇදහිලි හා පුද සිරිත් පැවැති බව මහාවංශය, දීපවංශය වැනි ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි කෙරෙන තොරතුරු වලින් අනාවරණය කරගත හැකිය. ඒ මළවුන් ඇදහීම, දෙවියන් යැදීම ආදිය පැවැති බවට සාක්‍ෂි දක්වා තිබීමෙනි. බුදු දහම ලැබීමෙන් පසු හින්දු දෙවියන් පවා බෞද්ධ දෙවිවරුන් ලෙස සැලකීමත්, මළවුන් ඇදහීම වෙනුවට මළවුන්ට පින් අනුමෝදන් කිරීමත් නිසා බුදු සමයේ ව්‍යාප්තියට දෙවියන් ඇදහූවන්ගෙන් බාධාවක් නොවුනු අතර, බුදු සමය ද ඔවුනට බාධාකාරී බවක් ඇති කළේ නැත.

හින්දු පුද පූජාවන්ගේ ආභාෂය ද මෙරට බෞද්ධ පුද පූජාවන්ට ලැබුණු බව අප අමතක නොකළ යුතු ය. මෙරට බෞද්ධයෝ විෂ්ණු කතරගම ආදී හින්දු දෙවියන් අදහති. දෙවියෝ උදෙසා පුද පූජා පවත්වති. තෙරුවනට උපහාර පිණිස කරනු ලබන සැරසිලි හා ඇතැම් පුද සිරිත් ද හින්දු ආභාෂයෙන් ලද ඒවාය.

මූලික පාලි සූත්‍රාන්ත වලට අනුව, පුද පූජා හා ඇදහිලි සෘජුවම බෞද්ධ පරමාර්ථ ඉටු කර ගැනීමට ඉවහල් නොවන බව සත්‍යයකි. සසර දුක නිවාලන මඟ සාදා ගැනීමට ඒවා කෙලින්ම අදාළ වන්නේ ද නැත. එහෙත් පුද සිරිත් හා ඇදහිලි බුදු සමය එකහෙළාම ඉවත දමන්නේ ද නැත. එහිදී බෞද්ධ ඉගැන්වීම තුළ ඇත්තේ මධ්‍යස්ථ පිළිවෙතකි. උපේක්‍ෂා සහගත බවකි.