UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගරු පුග්ගල සූත්‍රයෙන් පෙන්වන සිව් පුද්ගලයෝ

ගරු පුග්ගල සූත්‍රයෙන් පෙන්වන සිව් පුද්ගලයෝ

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් පුද්ගලයන් පිළිබඳව නිවැරැදිව විග්‍රහ කිරීමට හැකියාවක් ඇති වෙනත් උත්තමයෙක් මේ මුළු තුන් ලෝකයේම නැත. උන්වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පාරමිතා දම් පුරා උතුම් චතුරාය¸ සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සව¢ඥතා ඥානය ලබා ගත් සේක. අද දින ඔබට එවැනි පුද්ගල විග්‍රහයක් ඉගෙන ගැනීමට ලැබෙන උතුම් සූත්‍රයක් මේ ලිපිය තුළින් ඉගෙන ගැනීමට හැකිය. මේ සූත්‍රයේ නම ‘ ගරුපුග්ගල සූත්‍රය’ යි.

මේ ලෝකයේ පුද්ගලයන් වර්ග හතරක් දක්නට ලැබේ. පළවන පුද්ගලයා ගැන ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ආකාරයෙනි. “ ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ න සීල ගරු හෝති න සීලාධිපතෙයොත්න සමාධි ගරු හෝති න සමාධාධිපතෙය්‍යෝ න පඤ්ඤාගරු හෝති න පඤ්ඤාධිපතෙය්‍යෝ” එනම් මේ ලෝකයේ සිටින එක් පුද්ගලයෙක් සීලයට ගරු නොකරයි. එමෙන්ම සීලය අධිපති කොටගෙන වාසය නොකරයි. එමෙන්ම සමාධියට ගරු නොකරයි. සමාධිය අධිපති කොට ගෙන වාසය නොකරයි. එමෙන්ම ප්‍රඥාවට ගරු නොකරයි. ප්‍රඥාව අධිපති කොටගෙන වාසය නොකරයි. මෙම විග්‍රහය පිළිබඳව විමසා බලනවිට අපට පෙනී යන්නේ මේ ලෝකයේ මෙවැනි පුද්ගලයන් සිටින බවයි. සමහරුන්ට කිසිසේත්ම සීලයේ අගයක් නැත. ඔවුන් සතුන් මරමින්, සොරකම් කරමින්, වැරැදි කාම සේවනය කරමින්, බොරු කියමින්, කේළාම් කියමින්, පරුෂ වචන කියමින්, හිස් වචන කියමින්, මත්ද්‍රව්‍ය ආදිය පානය කරමින් කාලය ගත කරයි. සීලය අධිපති කොට ගෙන සමහරු වාසය නොකරති.

සමාධිය ලැබෙන්නේ භාවනාමය සිතකටයි. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක, ශ්‍රාවිකාවන් ධර්ම මාර්ගයේ යෙදෙන බැවින් භාවනාමය මනසක් ඇති කර ගැනීමට නිරන්තරයෙන්ම කටයුතු කරයි. බහුතරයක් සමාධිය අධිපති කරගෙන වාසය කරන්නේද නැත. එමෙන්ම ප්‍රඥාවට කිසිඳු ගෞරවයක් නැතිව වාසය කරන පිරිසද බහුතරයකි. මේ අනුව අප භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපට පුදුමාකාර අවබෝධයක් ඇති කර ගත හැකිය.

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවන පුද්ගලයා ලෙස පෙන්වා දෙන්නේ පහත සඳහන් පුද්ගලයා ය. “ ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ සීල ගරු හෝති සීලාධිපතෙය්‍යෝ න සමාධි ගරු හෝති න සමාධාධිපතෙය්‍යෝ න පඤ්ඤාගරු හෝති න පඤ්ඤාධිපතෙය්‍යී” එක් පුද්ගලයෙක් සීලයට ගරු කරයි. එමෙන්ම සීලය අධිපති කොටගෙන වාසය කරයි. එහෙත් සමාධියට ගරු නොකරයි. එමෙන්ම සමාධිය අධිපති කොටගෙන වාසය නොකරයි. එමෙන්ම ප්‍රඥාවට ගරු නොකරයි. ප්‍රඥාව අධිපති කරගෙන වාසය නොකරයි. ඉහත කාරණයට අනුව විමසා බලනවිට පෙනී යන්නේ මේ සමාජයේ සිටින සමහර පුද්ගලයන් සීලයට කැමැති බවයි. එමෙන්ම සීලය ආරක්‍ෂා කරගෙන වාසය කරන බවයි. මෙම පුද්ගලයා සමථ හා විදර්ශනා වඩා තමන්ගේ චිත්ත සමාධිය ඇති කර ගැනීමට උත්සාහ කරන බවක් නොපෙනේ. ඒ පිළිබඳව යම් කෙනෙක් උත්සාහයක් ඇති කිරීමට කථා කරන විට ඔහුගේ හෝ ඇයගේ තර්කය වන්නේ, “ මා පව් කරන්නෙ නෑ. ඒ හින්ද මට වෙන දේවල් ඕන නෑ” ආදී වශයෙනි. අප භාග්‍යවතුන් වහන්සේගේ දේශනයට අනුව අපට සීලය තිබෙන්නේ සමාධිය ඇති කර ගැනීමටයි. ඒ තුළින් ප්‍රඥාව පහළ කර ගැනීමට හැකිවේ.

මීට අමතරව තුන්වන පුද්ගලයා පිළිබඳව අප භාග්‍යවතුන් වහන්සේ ( ගරු පුග්ගල ) සූත්‍රයේදී දේශනා කරන්නේ මේ ආකාරයටයි. “ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ සීල ගරු හෝති සීලාධිපතෙය්‍යෝ. සමාධි ගරු හෝති සමාධාධිපතෙය්‍යෝ න පඤ්ඤාගරු හෝති න පඤ්ඤාධිපතෙය්‍යෝ”. අප භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන මෙම පුද්ගලයා සීලයට ගරු කරන අතර සීලය අධිපති කරගෙන වාසය කරයි. එමෙන්ම සමාධියට ගරු කරන අතර සමාධිය අධිපති කරගෙන වාසය කරයි. එහෙත් ප්‍රඥාවට ගරු කිරීමක් හෝ ප්‍රඥාව අධිපති කොටගෙන වාසය කිරීමක් නැත. මේ අනුව බලන විට පෙනී යන්නේ සමාජයේ මේ පුද්ගලයා ද දක්නට ලැබෙන බවයි. සීලය, සමාධිය තුළ සිටියද ප්‍රඥාව පිළිබඳව මේ පුද්ගලයාගේ උනන්දුවක් නැත. අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම යන ත්‍රිලක්‍ෂණය පිළිබඳව විශේෂ ඥානයක් හෝ අවබෝධයක් ඒ පුද්ගලයාට නැත. එයට හේතුව ඒ පුද්ගලයා ගරු නොකරන නිසාය. ප්‍රඥාව අධිපති කොටගෙන වාසය නොකරන නිසාය.

මේ සියලු පුද්ගලයන් අතර අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන පරිදි උසස්ම පුද්ගලයා වන්නේ පහත සඳහන් පුද්ගලයා ය. “ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ සීල ගරු හෝති සීලාධිපතෙය්‍යෝ සමාධිගරු හෝති සමාධාධිපතෙය්‍යෝ පඤ්ඤාගරු හෝති, පඤ්ඤාධිපතෙය්‍යෝ මේ පුද්ගලයා සීලයට ගරු කරයි. එමෙන්ම සීලය අධිපති කොටගෙන වාසය කරයි. එමෙන්ම සමාධියට ගරු කරයි. සමාධිය අධිපති කොටගෙන වාසය කරයි. එමෙන්ම ප්‍රඥාවට ගරු කරයි. ප්‍රඥාව අධිපති කොටගෙන වාසය කරයි. සම්බුද්ධ ශාසනයක් තුළ නියම ප්‍රතිඵල නෙළා ගන්නේ මෙම හතරවන පුද්ගලයාය. පළවන පුද්ගලයා මෙම පුද්ගලයන් අතර දුර්වලම පුද්ගලයා වේ. ඔහුට හෝ ඇයට මේ උතුම් සම්බුදු සසුන තුළ නියම ප්‍රතිඵල නෙළා ගත නොහැකිය. දෙවන සහ තුන්වන පුද්ගලයාට උත්සාහ කළවිට ප්‍රථිඵල ලබා ගැනීමට හැකිවේ. හතරවන පුද්ගලයා මේ සම්බුදු සසුනේදී නියම ප්‍රතිඵල අනිවාය¸යෙන් නෙළා ගනී. එයට හේතුව ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සීල, සමාධි හා ප්‍රඥා යන උතුම් ත්‍රිවිධ ශික්‍ෂාවට ගරු කිරීමයි. එසේ ගරු කරන පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් මේ ධර්ම මාර්ග දියුණු කර ගනිමින් අවසානයේදී ප්‍රඥාවේ පරිසමාප්තිය වන උතුම් චතුරාය¸ සත්‍ය ධර්‍මය සාක්ක්‍ෂාත් කර ගනී. ඔබ සියලු දෙනාට උතුම් චතුරාය¸ සත්‍ය අවබෝධ වේවා!

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]