UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දමනය කළ සිත සැප ගෙන දෙයි

දමනය කළ සිත සැප ගෙන දෙයි

පුද්ගලයන් වර්ග සතරක් ලොව විද්‍යාමාන වනවා. මනුෂ්‍ය දේව, මනුෂ්‍ය මනුෂ්‍ය, මනුෂ්‍ය තිරිසන් සහ මනුෂ්‍ය ප්‍රේත යනුයි. ඇතැම් මනුෂ්‍ය පිරිස් තම ඇතුළාන්තයෙහි තිරිසන් සතුන්ගේ සිතිවිලි පෝෂණය කරනවා. ක්‍රෝධ, වෛරී අදහස් වර්ධනය කරගෙන මරණින් මතු නිරයට ඇද වැටෙනවා. අසද්පුරුෂ සේවනය සහ නුනුවණින් සිතීම මෙයට බොහෝ කොට හේතු වනවා.

කාම වස්තුන්ට ඇති ගිජුකම නිසා බොහෝ මිනිසුන් සොරකමට වැටී ජීවත් වීමට උත්සාහ කරනවා. ඇතැම් අය දුප්පත්කම, අසරණකම මුල්කරගෙන අන් සතු දේ පැහැර ගන්නවා. ඇතැම් අය වස්තුව ඇති අයගෙන් ස්වල්පයක් සොර සිතින් ගත්තට වරදක් නැතැයි පැහැර ගන්නවා. කොපමණ ධනය වස්තුව ඇතද සමහරුන් එයින් තෘප්තිමත් වන්නේ නැහැ. රැස්කර තබා ගැනීමේ ආශාවෙන් සොරකමට නැඹුරු වී කටයුතු කරනවා. කුමන අරමුණකින් කළත් සොරකම අකුසලයක්මයි. කුඩා දෙයින් පටන් ගෙන ජීවිත විනාශ වන තත්ත්වයටම සොර සිත වර්ධනය වී ඇති බව ජන සමාජයේ සිදුවන විවිධ සිද්ධිවලින් පැහැදිලි වෙනවා. අතීතයේ සුළු වශයෙන් කරන ලද සොරකම සාපරාධි අන්දමට දරුණු ලෙස ක්‍රෑර ලෙස, අමානුෂික ලෙස මුළු ලොව පුරාම ව්‍යාප්ත වී ඇති බව පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය තුළින් ප්‍රකාශයට පත්වනවා. ඇතැම් අය විවිධ වංචනික ක්‍රියා සිදු කොට ප්‍රචණ්ඩත්වය පාමින්, එය වසා ගැනීමට ප්‍රභූවරුන් ලෙස කැපීපෙනෙමින් අධික සුඛෝපභෝගී ව සුරා මතින් මත් වී විනෝදකාම් ජීවන රටාවකට හුරුවී ජීවත්වීමට උත්සාහ කරනවා.

මෙලොව තම උත්සාහයෙන් වීර්යයෙන් දහදිය වගුරුවා යහපත් කර්මාන්තයෙහි නොයෙදී අදත්තාදාන පාප කර්ම සිදු කොට නරකයට වැටී අපමණ දුක් ගැහැට විඳිමින් එහිම ඉපදෙමින් මැරෙමින් දුක් විඳින සත්වයන් බොහෝයි. තීව්‍ර වූ කටුක වූ දුක් විඳිමින් ගත කරන කාල සීමාව වර්ෂයන්ගෙන් මෙපමණ වෙතැයි ගණනය කළ නොහැකියි. මෙසේ අතීතයේ ද, වර්තමානයේ ද අනාගතයේ දී ද නරකාදි දුකට වැටී අප්‍රමාණ දඬුවම් විඳින සත්වයන්ගේ සංඛ්‍යාවෙහි අඩුවක් නැත. අසද්පුරුෂ සේවනය සහ නුනුවණින් සිතීම මෙයට බොහෝ කොට හේතු වනවා. අකුසල් සිත් දොළොස නිරන්තරයෙන් භාවිත කිරීම බාලයාගේ ස්වභාවයි. සොරසිත මුල්කොට ගෙන පංචානන්තරිය පාප කර්මද ඇතැම් අය සිදුකර ගන්නවා.

ලොව්තුරා බුදුන්වහන්සේ දවස සෘද්ධියෙන් අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේගේ ශරීරයේ ඇට පොඩිවන තෙක් සොරුන් උන්වහන්සේට පහරදී පලාගියා. පසුව මුගලන් මහ රහතන් වහන්සේ බුදුන්වහන්සේගෙන් අවසර ගෙන පිරිනිවන් පා වදාළා. උත්තර සාමණේරයන් වහන්සේටද උල හිඳුවා මරණයට පත් කිරීමට හේතු වූයේ ද, සොරකු විසින් ගනු ලැබූ රන් පොදියක් සාමණේරයන් වහන්සේගේ පාත්‍රයෙහි ලා පලා යෑමයි. රාජ පුරුෂයන් පාත්‍රයේ තිබූ රන්පොදිය දැක සොරා නොවේදැයි අල්ලාගෙන රජතුමාට අනුශාසනා කරන වස්සකාර බමුණාට ඉදිරිපත් කළා. උන්වහන්සේ කෙරෙහි ඇතිකරගත් වෛර අදහස් මුල්කරගෙන නොවිචාරම උල හිඳුව‘ යි අණ කළා. ඡත්තමානවක තම ගුරුවරයාට ගුරු පඬුරු පිදීමට මහාවනයෙහි යන අවස්ථාවේ කහවනු සොරකම් කිරීමේ සිතින් දුනුවායන් ඔහු මරා දැමුවා. තෙරුවන් සරණ පිහිටුවා ගත් උපාසකයකු වූ හෙයින් දිව්‍ය සම්පත් ලැබුවා.

වර්තමානයේ දී දිවට රස ලබාදීමට අන්සතු කුකුළන්, එළුවන්, ගවයන් සොරා ගන්නා අයත් සමාජයේ සිටිනවා. සමහරුන් රන්, රිදී, යාන වාහන මං පැහැර ගන්නවා. ඇතැම් මව්වරුන් පවා තම දරුවන්ට ජංගම දුරකථන ලබාදීමට අන්සතු ආභරණ සොරකම් කරනවා. භවබෝග සම්පත් සොරකම් කරනවා. නැතහොත් විනාශ කර දමනවා. අසරණ ජනයා මුළාකොට ධනය පැහැර ගන්නවා. යමක් ඉටු කරගන්නට ගිය විට මෙපමණ මෙපමණ මුදලක් අවශ්‍ය බව ප්‍රකාශ කර අල්ලස් ලබා ගන්නා අයත් සමාජයේ හිඟ නැහැ.

පුද්ගලයන් වර්ග සතරක් ලොව විද්‍යාමාන වනවා. මනුෂ්‍ය දේව, මනුෂ්‍ය මනුෂ්‍ය, මනුෂ්‍ය තිරිසන් සහ මනුෂ්‍ය ප්‍රේත යනුයි. ඇතැම් මනුෂ්‍ය පිරිස් තම ඇතුළාන්තයෙහි තිරිසන් සතුන්ගේ සිතිවිලි පෝෂණය කරනවා. ක්‍රෝධ, වෛරී අදහස් වර්ධනය කරගෙන මරණින් මතු නිරයට ඇද වැටෙනවා. එසේ නිරයට වැටුණු පුරුෂයකු යම පල්ලන් විසින් යම රජුට දන්වනු ලබනවා. යම රජු එවිට මෙසේ විමසනවා.

‘එම්බල පුරුෂය, තා මිනිසුන් අතර පහළ වූ සතර වන දේව දූතයා දැක්කෙහිද?”

‘නුදුටිමි වහන්ස’

‘එම්බල පුරුෂය, රාජ පුරුෂයන් විසින් අල්වාගනු ලැබ දඬුවම් පිණිස අත්බැඳ, දෙපාත් බැඳ හිරකර කස පහර දෙන, අත් පා සිඳින, කන් සිදුරු කරන, නාසය සිඳින, සම සිඳින, නියපොතු ගලවා වධදෙන, හිසට පහරදෙන, තියුණු ආයුධ වලින් ශරීරය කොටස්වලට කපා දමන, හුල් වලින් පහර දෙන, එල්ලා පාදවලට හුල් වලින් අනින, ගිනි අඟුරු මත ගමන් කරවන, මුඛය පුලුස්සන, එහෙ මෙහෙ අත අදිමින් වධ පමුණුවන, දරුණු සුනඛයන් ලවා හපා වධයට පත් කරවන, විවිධ තාඩන පීඩන පමුණුවන, හිස සිඳ දමන, අපරාධ කළා වූ සොරු දැක්කේ නැද්ද?

“දිටිමි වහන්ස.”

එහිදී යමරජු මෙසේ විචාරයි.

“එම්බල පුරුෂය, තා නුවණින් විමසා, මෙලොව ම අපරාධ කරන සොරුන්ට, මෙසේ වූ විපාක ලැබෙන්නේ නම් පරලොව ගැන කවර කථාදැයි, සිතා මම කල්‍යාණ දහම්හි පිහිටා වහා වහා පින්කම් කළ යුතුයි අප්‍රමාද වන්නෙමියි යහපත් දෑ කළාද?”

“නැත වහන්ස, ප්‍රමාදයෙහිම වාසය කළා.” ‘එසේ නම් දඬුවම් තා විඳුව‘යි දඬුවම් පමුණුවනවා. පින්වත්නි, සොරකම්වල විපාක බරපතළ ආකාරයට නිරයෙහි විඳින්නට සිදුවනවා. මෙලොව ද තවනවා. පරලොවද තවනවා. දෙලොව පිරිහීමට පත්වෙනවා. නින්දා අපහාස ආදි කායික මානසික දුක්ඛ වේදනා බහුල වශයෙන් විඳීමට සිදුවනවා. එක මොහොතක, එක පැයකදි එක්ව කළා වූ හෝ තනිව කළා වූ අකුසල කර්මයන්හි විපාක කාල සීමාවක් නොමැතිව දුක් ගෙනදීමට සමත් වනවා. එම දුක් වූ අමිහිරි වේදනා කිසිදු ඥාතියකු, මිත්‍රයකු, සහෝදරයකු බාර ගන්නේ නැහැ.

මෙසේ සොරකම්වල ආදීනව මෙනෙහි කොට එයින් වැළැකී යහපත් ජීවිතයක් ගත කිරීමට උත්සාහවත් වීමෙන් තමාටත්, අන් අයටත් මහත් සැනසිල්ලක් උදාවනවා. මෙලොවම ලැබෙන ආනිශංස කිහිපයක් ලියා දැක්විය හැකියි.

* නූපන් වූ භෝග වස්තුව ඉපදවීමට පුණ්‍ය ශක්තිය ඇතිවීම.

* ඇත්තාවූ භෝග රැක ගැනීමේ වාසනාව ලැබීම.

* රාජ භය, සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් ඇතිවන පීඩා, විවිධ රෝග හා වනසතුන්ගෙන් වන විපත් නැතිවීම.

* යම්හෝ වස්තුවක් අපේක්‍ෂා කළාද එය යහපත් වූ පැතූ ආකාරයෙන් අත්පත් වීම.

* ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බවට සමස්ත සමාජයෙන් ගරුබුහුමන් ලැබීම.

* සැප විහරණ කටයුතු ඇත්තකු වීම.

* මහත් වූ ධන ධාන්‍ය ලබා ධනවතකු වීමේ භාග්‍ය උදාවීම.

මෙසේ තමාගේ ධනය, වස්තුව යමකු පැහැරගත් විට තමාට ඇතිවන දුක, වේදනාව ශෝකය උපමාකරගෙන අන්සතු වස්තුව පැහැර ගැනීමෙන් වැළකීම සසර පුරාම සැප ලබාදීමට හේතුවනවා. එසේ නුවණ ඇති කරගෙන, සොරසිත බැහැර කොට කල්‍යාණ මිත්‍ර ඇසුර ලබාගෙන නිර්වාණ සුවය අත්පත් කරගත්තකුගේ කතා පුවතක් ධර්මාවබෝධය පිණිස සඳහන් කිරීමට කැමැතියි. ඒ තුළින් ඔබගේ ද අගුණ, දුර්වලතා දුරුකරගෙන ගුණවත් වී සියලු දුකින් මිදීමට උත්සාහවත් වන ලෙස ආශිර්වාද කරනවා.

ලොව්තුරා බුදුන්වහන්සේ වැඩ සිටින දවස අවන්ති ජනපදයේ කුරරඝර නුවර ඉසුරුමත් වූ තරුණ දරුවකු දැහැමෙන් වාසය කළා. හෙතෙම කෝටියක් වටිනා ආභරණයක් කන පළඳින නිසා කුටිකණ්ණසෝත නමින් හැඳින්වුණා. නුවර පවත්ත පර්වතයේ මහා කච්චායන මහතෙරුන් වහන්සේ වැඩ සිටිනවා. දිනක් සෝන නම් තරුණයා දහම් අසා පැහැදි මහණව පිළිවෙත් හි රැඳි දහම් ඉගෙන උපසපන්භාවයට පත්වුණා. උන්වහන්සේගේ මව්තොමෝ සිය පුත්රුවනගෙන් බණ අසනු කැමැතිව මහ සඟරුවනට දානයද පිළියෙළ කොට ධර්ම ශාලාව මනහර ලෙස සරසා ස්වකීය මාලිගාවේ ස්ත්‍රියක නවතා බොහෝ උවැසියන් සමඟ බණ අසමින් සිටියා.

බොහෝ කලක් සිට එම මාලිගයෙහි ධනය පැහැර ගැනීමට ඉඩ ප්‍රස්ථාවක් බලා සිටි නවසියයක පමණ වූ සොරුන් පිරිසක් මෙකල්හි මාලිගාවට වැද එහි වූ වස්තුව පැහැර ගන්නට වූවා. මේ අතර මෙම සිද්ධිය ආරංචි වී ගෙහිමි මව නැවැත මාලිගාවට යතොත් ඇය මරණ අදහසින් සොරමුළෙහි නායකයා ඇය සමීපයෙහි හිඳ ගත්තා. මාලිගාවේ නවතා තැබවූ ස්ත්‍රිය ටික වේලාවකින් පැමිණ, මෑණියනි, බොහෝ සොරු පැමිණ මාලිගාවේ වස්තුව පැහැර ගනිති. වහා යනු මැනවි’ දන්වා සිටියා. එහෙත් මෑණියන් තමාට බණ ඇසීමට බාධා නොකරන ලෙස ඉල්ලා සිටියාය. නැවැතත් කනට කොඳුරා සොරුන් රන් රිදී මසුරන් සියල්ල පැහැර ගන්නේ යැයි ප්‍රකාශ කළා. ‘වහා යන්න. නැවතත් නොඑන්න. සියලු ධනය පැහැරගත්තාවේ. ඒ සියල්ලට වඩා අගනා දහම් රස නමැති ධනය මම ලදිමි.’

මේ කතාවට කන්දී සිටි සොර දෙටුවා මෙවන් ගුණවත් උවැසියකගේ ධනය ගැනීම නුසුදුසු ක්‍රියාවක් සේ සිතා ගත් සියලු වස්තුව තිබුණා වූ ස්ථානවලම තබන ලෙස සොරුන් පිරිසට දන්වා ඔවුන් සමඟ දහම් ඇසීමට ශාලාව වෙත පැමිණිය. අලුයම පින් අනුමෝදන් කටයුතු නිමවෙනවාත් සමඟම සොරදෙටුවා උවැසිය වෙත පැමිණ අපහට සමාවනු මැනවි’යි සමාව ඉල්ලා සිටියා. ‘කුමක් නිසා සමා අයැදින්නෙහිද?’ ඈ විමසා සිටියා. ‘අපි ඔබතුමියගේ ධනය පැහැර ගැනීමට පැමිණියා. එම පුවත ආරංචි වී මාලිගාවේ නවතා ආ ස්ත්‍රිය පැමිණ සොරුන් ධනය පැහැර ගන්නවා. වහා පිටත් වෙමුයි ඔබට ප්‍රකාශ කළා. එහෙත් ඔබතුමිය බාධා නොකර යන්නැයි කියා සිටියත්, නැවත කනට කොඳුරා කියන විට ඔය වස්තුවට වඩා දහම් රසය නම් ධනය උතුම් යැයි ප්‍රකාශ කළා. එම සියලු කතාව මා අසා සිටියා. ඔබ වැනි ගුණවත් ශ්‍රේෂ්ඨ මාතාවකගේ ධනය පැහැර ගැනීම නුසුදුසු බව සොර පිරිසට ප්‍රකාශකර වස්තුව තිබුණු පරිදි තැන්පත් කොට පෙරළා දහම් ඇසීමට පැමිණියා. අප රාත්‍රි කල බොහෝ වෙහෙස වී ධනය පැහැර ගැනීමට උත්සහ වන විට එම ධනයට වඩා ධර්ම රසය නමැති ධනය අගනා බව ඇසීමෙන් අපට අපගේ වරද වැටහී ගියා. ඒ නිසා මෙසේ සමාව ගැනුමට පැමිණියා.’ මාතාව සැමට මෙත් සිතින් සමාව දුන්නා.

පසුව සොරුන් නවසිය දෙනා තෙරුන් වහන්සේ වෙත පැමිණ මහණව වත් පිළිවෙත් නොපමාව කොට කමටහන්හි සිත් අලවා බවුන් වැඩීමට වන පෙතට ගොස් අප්‍රමාදව ඒ සඳහා වීර්යය යෙදුවා. නවසිය දෙනා වහන්සේගේම පෙර පින් මෝරාගිය බව තථාගතයන් වහන්සේ දැක චරිතයට අනුකූල ගාථා නවයකින් දහම් දෙසන විට සියය සියය බැගින් තමන් සසර දී වැඩු කමටහන් ආවර්ජනා කොට රහත් ඵලයට පත් වූවා. සිත මැනැවින් දමනය කොට දහමට යොමු කිරීමෙන් ලත් අමාරසය කෙතරම් උතුම්ද යන්න ඔබත් කල්පනා කර බලන්න. ජීවිතය අර්ථවත් කරගන්න මෙම කතා වස්තුව උපයෝගි කරගෙන සංසාරික සියලු දුක් රැසින් මිදීමට උත්සාහ කරන්න. ඒ සඳහා කලණ මිතුරන් ඇසුරු කරන්න. මෙහි එක ගාථා රත්නයක් කමටහන් ලෙස භාවිත කිරීමට ලියා දක්වනු කැමැතියි.

මෙත්තා විහාරියො භික්ඛු
පසන්නො බුද්ධසාසනෙ
අධිගච්ඡේ පදං සන්තං
සංඛාරූපසමං සුඛං

සකල සත්වයා කෙරෙහි මෙත් විහරණයෙන් යුතුව බුදුසසුනෙහි පැහැදිම් බහුලව වත් පිළිවෙත් මනා ලෙස පුරමින් පස් කඳෙහි (රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ) යථාර්ථය නුවණින් පිරික්සා (නැසෙන, බිඳෙන, විනාශවන ස්වභාව) ඡන්දරාගය දුරුකොට කෙලෙස් සන්සිඳුවා සතර මඟ සතර ඵලයට පැමිණ ලොව්තුරු සුවයට පැමිණීමට උත්සාහ කරන්න. ඔබේ සිත සසර දුකට වැටෙන්නට ඉඩ නොතබා අගනා දහමට නංවා අමරසුවය අත්පත් කර ගැනීමට නවසියයක් වූ යහමඟට පිවිසි තෙරුන් වහන්සේ ආදර්ශයට ගන්න.

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]