UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපේක්ෂාව විය යුත්තේ කුමක්ද ?

නූතන තරුණ දෙමාපියන් තමන්ගේ දරුවා අනාගතයට සරිලන සේ සකස් කළයුත්තේ කෙසේද? අප පුංචි කාලයේ අපේ ගෙවල්වල බොහෝ දේවල් නොතිබුණා වුණාට ගෙදර පොත් රාක්කයක් තිබුණි. එය පාවිච්චි කරන ලද පොත් රාක්කයක් මිස සතියකට සැරයක් දූවිලි පිහින ලද පොත් රාක්කයක් නොවෙයි. එදා දෙමාපියන ගෙදරට සීනි තේකොළ ඔතාගෙන එන කොළයක්වත් කියවන්නේ නැතිව පැත්තකට නොදැමූහ. දරුවන් වන අපිත් කියවීමට පුරුදු වුණා එදා පැවතුන දේශපාලන, ආර්ථික සමාජ පිළිබඳව ඥානයක් දරුවන්ටත් තිබුණි. හැම ගෙදරකම වාගේ පුවත්පත් කියවීම තිබුණි. එදා කාලයේ කියවීමේ සංස්කෘතියක් තිබුණි

අනාගත දරු පිරිස උදෙසා මෑණියන්ගේ මෙන්ම පියාණන්ගේ ද අනාගත අපේක්‍ෂාව වන්නේ දරුවන් යහපත් අය බවට පත් කිරීමය. දරුවන් යහපත් අය බවට පත්කිරීම සඳහා මව්පියන් සතුව පවතින වුවමනාව කිසිසේත් අඩු නොවේ. දරුවන් ඉහළ ස්ථානයකට රැගෙන යාමට කවුරුත් අපේක්ෂා කරනු ලැබේ.

දරුවන්ගේ ඇස් දෙක පාදනවාය කියන සංකල්පය මුල සිට පැවැති දෙයකි. “ අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි, පුතුන් රජුන් කරන්නයි” යන්න ඊළඟට පැමිණි සංකල්පය යි. මෙම සංකල්පවල සත්‍යයක් නැත. අම්මල හදන්නේ පුතුන් විතරක් නෙමෙයි. දූවරුත් හදනු ලැබේ. මේ කරුණු දෙකම එකක් ලෙස ගත්තත්, ඔවුන් හදන්නේ රජුන් කරන්න නොවේ. අම්මලා දුක්ගත යුත්තේ පුතුන් හදන්න මිසක්, පුතුන් රජුන් කරන්න නොවේ. මෙතන සමාජ අර්බුදයක් දක්නට තිබේ. අප දරුවන්ගේ යුතුකම් හඳුනාගෙන තිබෙන්නෙම වැරැදි ආකාරයකට ය. නූතනයේ තරුණ මව්වරුන් දරුවන් පිළිබඳ වගකීම හිතේ තබාගෙන ඉන්නේ දරුවා පාසල් යැවිම, ඔවුන්ගේ කොණ්ඩ බෝල ගැට ගැසීම, ඔවුන්ගේ පාසල් පොත් නිවැරැදිව තබා ගැනීම සහ ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් සහ ආහාර පාන සැපයීම පාසල් යන දරුවකු සම්බන්ධයෙන් මවගේ වගකීම ලෙසය. පියා තමාගේ වගකීම ලෙස සලකන්නේ, ඉහළ යැයි සම්මත, හොඳ යැයි හිතාගෙන සිටින පාසලකට කෙසේ හෝ දරුවා ඇතුළත් කිරීමට ය. මෙම මව්පිය වගකීම වැරැදි ආකාරයෙන්ම වටහාගෙන සිටීම නිසාම මොන මොනවා හෝ දකින ශරීරයක් නිර්මාණය වීමක් මිසක්, පරිපූර්ණ මිනිසකු නිර්මාණය වීමක් සිදු නොවේ. අප සමාජයේ වගකීම් භාරය සඳහා සූදානම් වෙමින් සිටීම රජයක් සහ ආයතන ප්‍රධානීන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව වී ඇත්තේ මේ උගත් යැයි සම්මත රැකියාලාභීන් වගකීමක් දැරීමට බැරි පරම්පරාවක් බවට පත්වී තිබීමය. ඔවුන් වගකීම් සහගත රැකියාවක නියැළෙනවාට වඩා මාසයේ අන්තිමට ලැබෙන වැටුප උදෙසා දවස ගතකරන්නාවූ මිනිස් ශරීර බවට පත්වී තිබෙන බව පෙනේ. අධ්‍යාපනය ලබාදීමේදී ඇතිවී ඇති ගැටලුව ඇතැම්විට එයට හේතුවී ඇත. දෙමාපියන් දරුවන් නිර්මාණය කර ඇත්තේ අදට ගැළපෙන ආකාරයට මිස හෙටට ගැළපෙන ආකාරයට නොවේ. උදාහරණයක් ලෙස මා 2013 ට ගැළපෙන කෙනෙක් කියලා හිතනවා. මා 2013 ගැළපෙන ආකාරයට පත්තරයට ලියනවා, රූපවාහිනියට කතා කරනවා, ගුවන් විදුලියට කතා කරනවා, උගන්වනවා, දේශපාලන හා සමාජ විචල්‍යතාවයන්ට ප්‍රතිචාර දක්වනවා. ඒත් 2013 අද මම ගැළපෙන්නේ 1973 පාසල් ගිහිල්ලා. එදා මම 1973 ට ගැළපෙන ආකාරයට පාසල් ගියා නම් කවදාවත් 2013 ට ගැළපෙන මිනිසෙක් වන්නේ නෑ. මාගේ ගුරු දේවෝත්තම පාදයාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති හා මහෝපාධ්‍යාය පණ්ඩිතාචාර්ය සාමවිනිසුරු ශාසන කීර්ති ශ්‍රී පඤ්ඤාජෝති වංශාලංකාර මඩම්පැල්ලේ සිරිසුධම්ම නායක හාමුදුරුවන් වහන්සේ. මාගේ පියා ස්වර්ණසිංහ කුලතුංග මහතා. මාගේ මෑණියන් මුතුකුඩ ආරච්චිගේ ජොසපින් සේනාරත්න මාතාවයි. මෙම සියලුම දෙනා මා හැදුවේ 1963 ඉපදිලා 1973 පාසල් ගමන සිදුවන කාලයේදී 2013 ගැළපෙන ආකාරයටයි. මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේත් පියාණන් සහ මෑණියන් තුන් දෙනාම බලා තිබෙන්නේ හතළිස් අවුරුද්දකට පෙර කලට ගැළපෙන ලෙස තමාගේ දරුවා හැදීම. අද දෙමාපියන් සූදානම් වන්නේ අදට ගැළපෙන දරුවෙක් හදන්න මිසක් හෙටට ගැළපෙන දරුවෙක් තැනීමට නොවේ. පරිගණක තාක්‍ෂණය, ඉංග්‍රීසි භාෂාව, අද ඇතැම් වැඩිහිටියන් කරන රැකියා පරාසයට 1 වසරේ සිටින දරුවෙක් සූදානම් කළාට සාර්ථක නොවන්නේ රට වේගයෙන් ඉදිරියට ඇදෙන නිසයි. අප 1 වසරේ දරුවාගේ ඉලක්කය තබාගෙන ඉන්නේ 1 වසරේ දරුවා තව අවුරුදු 15කින් අවුරුදු 20 ක දරුවෙක් වුවත් ඔවුන්ට ගැළපෙන රට ගැන හිතල නොවේ. අදට ගැළපෙන රට ගැන හිතලයි. එය ඉතාමත් නරක වැඩක් වෙන්නේ හරියට ගලාගෙන යන ජලයක ගලාගෙන යන්නාවූ කිසියම් දෙයක් අල්ලන්න යම් පුද්ගලයෙක් දුර ඈතක සිට දුවගෙන එනවා වගෙයි. ඒ අවස්ථාව වනවිට එය ගලාගෙන ගොස් අවසානයි. යම් පුද්ගලයෙක් වේගයෙන් යන දුම්රියක් අල්ලන්න කිලෝමීටරයක දුර සිට එනවා වගෙයි. ඔහු යනවිට දුම්රිය ගිහින් අවසානයි. ඒ වගේ කාලය වේගයෙන් ඉදිරියට ගමන් කරනු ලැබේ. අපේ දරුවා ගෙන යන්න අවශ්‍ය වන්නේ දුම්රිය වේගයෙන් ගොස් නවත්වන තැනට මිසක්, අද අප මුහුණ දෙන සමාජ අර්බුද, අත්දැකීම්, සම්පත් සහ අද අපි මුහුණ දෙන්නාවූ දුර්වලතා ගැන සිතා නොවේ. දරුවන් හැදිය යුතු වන්නේ අපේ දරුවා 1 වසරේ නම් ඔහුට හෝ ඇයට වයස අවුරුදු 5 යි හෝ 6 යි. දැන් 1 වසරේ සිටින දරුවා 2028 දී රැකියාභිමුඛ, විවාහ අපේක්‍ෂිත තරුණයෙක් හෝ තරුණියක්. එවිට අප වියපත් සමාජයට ඇතුළු වෙලා ඉවරයි. එදා අපත් සමග පාසල් ගිය ඇතැම් කෙනෙක් එදා සමාජයේ පුරුෂාර්ථයන් සමග ජීවත් විය. ඔවුන්ගේ ප්‍රාර්ථනා වුනේ රියැදුරන් වන්න, ව්‍යාපාරිකයන් වන්න. එදා ඔවුන් තුළ පැවති ප්‍රාර්ථනාවන් ඒ කාලයට ඉහළ දේවල් වුණා. එම නිසා ඔවුන් ඇතැමෙක් රියැදුරන් බවට පත් විය. ව්‍යාපාරිකයන් විය. පොලිස් කොස්තාපල්වරුන් විය. මගේ සහෝදර ස්වාමින් වහන්සේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයකු බවට පත්විය. මම මහාචාර්යවරයකු බවට පත්වූ අතර මගේ ගිහි සහෝදරයා විද්‍යාවේදී උපාධිධරයෙකු වශයෙන් විදුහල්පතිවරයකු බවට පත්විය. අපේ සමකාලීනයන් වෙළෙන්ඳන්, රියැදුරන් වනවිට අප මහාචාර්යවරු වූයේ, අපේ දෙමාපියන් ගුරුවරුන් අනාගතය සඳහා හතළිස් අවුරුද්දකට පසුව එන කාලයට ගැළපෙන අයුරින් නිර්මාණය කළහ. එදා ඔවුන්ගේ දෙමාපියන් එදාට සරිලන අයුරින් දරුවන් හැදුවා. මෙම අර්බුදය නිවැරැදිව වටහාගත යුතුයි. නූතන තරුණ දෙමාපියන් තමන්ගේ දරුවා අනාගතයට සරිලන සේ සකස් කළයුත්තේ කෙසේද?

අප පුංචි කාලයේ අපේ ගෙවල්වල බොහෝ දේවල් නොතිබුණා වුණාට ගෙදර පොත් රාක්කයක් තිබුණි. එය පාවිච්චි කරන ලද පොත් රාක්කයක් මිස සතියකට සැරයක් දූවිලි පිහින ලද පොත් රාක්කයක් නොවෙයි. එදා දෙමාපියන ගෙදරට සීනි තේකොළ ඔතාගෙන එන කොළයක්වත් කියවන්නේ නැතිව පැත්තකට නොදැමූහ. දරුවන් වන අපිත් කියවීමට පුරුදු වුණා එදා පැවතුන දේශපාලන, ආර්ථික සමාජ පිළිබඳව ඥානයක් දරුවන්ටත් තිබුණි. හැම ගෙදරකම වාගේ පුවත්පත් කියවීම තිබුණි. එදා කාලයේ කියවීමේ සංස්කෘතියක් තිබුණි. රූපවාහිනිය සුඛෝපභෝගී භාණ්ඩයක්ය. තමාගේ විභව්‍යතාවයන් අනෙකාට ප්‍රදර්ශනය කිරීම සඳහා සාලය මැදට තබාගැනීම යන සංස්කෘතීන්ට එහා ගැඹුරු හා බර සංස්කෘතියක් එදා පැවැති සරල ජීවන රටාවකට හුරුවී තිබූ මිනිසුන්ට තිබුණි.

අලුත් අවුරුද්දකට, උපන් දිනයකට දෙමාපියන් දරුවන්ට තෑග්ගක් වශයෙන් ලබා දුන්නේ පොත්. උපන් දිනයකට කේක් කපල, ඉටිපන්දන් නිවල උපන් දින සැමරුවේ නැත. ඉටිපන්දම් නිවන්න පත්තු කළෙත් නැත. එක පොතක් ලැබුණහම පවුලේ දරුවන් හත් අට දෙනාම කියවූහ. තරගයට පොත් කියවීමේ සංස්කෘතියක් පැවතුණි. සැමදාම රාත්‍රියට අම්මයි, තාත්තයි, පොතක් හෝ පත්තරයක් කියවන ලදී. සතියකට ඉරිදා පුවත්පත ගෙනාවිට සතිය පුරා එය කියවූහ. මෙම පෞද්ගලික තොරතුරුවල පොදු කාරණා තිබේ. සාමාන්‍ය සමාජ ධර්මතා තේරුම් ගත හැකි සමකාලීන තොරතුරු ඇතුළත් පත්තර කියවීමත්, වින්දනය හා දැනුම ලැබෙන පොත් කියවීමත් යන දෙක ජීවිතය වෙනස් කරන ලදී. එනිසාම 1973 ට හැදුන දරුවන් 2013 ට ගැළපෙන ලෙස සකස් වූහ. නූතන යොවුන් මව්පියවරු තමාගේ දරුවා අනාගතයේ කවර තරාතිරමක කෙනෙක් කරන්න හැදුවත්, අවසානයේදී වෙන්නේ කවර කෙනෙක්ද ? මෙම දරුවන් පාසල් ගොස් රෑ වී නිවසට එයි. මෙම දරුවන් උගතුන් බවට පත් කිරීම සඳහා දෙමාපියන් සියල්ලම සූදානම් කරනු ලැබේ. නමුත් ගෙදර ඇතුළට යනවිටම සාලය මැද්දට ගිය විට තියෙන්නෙ රූපවාහිනිය, සී. ඩී., වී. සී. ඩී. ප්ලේයර් වැනි දේ. අද වනවිට දරුවන් කියවීමේ සංස්කෘතියෙන් ඈත්වී තිබේ. දරුවන්ට විභාග සමත් වීමේ හැකියාව තිබුණත්, ජීවිතය ලැබී නොමැත. මවට පියාට වඳීන ගාථාව මැනවින් නිවැරැදිව කියවීමේ හා නිවැරැදිව ලිවීමේ හැකියාවත් ඉහළ ලකුණු තිබුණත් දෙමාපියන්ට වඳීන්නේ නැහැ. බුදුන් වඳීන ගාථාව සියල්ල කට පාඩමින් කියවූවත් බුදුන් වදින්නේ නැත. සියලුම චාරිත්‍ර පිළිබඳ හොඳ දැනීමක් තිබුණත් එය පිළිපදින්නේ නැත. දුම් පානය හා සුරා පානය පිළිබඳව ආදීනව සියල්ල මැනවින් දැනගත්තත් නොබී ඉන්නේ නැහැ. හොරකම් කිරීම පිළිබඳව හොඳ අවබෝධයක් තිබේ. එහි නීති රීති දනී. බන්ධනාගාර ගතවූ විට වන දේ දැනගත්තත් චේන් කඩන එක නොනවතී. ආහාර පානවල කෑ යුතු, නොකෑ යුතු දේ පිළිබඳව හොඳටම දන්නවා වුණත් 15% කට දියවැඩියාව හැදෙන තරමටම පිටි ආශ්‍රිත ආහාර ගෙන ඇත. පලතුරුවල ගුණාත්මක භාවය පිළිබඳව හොඳ තක්සේරුවක් තිබුණත් ඒවා අලෙවි කර වෙනත් දේ ගනු ලැබේ. ගස් ලබු අලෙවි කර රෝස්පාන් ආහාරයට ගනී. හෙටට ඔබින දරුවන් තැනීමට නූතන යෞවන දෙමාපියන් සූදානම් නැහැයි කියන කාරණාව මෙයින් තහවුරු වේ. සති අන්ත පුවත්පතක අම්මට කියවීම සඳහා වෙනම ලිපි තිබේ. දුවට කියවන්න, පුතාට කියවන්න වෙනම ලිපි තිබේ. දරුවන්ට කියවන්න වෙනම ලිපි තිබේ.

දේශපාලන ලිපි, සමකාලීන ලිපි, ලෝකය පිළිබඳ තොරතුරු හා ශාස්ත්‍රීය පර්යේෂණ ලිපිත් නැතුවා නොවෙයි. සති අන්ත පුවත්පතක් මිලදී ගන්නා නිවසක ඒ මුදල අපරාධෙ කියලා සලකනවා. නමුත් ෂෝටීස් කියන කෙටි කෑම එකක් ගැනීමට එම රු. 60/ නිකම්ම වැයවේ. එබඳු තත්ත්වයක් තුළ අප පත්තරයක් ගැනීමට යන මුදල පිළිබඳව දෙතුන් වතාවක් සිතනු ලැබේ. දරුවන්ට කියවීම සඳහා වෙනම පුවත්පත් තිබේ. එක ක් රු. 30 ක් 40ක් වේ. එය සතියක් තිස්සේ ළමයාට කරන්න පුළුවන් වැඩ තොගයක් තිබේ. නමුත් ඒ සඳහා රු. 40/ ක් වැය කිරීම අපරාධයක් හැටියට සිතනු ලැබේ. දරුවට රු. 40/ - වැඩිහිටියන්ට රු 60/- ක් බැගින් රුපියල් 100 /- සතියකට වියදම් කරනවා නම් මසකට වියදම රුපියල් 400ක් වේ. මසකට රුපියල් 400 /- ක් වෙන් කරනවාය කියන්නේ සමස්ත ජීවිතයේ අනාගතය ද වෙනස් කරනවාය කියන එකයි. කියවීම් සංස්කෘතියක් ඇති කරන එකයි. ලංකාවේ ඕනෑතරම් පොත් තිබේ. ඕනතරම් පුස්තකාලත් තිබේ. රූපවාහිනිය, අන්තර්ජාලය හා පේස් බුක්හි සැරිසරන යෞවනය අනාගතයේ පුස්සන් පිරිසක් නිර්මාණය කරනු ලැබේ. එම පුහු අනාගතයක් උදෙසා තමයි පුහු දෙමාපියන් හැසිරෙන්නෙ. එය භයානක තත්ත්වයක්. අනාගතය උදෙසා බුදුහාමුදුරුවන්ගේ දැක්මට අනුව හෙටට ඔබින ආකාරයට ජීවත්විය යුතුයි. බුදුරජාණන් වහන්සේ ඉතාමත් ළදරු අවධියේදී තීරණ අරගෙන භද්‍ර යෞවන වියේදී තීන්දුව ගත්තේ තවත් අවුරුදු හතකින් අටකින් එළඹෙන කාලසීමාවට ගැළපෙන ආකාරයට හැදීමට. ඒ නිසායි බුදුහාමුදුරුවන් සාර්ථක වූයේ. ඒවගේම සෝපාක, රාහුල කුමාරයන් සාර්ථක වූයේ. එහෙම සාර්ථක වෙන්න තරම් දිරිමත් විධිමත් සහ අනාගතය දකින දූරදර්ශී ප්‍රඥාගෝචර දැක්මක් ඇතිව ක්‍රියාත්මක වුනොත් පුළුවන් වෙයි අනාගත දරු පිරිස ගොඩනගන්න. එසේ නොවුනහොත් මේ යන ගමනේ හැටියට 2033 දී අපට හමුවන්නේ 2013 ට ගැළපෙන මිනිස්සු. අදටත් අතීතයේ ජීවත්වෙන මිනිස්සු ඉන්නවා. ඔවුන් අද යුගයට වලංගු නැහැ. තවත් අවුරුදු 20 කින් පරිගණක තාක්‍ෂණය, ඉංග්‍රීසි දැනුම අලුත් දැනුමක් වන්නේ නැහැ. පරිගණක සහ ඉංග්‍රීසි දැනුම සහිත දරුවන් තමයි උපදින්නේ. අනාගතයට ඉපදෙන්නෙම ඉංග්‍රීසි සහ පරිගණක දැනුම සහිත දරුවන්.

ඒ දැනුම් දෙකම අදට වලංගු වුවත් තව අවුරුදු 15කින් 20කින් එය වලංගු නැහැ. අනාගතයට වලංගු වන්නේ විදේශ භාෂා බොහෝ දන්නා පරිපාලන ශක්තීන් හා පෞරෂයකින් යුක්ත නිර්මාණශීලි නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන පරපුරක්. එනිසා මෙම අභියෝගය තේරුම් ගතහොත් හෙට එතරම් කළුවර නැහැ.

සටහන : හේමමාලා රන්දුනු

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]