UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමට තුන් අවුරුදු සැලැස්මක්

පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමට තුන් අවුරුදු සැලැස්මක්

හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා කරුණා මෛත්‍රිය පෙරදැරිව බොදු දනන්ගේ මානසික සැනසීම උදා කරනු වස් ධර්ම විනයධර භික්ෂූන් වහන්සේ සිදු කරන මෙහෙවර ආදර්ශවත්ය. ඒ සංඝ පීතෘන් වහන්සේ අනුව යමින් අධ්‍යාපනය ලබන වත්මන් භික්‍ෂු වංශයේ ද ආලෝකය අනාගතයේ දී ලොවට තිළිණ කිරීමට ධර්ම විනය මෙන්ම දේශීය හා විදේශීය භාෂා ඥානය ද කුඩා කල පටන් භික්‍ෂූන් වහන්සේ වෙත ලබාදීමට අවශ්‍ය පහසුකම් සැලසීම යුගයේ අවශ්‍යතාවයක් වේ.මෙරට පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා සිදු කෙරෙන සුවිශේෂී මෙහෙවර අගය කළ යුතුව ඇත.

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) (පරිපාලන හා සැලසුම්) වටිනාපහ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ කරන ලද සාකච්ඡාවකි මේ.

එහිදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

මෙරට පිරිවෙන් සංඛ්‍යාව 7850 ක් පමණ වේ. ඉන් විද්‍යායතන 60 ක් ද මහ පිරිවෙන් 220 ක් ද, මූලික පිරිවෙන් 470 ක් ද වන අතර කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන සහ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන සහ වතුරවිල ආරණ්‍ය සේනාසන පිරිවෙන විශේෂ පිරිවෙන් අතර වේ.

මෙරට පිරිවෙන් අධ්‍යාපනය ලබන ගිහි පැවිදි ශිෂ්‍ය සංඛ්‍යාව හැට දෙදහස ඉක්මවා ඇත. එම පිරිවෙන්හි සේවය කරනු ලබන ගුරුවරු සංඛ්‍යාව හයදහස් තුන්සියය ඉක්මවයි.

රේඛීය අමාත්‍යාංශය යටතේ දැනට පිරිවෙන් පාලනය සිදු කැරේ. පළාත් සභාවල සහායද පිරිවෙන් දියුණුව සඳහා යොදා ගනු ලැබේ.

පිරිවෙන් කොට්ඨාස (පළාත් මට්ටමින්) අධ්‍යාපන පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා පළාත් සහායද ලබා ගනිමින් දිසා මට්ටමින් පිරිවෙන් අධ්‍යාපන සම්බන්ධීකරණ නිලධාරින් හා ඒ ඒ විෂයයන් සඳහා ගුරු උපදේශකරුවන්ද පළාත් මට්ටමින් පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) තිදෙනෙකු කටයුතු කරනු ලැබේ. දැනට අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) තනතුර පුරප්පාඩුව පවතින අතර අතිරේක ලේකම් (සැලසුම් හා කාර්ය සාධක) එස්.යූ.විජේරත්න මහතා කටයුතු සිදුකරනු ලැබේ. අමාත්‍යාංශ පිරිවෙන් ශාඛාව තුළ විෂය උපදේශකවරු සහ සම්බන්ධීකරණ කටයුතු සඳහා පිරිවෙන් ගුරුවරු අනුයුක්ත කර ප්‍රධාන ලිපිකරු ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කරනු ලැබේ.

බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යතුමා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා මෙම පිරිවෙන් ශාඛාව පිළිබඳ විශේෂ අවධානය යොමු කර අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලැබේ.

2013 අධ්‍යාපන අමාත්‍යාංශයේ පලදායිතා අගැයීමේ වැඩසටහන අමාත්‍යාංශයේ ශාඛා 45 ක පමණ අධීක්ෂණය කර පිරිවෙන් ශාඛාවට මෙවර 5 වන ස්ථානය හිමිකර ගැනීමට ඉතිහාසයේ පළමුවරට හැකිවීම පිළිබඳ අප සතුටු විය යුතුය.

මේ වසරේ සිට පිරිවෙන් වැඩසටහන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට අපේක්ෂා කැරේ. අමාත්‍යාංශ සවර්ධන කමිටු රැස්වීමේදී ඒ සඳහා ඉතිහාසයේ පළමුවරට පිරිවෙන් ශාඛාවද ඇතුළත් කර තිබීම අගය කළ යුතුය.

ඔක්තෝබර් 05 වන දාට යෙදෙන ලෝක ගුරුදිනය නිමිත්තෙන් පිරිවෙන් මට්ටමින් වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර පරිවේනාධිපතිවරු 25 නමක් හා පරිවේනාචාර්යවරුන් 75 දෙනෙක් තෝරා ගැනීමේ වැඩ පිළිවෙළක් මගින් ඒ සියලු දෙනාට ජාතික මට්ටමේ පාසල් වලින් තෝරා ගන්නාසේ තිළිණ ප්‍රදානය ඔක්තෝබර් 6 වනදා සිදු කිරීමට අපේක්‍ෂා කරනු ලැබේ.

2013 දී රත්නපුර දිසාවේ “සපිරි පිරිවෙන් සංකල්පය” නමින් වැඩසටහනක් දියත් කෙරිණි. ඊට පිරිවෙන් පිළිබඳව සහ පිරිවෙනේ අධ්‍යාපන කටයුතු පිළිබඳවත් භෞතික සම්පත් පරිහරණය පිළිබඳවත් අගැයීමට ලක් කෙරිණි. එම නව වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් මෙරට සියලු පිරිවෙන් වල 2014 වසරේදී ක්‍රියාවට නැංවීමටද අපේක්‍ෂා කැරේ.

පිරිවෙන් ගුරු පුරප්පාඩු මෙයට පෙර පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයෙන් අනුමත කෙරේ. එසේ අනුමතවීමෙන් පසු දෙසතියකින් පසු පත්වීම් ලිපි ලබාදීමේ වැඩ පිළිවෙළක්ද යොදා ඇත.

දැනට ක්‍රියාත්මක වනු ලබන්නේ 79 අංක 80 දරණ පිරිවෙන් පනත වේ. ඒ සඳහා නව සංශෝධන ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන අතර ඉන් අනතුරුව දැනට පවතින පිරිවෙන් පද්ධතිය පුළුල් කිරීමට අපේක්‍ෂා කරනු ලැබේ.

සිල් මාතාවරු විශාල පිරිසක් වෙසෙන හෙයින් සිල් මාතාවරුන්ටද අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුව සඳහා වෙනම ආයතනයක් දස සිල් මාතා අධ්‍යාපන ආයතන පහක් පමණ 2014 දී ආරම්භ කිරීමට අපේක්‍ෂිත කරුණු අතර වේ. දැනට කළුතර, කොළඹ, ගම්පහ, මහනුවර සහ මාතර යන දිසාවල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහාය මත එම ආයතන පවත්වාගෙන යන අතර ඒවා අධාපන අමත්‍යාංශයේ ලියාපදිංචි කර අදාළ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ.

ඊට අමතරව ආධ්‍යාත්මික ගුණ වගාවද වර්ධනය කිරීමේ අරමුණෙන් හා 1 වසරට සිසු දරුදැරියන් ඇතුළත් කිරීමේ අපහසුවද මගහරවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යතුමාගේ් බලාපොරොත්තුව වනුයේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය පිරිවෙන් මට්ටමින්ද ක්‍රියාත්මක කිරීම සඳහා පාසලේ 1 –5 වසර දක්වා සිසු දරු දැරියන්ට ප්‍රාථමික අධ්‍යාපන ආයතන පිරිවෙන් තුළ ඇරැඹීමට යෝජිත වේ. එක් දිස්ත්‍රික්කයක් තුළ ඒ ආයතන එකක් හෝ දෙකක් අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන පිරිවෙන් එකක් හෝ දෙකක් තෝරා ගැනීමට අදහස් කෙරේ. එයද නව සංශෝධන ලෙස පනතට ඇතුළත් කර ඇත.

පිරිවෙනේ සංවර්ධනය සඳහා අරමුදලක් ආරම්භ කිරීමටද අමාත්‍යතුමා බලාපොරොත්තු වේ.

පිරිවෙන් තුන් අවුරුදු සැලැස්ම අතිගරු ජනාධිපතිතුමන් වෙත ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයට ජනාධිපතිතුමා පැමිණි අවස්ථාවේදී පිරිවෙන් පිළිබඳව එතුමාගේ විශේෂ අවධානය යොමු විය . ඒ අනුව පිරිවෙන්වල භෞතික මෙන්ම විවිධ පහසුකම් සලසා පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමේ නව සැලැස්ම ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීමට අපේක්‍ෂා කැරේ.2012 වසරේදී මූලික පිරිවෙන් අවසාන විභාගයෙන් වැඩිම ලකුණු ලබා ගත් ශිෂ්‍යයන් දස දෙනෙකු තෝරා ගෙන කොරියාවේ බෞද්ධ සංවිධානයක අනුග්‍රහයෙන් සතියක් පමණ කොරියාවේ සංචාරයක් ලබාදීමට කටයුතු කිරීමද ඓතිහාසිකය. ඉදිරියේ දී එවන් දක්ෂතා දක්වන ශිෂ්‍යයන් වෙනුවෙන් එවැනි විශේෂ අනුග්‍රහ දැක්වීමට අදහස් කර ඇත.

ගුරු ගැටලු පළාත් කලාප කාර්යාල මගින් කඩිනමින් විසඳීමටත්, ගුරු පහසුකම් වර්ධනය කිරීමටත් සාකච්ඡා කර ඇත.

ගුරු පුහුණු වැඩ සටහන් සඳහා නවීන තාක්‍ෂණික දැනුම ඇතුළත් පුහුණු වැඩසටහන් වර්ධනය කිරීමටද අපේක්ෂිතය.

මූලික පිරිවෙන් අවසාන විභාගයට ඉදිරිපත් වන සියලු ශිෂ්‍යයන් පදනම් කරගෙන සෑම ජනවාරි මාසයකදීම ආකල්ප හා නායකත්ව පුහුණු කටයුතු ඇරැඹීමටද අපේක්‍ෂා කැරේ.

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]