UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රෝමයේ ධර්මාශෝක විහාරස්ථ සිදුහත් දහම් පාසල

රෝමයේ ධර්මාශෝක විහාරස්ථ සිදුහත් දහම් පාසල

අධ්‍යාපනය අතින් දියුණූ වන පුද්ගලයෙකු තුළ ගුණාත්මක බව ඇති කිරීමට පාසල් අධ්‍යාපන ක්‍රමය පමණක් ප්‍රමාණවත් නොවේ. අප උත්සාහ කළ යුත්තේ දරුවාගේ බුද්ධිය වර්ධනය කිරීමට වඩා හදවත පෝෂණය කිරීමටය

මනුස්සකම,සද්පුරුෂකම, දයාව, කරුණාව ආදි ගුණ ධර්ම පිහිටනුයේ හදවත පෝෂණය වූ දරුවන් තුළ පමණි. අධ්‍යාපනයෙන් කොතරම් තමන්ගේ බුද්ධිය වර්ධනය වුවත් හදවත පෝෂණය කර නොගතහොත් ඔවුන්ගේ ජීවිත පිරිහී යයි. තරගකාරි අධ්‍යාපන රටාවකට හුරු වී සිටින පුද්ගලයන්ගෙන් සැදුම් ලත් වත්මන් සමාජය ආගම දහම කෙරෙන් දුරස්වීම සදාචාරය හා ගුණධර්ම පිරිහී යෑමට ප්‍රධාන හේතුවකි.

සහතික පසුපස හඹායන සමාජය තුළින් අපේ පැරැණි සිරිත් විරිත් ගිලිහී යෑමත් විදේශීය ගතිපැවතුම් වලට හුරුවීම හා ඒවා වැළද ගැනීමත් නිසා අපේ සිංහල සංස්කෘතිය හා සභ්‍යත්වය විනාශ වූ බව අප පිළිගත යුතු කරුණකි. මෙවැනි සමාජ වපසරියක ගුණධර්ම අතින් දරුවා පෝෂණය වනුයේ විශේෂයෙන්ම දහම් පාසල් අධ්‍යාපනය තුළිනි. දහම් පාසල් අධ්‍යාපනයේ දී සිදුවනුයේ විෂය කරුණු වලින් දරුවාගේ බුද්ධිය වර්ධනය කරනවාට වඩා මනුෂ්‍ය ගුණධර්ම වලින් දරුවාගේ හදවත පෝෂණය කිරීමයි. බෝ සෙවණ යට විහාරගෙය තුළ අකුරු කිය වූ දරුවාගේ සිත තුළ ඇති වූ පහන් හැගීම දරුවා වරදින් මුදා ලීමටත් තැන්පත් දරුවෙකු කිරීමටත් හේතුවෙයි. පාසල හා දහම් පාසල අතර ඇති වෙනස මෙයයි. පාසලේ පන්ති කාමරයට කොටුවන දරුවාගේ සිත පන්සල් භූමියේ දී චෛත්‍ය, බෝ මළුව, බුදු ගෙය වැනි ස්ථාන තුළ රැදී පවතියි. පවට බියවීම, බොරු කීමෙන් වැළකීම වැනි ,දරුවා තුළ නිබඳවම ඇත්තේ එබැවිනි. අද පාසල් වලින් වැඩි අධ්‍යාපනයක් ලබන දරුවාට වඩා දහම් පාසල් අධ්‍යාපනය තුළින් හික්මීමක් ලබන දරුවා සමාජයට වැඩදායක වෙයි.

විදේශගත බොහෝ දරුවන් පාසල් අධ්‍යාපනයෙහි පමණක් නිරත වන අතර දහම් අධ්‍යාපනය සඳහා යොමු නොවේ. එම තත්ත්වය නිසා ලාංකිකයන් වශයෙන් තමන්ට උරුම වූ පැරැණි සිරිත් විරිත් හා සිංහල සංස්කෘතිය පිළිබඳව වැටහීමක් ඇති නොවේ. එසේම ගුණධර්ම අතින්ද දියුණුවක් නොලබයි. ලොව ශ්‍රේෂ්ඨ ජාතියකට උරුමකම් කියන අප ළඟ පැවැති උදාර ගති ලක්‍ෂණ දිනෙන් දින වියැකී යන අතර එය තරමක් හෝ අවම කර ගත හැකි වනුයේ අනාගත පරපුර සඳහා ඒවා දායාද කළහොත් පමණි. එම අරමුණින් යුක්තව ශ්‍රී ලාංකික අනන්‍යතාව රැක ගනිමින් දරුවන් දහම් දැනුමෙන් පෝෂණය කිරීම සඳහා ඇරැඹූ දහම් අධ්‍යාපන ආයතනයක් වශයෙන් රෝම ධර්මාශෝක විහාරස්ථ සිදුහත් දහම් පාසල සඳහන් කළ හැකිය. අන්‍යාගමිකයන් බහුල ප්‍රදේශයක් වූ ඉතාලිය වැනි රටක ශ්‍රී ලාංකික දරුවන් බුදුදහමින් පෝෂණය කරමින් අපට ඓතිහාසික වශයෙන් උරුම වූ සිංහල සංස්කෘතිය සදාචාරය ආදි ගුණ ධර්ම වලින්ද ලාංකීය දූ පුතුන් පෝෂණය කිරීම විශේෂයෙන් අගය කළ යුත්තකි.

2006 වර්ෂයේදී සිදුහත් ධර්ම විද්‍යාලය ආරම්භ කිරීම සඳහා පුරෝගාමී වූයේ රෝම ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ අප්‍රතිහිත ධෛර්යය නිසා ආරම්භ කරන ලද එම ධර්ම විද්‍යාලය වත්මනෙහි ඉතාම සාර්ථක ලෙස පවත්වා ගෙන යමින් දරුවන් දහමින් පෝෂණය කරන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. ධර්ම විද්‍යාලයාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියන්ට අමතරව මනෝජි විතාරණ ,චතුරි කෝදාගොඩ, නිරෝෂා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහුද ආචාර්යවරුන් ලෙස කැපවීමෙන් යුතුව එහි සේවය කරති. ඉතාලි හා ඉංගී‍්‍රසි භාෂාවෙන් පාසල් අධ්‍යාපනය ලබන මෙම දරුවන්ට සිංහල මාධ්‍යයෙන් බුදුදහම පිළිබඳව මූලික දැනුමක් ලබාදීම මෙම ආචාර්ය මණ්ඩලයේ මූලික කාර්යයකි. එය මැනවින් ඉටුකිරීම නිසා බොහෝ දරුවන් ඉතාලියේ ඉගෙනීම් කටයුතු අවසන් කර යළි මව්බිමට පිවිසෙන්නේ බුදුදහම හා සිංහල සංස්කෘතිය පිළිබඳව මනා අවබෝධයකිනි. දරුවන්ට දහම් අවබෝධය ලබා දීමේ දී පොත පතට පමණක් සීමා නොවේ. බාහිර ක්‍රියාකාරකම් තුළින් දහම් අවබෝධය ලබා දීම සඳහා වෙසක්, පොසොන් ආදී පුන් පොහෝ දිනවල නොයෙක් වැඩසටහන් ද සංවිධානය කරනු ලබයි. විශේෂයෙන් පසුගිය දිනක ධර්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන දූ දරුවන්ගේ දායකත්වයෙන් රඟ දක්වන ලද වෙස්සන්තර ජාතකය හා සත්තකුම්භ ජාතකය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූවකි. එය ශ්‍රී ටීවි නාලිකාව ඔස්සේ රටවල් කිහිපයක ප්‍රචාරය කරන ලදී.

සිදුහත් ධර්ම විද්‍යාලයෙහි ඉගෙනුම ලබන දරුවන්ගේ ආචාරශීලි පැවැතුම් පිළිබඳව රෝම ජාතිකයෝ පවා වර්ණනා කරති. පොදුවේ අනිත් ළමයි සමඟ පාසලේ දී අධ්‍යාපනය ලබමින් සිටි ධර්ම විද්‍යාලයීය දරුවකුගේ ගති පැවතුම් පිළිබඳව පුදුම වූ රෝම ජාතික ගුරුවරියක් දරුවාගෙන් ඒ පිළිබඳව විමසා ඇත. ඊට පිළිතුරු වශයෙන් ඔහු පවසා ඇත්තේ දහම් පාසලෙහි ඉගෙනුම ලබන නිසා බුදු දහම තුළින් ලැබූ ශික්‍ෂණය ඊට හේතුව බවයි. තවත් අවස්ථාවක ධර්ම විද්‍යාලයීය දරුවෙකු ඉංගී‍්‍රසි විභාග පරීක්‍ෂණයක් සඳහා පෙනී සිටි අවස්ථාවක දෙමාපියනට අමතරව ඒ හා සමාන සමීප අයෙකු පිළිබඳව රචනාවක් ලියන්නට ලබා දී ඇත. එහි දී එම දරුවා තමන්ට වඩාත්ම සමීප පුද්ගලයා වශයෙන් දහම් පාසලේ ලොකු හාමුදුරුවන් පිළිබඳව රචනාව ලියා ඇත. මෙම සිදුවීම් පුංචිදෙයක් වුවත් විශේෂයෙන් රෝමය වැනි සමාජ පරිසරයක් තුළ දරුවන් තුළ ඇති මෙම උතුම් ගුණාංග අප අගය කළ යුතුය. එය මෙවැනි දරුවන් තව තවත් බිහිවීම සඳහා උපකාරයක් වනු ඇත. සිදුහත් දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු වල නිතර වන ආචාර්ය මණ්ඩලයේද බලාපොරොත්තුව වනුයේ ගුණගරුක දැහැමි සමාජයක් උදෙසා බුදුදහමින් පෝෂිත දරු පිරිසක් නිර්මාණය කිරීමයි.

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]