Print this Article


සමානාත්මතා ආකල්ප දියුණුව

 සමානාත්මතා ආකල්ප දියුණුව

සමානාත්මතාවට ඉඩ ලැබෙන අති ධාවනකාරිත්වයෙන් මිදී සමාජ දර්ශනයක් ලෙසින් බුදුදහම ඉදිරිපත් කර ඇත. සමාජයේ සංවරත්වයට මෙන්ම සදාචාරයට සමාජයේ සමානාත්මතාවය මෙන්ම මානුෂිකත්වයේ අගය ද වටා ගැනීම ද ඉතා වැදගත් ය.පටු ආකල්ප තුළින් සමාජය ඉදිරියට යන විට එම සමාජය සදාචාරාත්මක බවට වඩා වෛරය හා ක්‍රෝධය රජයන පස් පව් දස අකුසලයනට නැඹුරුවන පරිසරයක් නිර්මාණය වීමද නොවැළැක්විය හැකි කරුණකි. බුදුදහමින් අවධාරිත සමාජ සම්බන්ධතා හා සමාජ අගැයුම් පද්ධතිය, සමාජ සැකැස්ම නිසි පරිදි හැඩගස්වා ගැනීමට පමණක් නොව පවත්වාගෙන යාමටත් ජාතිකත්වය හෝ ආගමිකත්වය මත පදනම් වෙමින් මතුකෙරෙන සමාජ ප්‍රශ්න දෙස නැවත සිතීමට අවකාශයක් විවර කර දෙයි.

සමාජ සම්මුතියට අනුකූල නොවන ගෝත්‍රවාදය,ජාතිවාදය හෝ කුලවාද පිටු දැක, සමාජය දෙස සමානාත්මතාවයකින් බැලීමට බුදුරජාණන් වහන්සේ විසින් සිය ශ්‍රාවක පක්ෂය පෙළ ගැස්වමින් කටයුතු කළ සේක. සමාජය තුළ අන්‍යෝන්‍ය සුහදත්වය මෙන්ම මිත්‍රත්වය ඉස්මතු වීම කෙරෙහි ඍජුව බලපාන කරුණකි. විශේෂයෙන් මිනිසාගේ උපත පදනම් කොට, මිනිසා ජාති හෝ කුල ක්‍රමයක් යටතට පත් කරමින්, ඔවුන්ගේ සමාජ මෙහෙයන් ද ඊට අනුරූපව සකස් කර තිබූ බ්‍රාහ්මණ සමාජ ක්‍රමය, බුදුරජාණන් වහන්සේ නිර්දය ලෙසින් හෙළා දකිමින් මානුෂිකත්වය ආරක්ෂා කරලීමට හා මිනිසා මිනිසාගෙන් දුරස්වන්නේ කුමන පදනමක් මත ද යන්න ඉතා පැහැදිලිව පෙන්වා දුන් සේක.

මහාබ්‍රහ්මයාගේ මැවීමක් ලෙසින් සමාජයට සිය උපතේ ඇති ශ්‍රේෂ්ඨත්වයත් අන් කුලවල පහත් තත්ත්වයත් බ්‍රාහ්මණයන් විසින් නිරතුරුවම සමාජයට න්‍යායාත්මකව ඒත්තු ගන්වමින්, තමාගේ උසස්බව ඉස්මතු කරලීමට වෙහෙස විය. මජ්ඣිම නිකායේ ‘අස්සලායන සූත්‍රයේ’ අස්සලායන බ්‍රාහ්මණ තරුණයා බුදුරජාණන් වහන්සේ හමුවේ කරනු ලබන ප්‍රකාශය හා බුදුරජාණන් වහන්සේ විසින් ඊට ලබා දෙනු ලබන ප්‍රති උත්තරයේ ඇති තොරතුරු විමසන විට කුලවාදය හෝ ජාතිවාදය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ ආකල්පය කුමක් ද යන්න හා එම තත්ත්වය කාලීන සමාජයට පමණක් නොව පසුකාලීන සමාජය තුළ කුල ක්‍රමයන්හි ඇති වීම ඒ මගින් ඇතිවන පීඩාකාරිත්වය අවම කරලීමට මග පෙන්වීමක් ලබාගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ දකින අස්සලායන තරුණ බ්‍රාහ්මණයා “බමුණෝම උතුම් ජාති ඇත්තෝය. බමුණෝම උතුම් ශුද්ධවංශ ඇත්තෝය. අන්‍යයෝ අශුද්ධ වංශ ඇත්තෝය. බමුණෝම සුදුපාට ඇත්තෝය. අන්‍යයෝ කළුපාට ඇත්තෝය. බමුණෝම පිරිසුදු වෙති. බමුණෝ මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුඛයෙන් උපන්නෝ වෙති. බ්‍රහ්මයා විසින් මවන ලද හෙයින් බ්‍රහ්ම නිර්මිතය. බ්‍රහ්මදායාදයහ, මෙම කරුණ සම්බන්ධව ඔබ වහන්සේගේ අදහස කුමක්ද? යන්න” විචාලීය. ඊට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ “අස්සලායනය බමුණන්ගේ බැමිණියෝ ඍතුවන්තියෝ ද ගැබිනිියෝ ද දරුවන් ප්‍රසූත කරන්නියෝ ද කිරි පොවන්නියෝ ද දක්නා ලැබෙත්. ඒ බමුණෝම ස්වභාවික දරු උපතක් ලැබුවෝ වෙත්, එබැවින් තමන් මහා බ්‍රහ්මයාගේ නිර්මිතයක් යැයි කීමෙහි තේරුමක් තිබේද යන්න” විමසන අතර එහිදී යමෙකු බමුණකු ව ඉපිද පරපණ නැසීම ආදී පහත් ක්‍රියාවන්හි නිරතවේ නම් ඔහු විනිපාත වැනි දුගති භූමිවල උපදින බව පෙන්වා වදාළහ. එසේම ක්ෂත්‍රිය හෝ ශුද්‍ර ආදි අනෙක් කුලවල උපත ලද කවරෙකු හෝ යහපත් කුසල් දහම්හි නිරත වේ නම් ස්වර්ග ලෝකයන්හි උපදින බවත් පැහැදිලි කරමින් මිනිසකු කවර ජාතියක අයත් වුවත් ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුව යහපත් ගති ඇති පිරිසුදු බව හෝ අපිරිසුදු බව ලබන බව පෙන්වා දෙමින් බමුණු මතවල ඇති සාවද්‍ය ගති ඇති පිරිසුදු බව හෝ අපිරිසුදු බව ලබන බව පෙන්වා දෙමින් බමුණු මතවල ඇති සාවද්‍ය බව උන්වහන්සේ දේශනා කළහ.

එමෙන්ම ‘වාසෙට්ඨ සූත්‍රයේදි’ වාසෙට්ඨ බ්‍රාහ්මණයා විසින් බමුණෝ උසස් කුලවතුන්ය. අන්‍යයන් කුලහීන යැයි දැක්වු තැනේදී බුදුරජාණන් වහන්සේ මිනිසා බ්‍රහ්මනිර්මිතයක් නොවන බව පෙන්වා වදාළහ. ලෝකයේ ඇතිවීම සමාජය තුළ සත්ත්වයන් වශයෙන් ගත කරන ජීවිත හා මහා සම්මත වැනි පාලකයන් පත්කර ගැනීම වැනි කරුණු ගෙන හැර දක්වමින් මිනිසා විසින් නිරතවන සමාජ කාර්යයන් මුල්කොට ගෙන මිනිසා ඒ ඒ නාමයන්ගෙන් හදුන්වා දෙන ලද ආකාරයත් පැහැදිලි කළ සේක. ඒ මගින් සමාජගත ව මුල් බැසගත් කුලක්‍රමය වැනි සාවද්‍ය මත නිර්දය ලෙසින් බැහැර කොට මිනිසාගේ මිනිසත්කමට නිගාදෙන ජාතිය, කුලය අසම්මත බෙදීම් සමාජය තුළින් බැහැර කරලීමටද උන්වහන්සේ නිර්භයව කටයුතු කළ සේක. එහි දී මිනිසුන් අතර ජාතියකට අයත් සුවිශේෂී සලකුණු නොමැති බවත් මිනිසාගේ අත්පා නිය, ඇඟිලි, කළවා ,ජංඝා, ඇස්, හිස්, කන්, කෙස් , නාසා, කට, ගෙළ, පපුව, උදරය, පිට, උතුග යෝනිය, මෛථුනය යන මේ සම්බන්ධයෙනුත් අන්‍ය ජාතීන් අතර මෙන්ම සැමගේ සලකුණු එක සමාන බවත් බුදුරදුන් විසින් පෙන්වාදෙනු ලැබීය.

මිනිසුන් අතර වෙනස නමෙන් පමණි. මිනිසුන් අතර යමෙක් ගෝ රක්ෂණයෙන් ජීවිකාව කෙරෙත් ද ඔහු බ්‍රාහ්මණයකු නොව ගොවියෙකි. යමෙක් දුනු හරඹයෙන් ජීවිකාව කෙරෙත් ද ඔහු සෙබළෙකි. තවද කෙනෙකුගේ උපත හේතුවෙන් හෝ කෙනෙකු යම් වෙසෙසි වූ මවකගෙන් උපන් හෙයින් හෝ මම ඔහුට බ්‍රාහ්මණයෙකැයි නොකියමි. ජාතිය වනාහි ලෝකයේ හුදු පැන වීමක් බවත් නාම ගෝත්‍ර ද ප්‍රකල්පනය කරන දෑ පමණක් බවද බුදුදහමින් අවධාරණය කෙරේ.

මෙම දේශනාවන්ගෙන් බුදුරජාණන් වහන්සේ මිනිසුන් අතර සම්මුති වශයෙන් බෙදා වෙන් කළ හැකි වූ වෙනසක් නොමැති බව මෙන්ම ඔවුනොවුන් විසින් කරනු ලබන වෘත්තිය පදනම්කොට ගෙන සමාජය තුළ කුල ලෙසින් හෝ කාණ්ඩ ලෙසින් මිනිසා වර්ගීකරණය කළ නොහැකි බවත් පෙන්වා දුන්හ. මිනිස් සංහතිය හෝ ජාතිය වශයෙන් නොබෙදිය හැකිය යන ජීව විද්‍යාත්මක සිද්ධාන්තය හා බෞද්ධ මතය අතර සාම්‍යත්වයක් ඇති බව ඉන් පැහැදිලිය.

ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යන කුල හතර වෙනුවට නව සමාජ ආකල්ප කැටි කරගත් පුද්ගලයන් තුළ අන්තර්ගත ගුණාංග පදනම් කොට ගනිමින් භික්ෂු, භික්ෂුණී, උපාසක හා උපාසිකා යන සිවුවණක් පිරිසකගෙන් සැදුම් ලත් ගුණවන්ත හා නැණවන්ත සමාජ රාමුවක ආකෘතියක් සමාජයට හඳුන්වා දෙමින් ප්‍රායෝගික වශයෙන් ද මෙම සමාජ ස්ථරායනයන් සමාජය තුළ ව්‍යාප්ත කරලීමට අදාළ පියවර උන්වහන්සේ විසින් ගනු ලැබීය. ජාතිය හා කුලය පදනම් කර ගෙන සමාජය තුළ බෙදීමකට හා වෙන්වීමකට මං පැදූ පටු මතවාද වලින් සමාජය බේරා ගනිමින් සමාජයට නව චින්තනයක් ඔස්සේ සිය දෙනෙත් හැර බැලීමට පසුබිම සකස්කර දෙනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ විසිනි.සමාජයක් නිරතුරුවම සමඟි සම්පන්න හා මිත්‍රත්වයෙන් කටයුතු කෙරේ නම් මිනිසාගේ මෙන්ම සමාජයේ ද උන්නතියට හේතුවක් ලෙසින් පෙන්වා දීමට බුදුරජාණන් වහන්සේ නිරතුරුව උත්සාහ ගත්හ. පටු ආකල්ප හෝ මතවාදයනට ගොදුරු නොවී සිය චින්තනය විවර කරමින් තමා කළ යුත්ත තමා විසින්ම නිවැරැදිව නිශ්චය කළ යුතුය යන අදහස සමාජය තුළ ව්‍යාප්ත වීමත් සමඟම බුදු දහමෙන් උගන්වන හරය කුමක්ද යන්න නිර්ණය කර ගැනීමට අවකාශය සලසා දී තිබේ.

බුද්ධ ශාසනය වනාහි ස්ත්‍රී, පුරුෂභේදයෙන් හෝ අන් බෙදීම්වලින් බෙදී ගිය සැමටම විමුක්තිය සලසාගත හැකි තෝතැන්නක් බවට පත් කිරීමත් සමඟ සමාජයේ එතෙක් පැවැති මිථ්‍යා මතවල සාවද්‍ය බව පැහැදිලිව ඔප්පු කිරීමට ඒ මගින් හැකි විය. එමෙන්ම සුනීත, සෝපාක මෙන්ම ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත, නන්ද , රාහුල, වැනි ක්ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන්ද සසුන් වැද විමුක්තිය සලසා ගනිමින් එකට විසීම තුළින් එතෙක් පැවැති කුලවාදය ප්‍රායෝගික ඉවත් කරලීමට කටයුතු යෙදීය. පඤ්ච මහා නදීවල ජලය ගලායන විට එම ගංගා නාමයන්ගෙන් හැඳින්වෙන අතර එම ජලය මහා සාගරයට වන් කල්හි සාගරය හෝ සමුද්‍රය යන නමින් හැඳින්වෙන්නාක් මෙන් විවිධ ජාති, කුල,හා සමාජ ස්ථරයන් නියෝජනය කරමින් සසුනටවන් සෑම කෙනෙකුම බුද්ධ ශ්‍රාවක යන නමින් හැඳින්වීමත් සමඟ මිනිසා ජාති කුල නාමයන්ගෙන් බෙදිය නොහැකිය යනුවෙන් දෙසූ දහම සනාථ වීමක්ද විය.

සමාජය වඩාත් පසුගාමීත්වයට පත්වීමට විවිධ බෙදීම් මගින් මිනිසුන් පරාදීන චින්තනයන් වෙත ඇද දැමීම ද එක් හේතු සාධකයක් වේ. කුල භේද හා ජාති භේදය මේ අතරින් වඩාත් ප්‍රබල සාධකයෝ වෙති. සෑම දෙනා එකාවන් ලෙසින් සලකන විට හා සම අයිතීන් හිමිවන වට පරාදීන චින්තනය ඉවත් කර ගැනීමටත් ධනාත්මක ආකල්පවලින් සිය ජීවිතය පුරවා ගැනීම මගින් සමාජය දියුණුවක් කරා ගෙන ඒමටත් හැකි පසුබිමක් නිර්මාණය කර ගැනීමට මිනිසාට හැකි බව බුදුදහම තුළින් ප්‍රායෝගිකව ඔප්පු කොට ඇත.

මනෝ විද්‍යාත්මකව අර්ථයෙන් බලන විට ද සියලු මිනිස් ක්‍රියාකාරකම් මනස පෙර දැරි කරගෙන ඇත. මනෝ විද්‍යාත්මක අර්ථයෙන් හා බෞද්ධ සංකල්පයෙන් සලකන විට ද සියලු මිනිස් ක්‍රියාකාරකම් මනස මුල්කොට ගෙන ඇත. (පුබ්බංගමා ධම්මා) සිද්ධාන්තයට සාපේක්ෂකය. තිදොරේ ක්‍රියාකාරිත්වයට මනස මුල්වන අතර ඡන්ද, දෝස භය මෝහ යන සතර අගතියට අවනතව පුද්ගල මනස ක්‍රියාත්මක වේ. මෙහිදී සුදු, කළු වශයෙන් වර්ණ භේදයක් ඉස්මතු නොවේ. එම සිතිවිලි සමුදාය සියලු වර්ණයන්ට එක්ලෙසින්ම සාධාරණය.

සමාජය විසින් කුල භේදයක් හෝ වර්ණ ක්‍රමයක් සමාජය තුළ බලෙන් පටවමින් ක්‍රියාත්මක කළ බෙදීම සමාජය කොටස් කරලීමට පමණක් සීමා නොවීය. ආධ්‍යාත්මික අයිතියද ඔවුන් විසින් පැහැරගෙන තිබුණි. වෛදික පාඨ කීම හෝ ඇසීම මෙන්ම ඉගනීම උසස් වර්ණවලට සීමා කළ අතර පහත් ස්ථරයන්ට එම අයිතිය අහිමි කළා පමණක් නොව ඒ ගැන සිතීමද පාපයක් සේ පෙන්වා දෙමින් ඉන් ඈත් කරලීමට කටයුතු කරනු ලැබීය.

බුදුරජාණන් වහන්සේ ඊට දැඩි ව එරෙහි වෙමින් කුලය ජාතිය කුමක් වුවද සියලු දෙනාටම එකලෙසින් ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගැනීමට හැකිබව පෙන්වා දුන් සේක.කුසලාකුසල කර්ම ශක්තිය අනුව සියලුදෙනාගේ ම පරලොව තීරණයවේ. ලෝභ, දෝස, මෝහ දුරලා අකුසල මූලයන් දුරලා මෛත්‍රිය පැතිරවීම උසස් කුලීනයනට පමණක් නොව කුල හීනයන්ට ද එසේ කළ හැකි බව අස්සලායන සූත්‍රයේ දී උන්වහන්සේ විසින් පෙන්වා දෙමින් සමාජයේ ජීවත්වන පුද්ගල අයිතින් තහවුරු කරලීමට කටයුතු කළහ.

දිනක් කොසොල් රජුට දහම් දෙසන බුදුරජාණන් වහන්සේ රජුගෙන් මෙසේ ප්‍රශ්නයක් විමසූ බව කණ්ණකත්ථල සූත්‍රයේදී පෙන්වා ඇත. මහරජ! යමෙක් වියළිි පරඩලාවෙන් ද තවකෙනෙක් වියළි සල් දරින්ද, තව කෙනෙකු දිඹුල් දරින්ද, තව කෙනෙකු අඹ දරින්ද ගිනි දල්වති. නමුත් මේ වායේ දැල්ලෙහි හෝ ආලෝකයෙහි වෙනසක් නොමැත්තා සේම වීර්යෙන් ලබන විමුක්තියේද කිසිදු වෙනසක් නැති බව අවධාරණය කරමින් සමාජ ගතව පැවැති මිත්‍යා මතවලට තිබූ අවකාශය සිඳ බිඳ දැමූ සේක.

කුලයට හෝ ජාතියට වඩා සැම දෙන මෙත් සිතින් යුතුව සැම සත්වයකු දෙසම බැලිය යුතු දැක්මක් ඇති කර ගත යුතු බව බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා කොට ඇත. මවක් තම එකම දරුවා යම් සේ ආරක්ෂා කරයිද ඒ ආකාරයෙන් ම සියලුම සත්වයන් කෙරෙහි අපරිමාණ වූ මෙත් සිත්වැඩිය යුතු බව (මාතා යථා නියං පුත්තං – ආයු සා එක පුත්ත මනුරක්ඛේ – එවම්පි සබ්බභූතෙසු මානසම්භාවයේ අපරිමාණං) එම සූත්‍රයේ පැහැදිලි කරයි. වර්ණ, ජාති, ගෝත්‍ර, ස්ත්‍රි හා පුරුෂ යන කිසිදු භේදයකින් තොරව සියලු දෙනාටම එකසේ මෙත් සිත පැතිරවිය යුතු බැවින් මිනිසා බෙදීමකට ඇති අවකාශය බුදුදහම තුළ ආවරණය කර ඇති බව පැහැදිලිය.

සැමට එකා මෙන් ජීවත්විය හැකි පරිසරයකටම හෙළි කරන බුදුදහම සැම දෙනාගේ අයිතීන්ද එකලෙසින් සුරක්ෂිත කරලීමට අදාළ මග පෙන්වීම සමාජ සැකැස්ම කෙරෙහි ඇති කළ මහත් බලපෑමක් බව පෙනේ. එමෙන්ම සමාජයේ බෙදීම් අවම කිරීමට මෙන්ම සමාජයේ ජීවත්වන පිරිස් සිය අන්‍යෝන්‍ය බැඳීම හා සුහදත්වය වර්ධනය කර ගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව ද කර ඇති දේශනා සමාජ සම්බන්ධතා දියුණුවට රුකුලකි.