Print this Article


පෘථජ්ජන සත්වයෝ සිතේ වහල්ලු වෙති

පෘථජ්ජන සත්වයෝ සිතේ වහල්ලු වෙති

කිසිලෙසකින් දකින්නට නොහැකි අරූපි බැවින්, කිසිලෙසකින්වත් රූප සටහනක් නොමැති, ඉතාම සියුම් වූ, තමන් පි‍්‍රය කරන කවර අරමුණක් වුවත් අල්ලාගන්නා වූ සිත නුවණැති පුද්ගලයා විසින් ආරක්‍ෂා කරගනු ලැබිය යුතු ය. යමෙකුට එබඳු සිත රැකගත හැකි වූවොත් ඔහුට මාර්ගඵල සහ නිවන් සැප අත්කර ගත හැකියැයි බුදුන් වහන්සේ වදාළා.

“පභස්සරමිදං භික්‍ඛවෙ චිත්තං තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං” මහණෙනි, සිත ස්වභාවයෙන් පිරිසුදුයි. එහෙත් ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන් විසින් බැහැරින් ගනුලබන රූපාදී උපක්ලේශ නිසා සිත කිලිටි වනවා. මේ දේශනාව අනුව, ස්වභාවයෙන් පිරිසුදු අපේ සිත කිලිටි වන්නේ කෙසේදැයි වටහා ගැනීම අසීරු වන්නේ නැත.

බුදුදහම ප්‍රධාන වශයෙන් සිත මුල්කරගෙන දේශිත දහමකි. ත්‍රිපිටකයෙන්, සූත්‍ර පිටකයෙහි සූත්‍ර රාශියකුත් අභිධර්ම පිටකය සම්පූර්ණයෙනුත් දේශනා කොට ඇත්තේ සිත පිළිබඳ යථා තත්ත්වය හෙළි කිරීමටයි. සිත මුල්කරගෙන දේශිත දහමක් වන බුදුදහම ආනුසංගික වශයෙන් කය හා වචනය ද සම්බන්ධ කරගෙන තිබෙනවා.

මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛ මන්වෙති
චක්කංව වහතො පදං
මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නෙන
භාසති වා කරොති වා
තතො නං සුඛ මන්වෙති
ඡායාව අනපායිනි

ධම්මපදයේ යමකවග්ගයේ සඳහන් 1, 2 ගාථා දෙකින්, ස්වභාවයෙන් පිරිසුදු සිතේ පුද්ගලයා දුකට පත් කරන දූෂිත සිතුවිලිත්, පුද්ගලයා සැපයට පත්කරන සුඛ සහගත සිතුවිලිත් උපදින ආකාරය විස්තර කෙරෙනවා. සිතේ උපදින දූෂිත සිතුවිලිවල අනිටු විපාක ඒ ඒ පුද්ගලයා පසු පස (නිවන් අවබෝධ කොට පිරිනිවෙන තුරු) ගමන් කරන්නේ (චක්කංව වහතො පදං) කරත්තයෙහි බැඳි ගොනා ගමන් කරන විට කරත්ත රෝද ගොනා පසුපස නිබඳව ගමන් කරන්නාක් මෙනියිද, එමෙන්ම පුද්ගලයාගේ සිතේ උපදින පිරිසුදු සිතුවිලි ඔහු පසුපස ඇදී යන්නේ (ඡායාව අනපායිනි) තමා අත් නොහැර තමා සමඟ ගමන් කරන තමාගේ සෙවනැල්ල මෙනියිද බුදුන් වහන්සේ මේ ගාථා දෙකින් ඉතාම පැහැදිලිව දේශනා කොට වදාළා. සෑම සත්වයකුම කයෙනුත් වචනයෙනුත් සිතිනුත් යන තිදොරින් ම අකුශල සහගත සහ කුශල සහගත කායකර්ම, වාග ්කර්ම සහ මනෝකර්ම සිදු කරනවා. මේ තිදොරින්ම කරන, කියන, සිතන හැම කර්මයක් ම අවසාන වශයෙන් බැඳී පවත්නේ සිත සමඟයි. එම කර්ම, කුසල සිත්, අකුසල සිත් සහ ක්‍රියා සිත් යයි කොටස් තුනකට බෙදෙනවා. ක්‍රියා සිත් කුශල හෝ අකුශල හෝ නොවේ. ඒවා රහතුන් වහන්සේට ඇතිවන යහපත් සිත්ය.

කුශල කර්ම කියන්නේ ලොභාදී සිතිවිලිවලට පටහැනි දානාදී යහපත් ක්‍රියායි. ලෝභ, දෝෂ, මෝහ යන කෙලෙස්වලින් අපිරිසුදු වූ සිතින් කරන කියන සිතන ක්‍රියා අකුශලයි. අලෝභ අදෝෂ, අමෝහ යන පිරිසුදු සිතිවිලිවලින් කරන කියන හිතන ක්‍රියා කුශලයි. අපේ සිතේ උපදින සියලු සිතිවිලි මේ කොටස් දෙකට අයත් වන අතර ඒවා පොදුවේ කර්ම සංඛ්‍යාවට ඇතුළත් වෙනවා. එහෙත් රහතන් වහන්සේ තුළ උපදින කුසල සිත් අප හඳුන්වන්නේ ක්‍රියා සිත් කියලයි. රහතන් වහන්සේගේ සිතේ අකුශල සිතිවිලි උපදින්නෙ නැහැ. උන්වහන්සේ සකල ක්ලේශයන් දුරුකළ උතුමෙක්. රහතන් වහන්සේ දානාදී කුශල සහගත ක්‍රියා කරතත් ඒවා කර්ම වන්නේ නැහැ. කුශල මූල හෝ අකුශල මූල එහි නැහැ. කුශල් අකුශල් දෙකින් තොර යහපත් ක්‍රියා පමණයි. රහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු කර්ම නැතිනිසා එනම් උන්වහන්සේ සුගතියක හෝ දුගතියක හෝ යළි ඉපදීමට හේතු වන කර්ම නැතිනිසා පුනර්භවයක් (නැවත උපතක්) නැහැ. “නත්ථිදානි පුනබ්භවො” කියා බුදුන් වහන්සේ වදාළේ ඒ නිසයි.

සසර සැරිසරන සත්වයන්ට ඒ සඳහා උපකාර වන්නේ ඔහු මේ භවයේ හෝ පෙර භවයන්හිදී හෝ කරන ලද කුශලාකුශල කර්මයි. රහත් වීම එනම්, නිවන් අවබෝධ කරගැනීම හඳුන්වනවා, ‘කම්මක්ඛය’ කියල. බීජයක පැළවීමේ ශක්තිය නැති කළොත් එය යළිත් පැළවෙන්නේ නැහැ. ගහක් මුලින්ම උදුරා දැමීමෙන් නැවත වැඩෙන්නේ නැහැ.එවැනියි කර්ම ක්ෂය කිරීම. සියලුම සත්වයන් සසර උපදින්නේ කුශල හෝ අකුශල කර්මවල විපාක වශයෙනි. ‘කම්මනා වත්තති ලොකො, කම්මනා වත්තති පජා. කම්ම නිබන්ධනා සත්තා රථස්සාණි ව යායතො’ යන දේශනා පාඨයෙන් බුදුරදුන් වදාළේ ලොව සිටින සියලුම සත්වයන් සසර සැරිසරන්නේ කර්මය නිසා බවයි. කරත්ත රෝදය ගැළවී නොවැටී, ඇලවංගුව සමඟ බැඳී සිටිමින් රෝදයේ කරකැවීමට උපකාර වන්නේ කඩ ඇණයයි. කඩ ඇණයෙන් අවහිර වූ රෝදය, කරත්තය අදින ගවයා විසින් කරත්තය ඇදගෙන යනු ලබන විට ගැලවී බිම නොවැටී රඳා පවතිනවා. එමෙන්ම කර්ම ශක්තිය ඇතිතාක් සත්වයාටද සසරින් එතෙරවන්නට නොහැකිව සතර අපායේ හෝ මිනිස් ලොව හෝ සදිව්‍ය ලෝකවල හෝ සොළොස් බඹතලවල හෝ අරූපතලවල හෝ සැරිසරනවා. මේ කොතැන උපන්නත් ලෝකෝත්තර පුද්ගලයකු වන්නට නම් චතුරාර්ය සත්‍යාවබෝධ කොට නිවන් පසක් කරගන්නම ඕන.

“කම්මං සත්තේ විභජති යදිදංහීනප්පණිතතාය” යන බුදුවදන අනුව, සත්වයන් සසර ඉපදවීම පමණක් නොව මරණින් පසු එම සත්වයාගේ පුනර්භවස්ථානය ද තීරණය කරන්නේ කර්මයයි. මරණාසන්න මොහොතේ, ඔහු මෙලොවදී හෝ පෙර භවයකදී හෝ කරන ලද, කුසල් සිතක් චුති චිත්තය වශයෙන් සිතට නැඟුණහොත් ඒ කුශල ශක්තියේ ප්‍රබල, දුබල තත්ත්වය අනුව සුගතියක උපදවනවා. එමෙන්ම අකුශල් සිතක් පහළ වූයේ නම් එම අකුශල් සිතේ ප්‍රබල, දුබල තත්ත්වය අනුව දුගතියක උපදවනවා. එපමණක් නොව උපත ලබන කුලය, දේශය, කාලය ආදිය මෙන්ම ඔහුගේ ආයු කාලය, අඟපසඟ, රූපය, රෝගාබාධාදිය, ධනවත් කම හෝ දුප්පත්කම ආදී බොහෝ මූලික කරුණු තීරණය කරන්නේ කර්මයයි. ‘කම්මං සත්තේ විහජති යදිදං හිනප්පණිතතා’ යයි වදාළේ ඒ බවයි. හැම සත්වයකුම සසරදි පව්, පින් දෙකම අඩු වැඩි වශයෙන් සිදු කර තිබෙනවා. ඒවා අතරත් සමහර පාපකර්ම ප්‍රබලයි. සමහර ඒවා මධ්‍යමයි. සමහර ඒවා දුර්වලයි. ඒ අනුව, විපාක දීමේ දීත්, ආනන්තරියාදී ප්‍රබල අකුසල කර්මවලට දෙන විපාක දරුණුයි. එසේම කුසල වුවත් ප්‍රබල, සාමාන්‍ය, දුබල ආදී වශයෙන් බෙදෙනවා. ඒවාට ලැබෙන සැප විපාකත් එකිනෙකට වෙනස්. මේ ආදී වශයෙන් කර්මයෙහි ප්‍රභේද රාශියක් තිබෙනවා. කර්ම විපාක නොසිතිය හැක්කක් බව බුදුන් වදාළේ එය එතරම්ම සංකීර්ණ නිසයි. හැබැයි මේ කීවේ බුදුදහමේ උගන්වන කර්මයයි. වෙනත් සමහර ආගම්වලත් කර්ම විෂය උගන්වනවා. ඒ ආගම්වල උගන්වන කර්ම විෂය සහ බුදුදහමේ උගන්වන කර්ම විෂය සමාන වන්නේ නමින් පමණයි. විෂයානුබද්ධ ප්‍රතිඵල වශයෙන් ඔවුන්ගේ කර්ම විෂය සහ බෞද්ධයන්ගේ කර්ම විෂය අහසට පොළොව මෙන් විවිධයි. විසමයි.

මෙහිදී මට සිහිපත් වෙනවා අද ඇතැම් ආත්මාර්ථකාමී අය කියන කොයි ආගමෙත් උගන්වන්නෙ එකම ධර්මයයි කියන කතාව. මෙහෙම කියන ආත්මාර්ථකාමීන් එක ආගමක්වත් නොදන්නා නොඅදහන කපටි පුද්ගලයන්. අනෙක් අතෙන් බුදුදහම නූතන විග්‍රහයට අනුව හුදු ආගමක් පමණක්ම නොවේ. එහෙත් එහි ආගමික ලක්‍ෂණ ද නැත්තේ නොවේ. බුදුදහම අනුපූර්ව ප්‍රතිපදාවකි. අනුපූර්ව ක්‍රියාදාමයකි. එය ශීලයෙහි සිට සිව්සස් අවබෝධ කරගන්නා තුරු ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළයුතු ප්‍රතිපදාවකි.

“පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස” යි වදාළ පරදි අනුවණයන්ට අවබෝධ කර ගත නොහැකි නුවණැත්තන් විසින් ම අවබෝධ කරගත යුතු ගැඹුරු, සියුම්, දැකීමට දුෂ්කර, පරම සත්‍ය වූ එකම දහම බුදුදහමයි. රාග, ද්වේශ, මෝහයන්ගෙන් මඩනා ලද සිත් ඇති කෙලෙස් භරිත පුද්ගලයන්ට මෙය අවබෝධ කරගත නොහැකියි. එහෙත් මෙයින් කියන්නේ අනුවණයන්ට බුදුදහම වටහා ගැනීමට දුෂ්කර දහමක්ය යන්න නොවේ. එහි ගැඹුරු බවත් එය වටහා ගැනීමට නම් නුවණින් ක්‍රියා කළ යුතු බවත් ය. “පඤ්ඤා නරානං රතනං” යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ මනුෂ්‍යයන්ගේ උතුම්ම රත්නය ප්‍රඥාව බවයි. ඒ නිසා බුදුදහම බුදුන් වහන්සේ විසින් දෙසන ලද පමණින්ම හෝ එය ඇසූ පමණින්ම හෝ අවබෝධ කරගත හැකි දහමක් නොවේ. පළමුවෙන් සීලයෙහි පිහිටා දෙවැනුව භාවනාවෙන් සිත දමනය කරගෙන තෙවැනුව විදර්ශනා වැඩීමෙන් ප්‍රඥාව දියුණු කරගෙන සිව් සස් අවබෝධ කර ගැනීමෙනුයි බෞද්ධ ප්‍රතිපදාව නිෂ්ටාවට පත්වන්නේ.

චිත්තෙන නීයති ලොකො
චිත්තෙන පරිකස්සති
චිත්තස්ස එක ධම්මස්ස
සබ්බේව එසමන්වගූ
(සංයුක්ත නිකාය)

දෙවියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බුදුන් වදාළේ පඤ්චස්ඛන්ධය නමැති ලෝකය ලබා දෙන්නේ සිත බවයි. සත්වයා නමැති ලෝකය සසර ඇදගෙන යන්නේ සිත යි. සියලු සත්වයෝ ම සිත නමැති මේ එකම ධර්මයාගේ වසයට (යටතට) ගියාහු වෙතියි දේශනා කරනු ලැබුවා.

මේ දේශනාවෙන් ස්ඵුට වෙනවා. සියලු සත්වයන් සිතේ වසඟයට පත්ව සිටින බව. එසේ නම් සිතේ වහලකු වූ ඔබ මේ වහල් බවින් මිදීමට යි උත්සාහ කළයුත්තේ. ඒ සඳහා ඔබත් මාත් බෞද්ධ ප්‍රතිපදා මාර්ගයෙහි ගමන්කොට සිතෙන් මිදීමට උත්සාහ කළයුතු වනවා.

සුදුද්දසං සුනිපුණං
යත්ථකාමනිපාතිනං
චිත්තං රක්ඛෙථ මෙධාවි
චිත්තං ගුත්තං සුඛාවහං
(ධම්මපදය – චිත්තවග්ගය)

කිසිලෙසකින් දකින්නට නොහැකි අරූපි බැවින්, කිසිලෙසකින්වත් රූප සටහනක් නොමැති, ඉතාම සියුම් වූ, තමන් පි‍්‍රය කරන කවර අරමුණක් වුවත් අල්ලාගන්නා වූ සිත නුවණැති පුද්ගලයා විසින් ආරක්‍ෂා කරගනු ලැබිය යුතු ය. යමෙකුට එබඳු සිත රැකගත හැකි වූවොත් ඔහුට මාර්ගඵල සහ නිවන් සැප අත්කර ගත හැකියයි බුදුන් වහන්සේ මේ ගාථාවෙන් වදාළා. සිතට කියන තවත් නමකි ‘විඤ්ඤාණය’ යන්න. සිතට අරමුණු වන රූපාදිය පිළිබඳව සිතීමට උපකාර වන්නේ සිතයි. තමන්ගේ යහපතට හේතුවන එක් අරමුණක සිත පිහිටුවා ගැනීම දුෂ්කරයි. සිත වස්තුවක් නොවන නිසා දකින්නට නොහැකියි. එහෙත් රූපාදී අරමුණු සවස්තුකයි. ඒවා දැකිය හැකියි. ස්පර්ශ කළ හැකියි. එම අරමුණ පිළිබඳ සටහන් පසිඳුරන්ගෙන් ගැනීමෙන් අවස්තුක සිත පහළ වනවා.

එවිට ඒ අරමුණ පිළිබඳ විවිධාකාරයෙන් සිතීමට චෛතසික ඉවහල් වනවා. මේ සිත ස්වභාවයෙන් පාපය කරාම නැඹුරු වූවකි. එහෙයින් නුවණැත්තා පවට නැඹුරු වූ සිත දමනය කරගෙන, පහළට ගලන ගඟක් ඉහළට හරවන්නාක් මෙන් දැඩි උත්සාහයෙන් සුමඟට හැරවීමට උත්සාහ කළයුතුයි. පවට නැමුණු සිත පිනට නවාගන්න මහ සටනක් සිත සමඟම ඔබ කළයුතුයි. ඔබ සිතේ වහලකු වූවොත් සිත කියන කියන දෑ කරනු විනා ඔබට අවශ්‍ය දෑ සිත ලවා කරවා ගත නොහැකියි.

යමකු ජීවිතය පුරාම පස්පව් දශ අකුසල් සිදු කරන්නේ සිතේ වහලකු වීම නිසයි. සිත තමන්ගේ වහලකු කර ගන්නට ඔබට හැකිනම් පව් සිතිවිලි වලින් වැළැකී කුශල් සිතිවිලි සඳහා යොමු කළ හැකි වනවා. විවිධ දුසිරිත්, අපරාධ, තිරිසන් ක්‍රියා ආදී මනුෂ්‍යයා අමනුෂ්‍යයකු කරවන ක්‍රියාවලට පෙළැඹෙන්නේ සිතට වහල්ව ක්‍රියා කරන නිසයි. එය මිනිස් කමටත් නිගාවක්. ඔබ තිරිසන් ආත්මයක නොඉපදී මිනිසත් බවක් ලැබුණේ පෙර කළ මහ පිනක මහිමයෙනි. එසේනම් මිනිසකු වූ ඔබ කළ යුත්තේ මිනිසත් බවට ඔබින, දේවත්වයට අවශ්‍ය, කරුණා සහගත, මෛත්‍රී සහගත, සානුකම්පිත, අනෙකාට හිතකර ක්‍රියායි. එහෙත් ඇතැම් අය සිදු කරන්නේ තමාට මෙන්ම අනෙක් තැනැත්තාටද අතිශයින් අහිතකර ක්‍රියායි. එය මිනිසත්කම නොවේ. එහෙයින් උත්සාහ කළයුත්තේ මිනිස් බවේ උත්තරීතරත්වය රැකගෙන තමන්ටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් යහපතක් වන ක්‍රියා සිදු කිරීමටයි. ඒ සඳහා බුදුදහම අනුගමනය කරමින් සද්ගුණවත් පරාර්ථකාමිී ගුණ වඩා වර්ධනය කොට ගෙන බුදුන් වදාළ ප්‍රතිපදා මාර්ගයෙහි ගමන් කොට හැකිතාක් ඉක්මනින් විමුක්තිය කරා ළඟා වීමට උත්සාහ කළ යුතුය. ‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’යි වදාළ බුද්ධාවවාදය වචනයට සීමා නොකොට තම ජීවිතයේ උත්තරීතර භාවනාවක් කර ගත්තොත් මේ ගොරබිරම් සසරින් එතෙර වීම දුෂ්කර නොවේ.