Print this Article


සසුනඹරේ සුපුන් සඳක් - රේරුකානේ රූබෙල්...

රේරුකානේ රූබෙල්...

නිබඳව නිල්ලෙන් පිරි නිසි කලට වැසි වසින තෙත් කලාපයේ කෙත් යායකට මැදි වූ රේරුකාන නම් ගම සුන්දර ය. හරියටම පවසන්නේ නම් එය බස්නාහිර පළාතේ කළුතර, දිස්ත්‍රික්කයේ,රයිගම් කෝරළයේ,අධිකාරි පත්තුවේ, බණ්ඩාරගම ආසනයට අයත් අප්‍රකට ගමකි. ගමට ම තිබුණේ ගෙවල් දහයක්, පහළොවක් පමණි. පුදුම හිතන්න එපා! ඔබව මා මේ රැගෙන යන්නේ එක්දහස් අටසිය ගණන්වල අග භාගයට ය.

ඇති හැකි විදියට හදා ගත්තු පොල් අතු සෙවලි කළ එහි වූ එක්තරා සාමකාමී නිවසක 1897 වසරේ ජූලි මාසයේ 19 වන දා හා පුරා කියා කුළුඳුලේට පින්වන්ත කුමාරයෙක් ඉපදුණි. කාගෙ කාගෙත් කේන්දරේ ලියැවෙන්නේ පින්වන්ත කුමරකු කියා වුවත් මේ කුමාරවරුන් බොහෝ දෙනාගේ කරඳඬු උස්වන විට පින්වන්ත කම ද හැලී කුළය ද පරිහානියට පත්වෙයි. සත්‍ය වශයෙන්ම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පැවසුවහොත් ඇසළ මාසයේ ජනිත වූ මේ කුමරා නම් සුපින්වත් කුමරෙක්ම ය.

බුදුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ බුද්ධ කාරක ධර්මයන් සපුරා වෙසක් සුපුන් පොහෝදා ලොව්තුරා සම්බුද්ධත්වයට සපැමිණ, තමන් වහන්සේ අවබෝධ කරගත් පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය ධර්මය පස්වග තවුසන් ප්‍රමුඛ අටලොස් කෝටියක් වූ දෙව් බඹුන්ට දේශනා කළේ ඇසළ මාසයේ පුර පසළොස්වක දිනයකදී ය.එසේ තුන් ලොවටම සදහම් ආලෝකය පැතිරුණු මාසය ඇසළ මාසයයි. එවන් ඇසළ මහේ උපන් මේ භාග්‍යවත් පුත් කුමරා මව් බිමට මිණි පහනක් වෙමින් කය ක්‍ෂය වුව ද අදත් නාමය නොනසා එහි ගුණ සුවඳ වාතලය පුරා විසිර පැතිරි වීමට සමත් වෙතැයි එදා කිසිවකු සිතන්නට නැත.

තමා ජාතක කළ කුළුදුල් දරුවා පිරිමි දරුවකු වු නිසාම දොන් බස්තියන් පවුලිස් ගුණවර්ධන උන්නැහැට දැනුණේ නිම් හිම් නැති සතුටකි.

මොහොතකට පෙර ජීවිතයේ විඳිය හැකි වේදනාකාරිම අද්දැකීම වූ විලිරුදාව ඝන හිරු කිරණින් සැනෙන් වියැකී ගිය පිණි බිඳුවක් සේ කොහෝ ගියා දැයි මුණසිංහ පොඩිනෝනා මාතාවට නො දැනුණේ ස්වභාව ධර්මය ද උත්තම කොට සැලකූ සෙනෙහස නිසාම රතු ලේ ධාරාව කිරි බවට පරිවර්තනය කරනා ඒ අසිරිමත් මාතෘ පදවිය ලද අහිංසක සාඩම්බරය ඈ ආත්මයම පුරවා ලූ බැවිනි.

එදා එය උප්පැන්න සහතිකයේ ලියැවෙන, ආණ්ඩුවේ රෙජිස්ටාර් කන්තෝරුවේ ගණන් තැබෙන සාමාන්‍ය දරු උපතකි. (ඒ කාලේ හැටියට මේවා ලේඛන ගත වූවා දැයි ද නොදනිමි) එහෙත් මෙවන් පින්වත් පුත් කුමරෙකු උපැද්දූ පිනම මේ මව්පිය යුවළට නිවන් දකින්නට ප්‍රමාවත් නොවේ දැයි ආපසු හැරී බලන විට සිතෙයි. අම්මාට අප්පාට පමණක් නොව දළ රළ පහරින් ඝෝර වූ මහා සංසාර සයුරෙන් නිවන් කෙම්බිම වෙත රැගෙන යන්නට අවැසි උතුම් සම්බුදු දහම අප කාට කාටත් සරල සිංහල බසින් ලියා පළ කරමින් සසර සයුර තරණයට පහුරක් බැන්දා වූ මේ පුත් රුවන ජාතක කළ පියා ද වැදූ මව ද නිවුණේම වෙයි. එය එසේ වූයේ කෙසේදැයි ඉදිරියේදි ඔබට ඒත්තු ගත හැකිය.


මහා නා හිමි උපන් නිවසේ පසු කාලීන දසුනක්

මේ අලුත උපන් කුළුඳුල් දරුවාට නම් තැබුවේ රූබෙල් කියා ය. වාසගමත් සමඟම හැඳීන් වුව හොත් රූබෙල් ගුණවර්ධන ය. පසුව උපන් සෙලෝහාමි, නීලිස්, එඩ්මන්, ඇක්මන්, ඒඩින් ද පවුල් කැදැල්ලට එකතු වූ විට රූබෙල් ද සමඟ දරුවන් සය දෙනකුගෙන් මේ පවුල් කුටුම්භය පොහොසත් විය.

අපගේ් කතා නායකයා වූ රූබෙල් කොලු ගැටයා පාසල් ගියේ දෙවැනි කැලෑසියට පමණි. එය ද තම දක්‍ෂතාවය ප්‍රදර්ශනය කිරීමෙන් නොවේ. දෙවැනි පන්තියට මේ දරුවා සමත් උණේ හොරට කොපි කිරීමෙනි. විභාගය දවසේ ළමයින් වාඩිකර තිබුණේ මුහුණට මුහුණ සිටින සේය.

ගුරුන්නාන්සේ හඬ නගා මෙසේ පවස යි

‘තේ වතුර බීම ගුණ ය’

‘හොඳයි දරුවනේ මා කියු ඒ වැකිය ගල් ලෑලිවල ලස්සනට ලියන්න .

දැන් ළමයි ලියන්නට පටන් ගනිති. රූබෙල් කුඩා දරුවා දුරුවලයෙකි. ඔහුට ඒ වාක්‍ය ලියන්නට අකුරු මතක නැත. ඒත් මූණ ඉස්සරහ හිටි දරුවා වාක්‍ය ලස්සනට ලියා තිබෙන බව රූබෙල් හොඳින් දකි යි. ඔහු ද ඒ අනුව අර වාක්‍ය කොපි කර ගනි යි. එසේ යාළුවට පින් සිදු වන්නට රූබෙල් ට ද දෙවැනි පන්තියට සමත්වීමට හැකි වෙයි.

එහෙත් දෛවය කරන හාස්කම් බලන්න! එදා එසේ යාළුවාගේ පහනින් එළිය බලා දෙවෙනි පන්තියට පමණක් ගිය දරුවාම පසුකලෙක දහම් පිපාසයෙන් පෙළුණු දන මන අඳුර දුරැලමින් ආලෝකය විදාහළ පහනක් බවට පත් විය. ගරු නම්බු නාමයක් වශයෙන් මහාචාර්ය පදවියකින් ද පිදුම් ලැබුවේ ය.

අකුරු මතක නැති වූ දරුවා ගැඹුරු ධර්මය පවා සරල සිංහලෙන් පහදා දෙන්නට සමත් පොත් පෙළක් ලියා පළ කළ පඬිරුවනක් විය.

සම්බුදු දහම වෙනුවෙන් ග්‍රන්ථ තිහකට ආසන්න සංඛ්‍යාවක් ලියා ඵලකරමින් වියතුන්ගේ, බහුශ්‍රැතයන්ගේ, සංසාර විමුක්තිය සොයා යන යෝගාවර භික්ෂූන් වහන්සේ මෙන්ම සමාජ ගත වූ සැබෑ භික්‍ෂූන් වහන්සේ පමණක් නොව සකල බෞද්ධ ජන සමාජයේම ගරු බුහුමනට සම්භාවනාට පාත්‍ර වූණි. ඉතින් බලන්න දෛවය – ඉරණම මොනතරම් වෙනස්වන සුළු ද අසිරිමත් ද යන වග.

හොඳයි අපි නැවත ගමන් මඟට පිවිසෙමු. කාලය මෙසේ ගෙවී යද්දී 1906 වසරේදී බුරුම ජාතික විනයාලංකාර භික්‍ෂූන් වහන්සේ ලංකාවට සපැමිණෙ යි. උන්වහන්සේ පැමිණෙන්නේ අප බිමේ ඉපැරැණි පූජනීය ස්ථානයන් දැක වැඳ පුද ගැනීමට බොහෝ ප්‍රදේශයන්හි සංචාරය කිරීමේ අපේක්‍ෂාවෙනි. ඔය සංචාරය අතරතුර දී උන්වහන්සේ ඉහත අප සඳහන් කළ ගම් ප්‍රදේශයට පැමිණෙ යි.

ගම ආසන්නයේ ඇති ‘කුළුපන’ නම් කන්දේ ඇති ගල් ගුහාවක උන්වහන්සේ දින කීපයක් වැඩ සිටිති. පිටරටකින් වැඩිය මේ භික්‍ෂූන් වහන්සේ දකින කුතුහලෙන් ගම් බිම් වල බොහෝ ඇත්තෝ බුරුම හාමුදුරුවන් දකින්නට ‘කුළුපන’ කන්දට යන්නට වූහ.ඔවුන් සමඟ හාමුදුරුවන් ද කැඩිච්ච සිංහලෙන් ඇයි හොඳයිකම් පවත්වන අතර හැළෙන වදන් අහුලමින් අපහසුවෙන් ධර්ම දේශනා ද පවත්වති. හාමුදුරුවන්ගේ ඇවැතුම් පැවතුම් දකින ගැමියන්ගේ සිත් හි උපදින්නේ ප්‍රසාදයකි.

ඒ නිසා දුප්පත් ගැමියෝ තියෙන විදියට දානමානාදිය ද සෙසු පිරිකර අටපිරිකාරාදිය ද උන්වහන්සේට පූජා කරති.

එසේ දවස් ගෙවෙන විට පිරිකර ද ගොඩගැසෙන අතර විනයාලංකාර හාමුදුරුවෝ ඒවා තණ්හාවෙන් බදා ගෙන නොසිට බෙදා දමන්නට තීරණය කළහ.

උන්වහන්සේ මේ සඳහා සියක් නමකට දානයක් දෙන්නට අදහස් කර දානමය පින් කමට අවට විහාරස්ථානයන්හි භික්‍ෂූන් වහන්සේට ආරාධනා කළ ද ඒ කිසිම භික්‍ෂූන් වහන්සේ නමක් මේ ආරාධනය පිළිගත්තේ නැත. භික්‍ෂූන් වහන්සේලා වුවත් උන්වහන්සේලාගේ සිත් නිහතමානීත්වය අභිබවන අභිමානයෙන් සහ උජාරුවෙන් පිරී පැවැති නිසා මෙවැනි තීරණයකට එළඹුණා විය හැක.

එහෙත් මෙම තීරණය නිසා සිත් කැලඹුණේ සැබෑවටම විනයාලංකාර බුරුම හාමුදුරවැන්ට ඇලුම් කළ ප්‍රදේශයේ ගැමි දනන්ගේ ය.

“පුතේ උඹ කැමැති නැද්ද මහණ වෙන්න” පවුලිස් ගුණවර්ධන අසයි
ඒ විස්තරය 27 සිකුරාදා ‘බුදුසරණ’ පුවත්පතෙන්