Print this Article


දොරගමුව ශ්‍රී ශෛල පබ්බතාරාම රාජ මහා විහාරය

දොරගමුව ශ්‍රී ශෛල පබ්බතාරාම රාජ මහා විහාරය


බෝධීන් වහන්සේ

මනස්කාන්ත පරිසරයක පිහිටි පූජනීය ස්ථානයකි දොරගමුව ශ්‍රී ශෛල පබ්බතාරාම රාජ මහා විහාරය. මෙය ගලේ පන්සල නමින්ද හඳුන්වයි. මහනුවර නගරයේ සිට දොරගමුව හන්දියට පැමිණ දොරගමුව දෙසට යන විට මෙම විහාරස්ථානයට පිවිසෙන මාර්ගය හමුවේ. ගල් තලාවක් මුදුනේ පිහිටා ඇති විහාරස්ථානය වෙත පිවිසීමට ගල් පඩිපෙළක් ඇත. මෙම විහාරය මහනුවර යුගයට අයත් ටැම් පිට විහාරයක් වන අතර ටැම් පිට විහාර ඉදි කිරීම වළගම්බා රජු සමයේ ආරම්භ වී ඇත. මෙම විහාරස්ථානය ශ්‍රී වික්‍රම රජු සමයේ කරවා ඇත.

වර්ෂ 1900 දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම විහාරගෙය ප්‍රතිසංස්කරණය කරනු ලැබ ඇත. එහෙත් මේ වන විට විහාර භූමියේ පරිහානියට යන නටබුන් රැසක් දක්නට ඇත. මෙහි වැඩවසන බෝධීන් වහන්සේ පිළිබඳ අපූරු ජනප්‍රවාදයක් ඇත. බ්‍රාහ්මණයකු බෝධි ශාඛාව ගෙනැවිත් තේරූ පඳුරක් මත තබා වෙනත් කටයුත්තක් සඳහා තම පිරිවර සමඟ පිටව ගොස් ඇත. නැවත පැමිණ බලන විට බෝධි ශාඛාවේ මුල් ඇද තිබුණි. බ්‍රාහ්මණයා එම ස්ථානයේම බෝධින් වහන්සේ රෝපණය කර පසුව හෙතෙමේ දොරගමුව ප්‍රදේශයේම පදිංචි වූ බව කියැවේ.

ගමට නම හැදුණු ආකාරය සම්බන්ධයෙන්ද විහාරස්ථානය හා සබඳතාවක් පවතී. ගමෙහි කුඹුරු වැඩ කරන ගැමියකට මෙහි ඇති ගල්ලෙනෙහි දෑකැති ඇති බව කිසිවකු සිහිනෙන් පවසා ඇත. පසුව ගල්ලෙනට ගොස් බලන විට දෑකැති ඇති බව දැක ඇත. දෑකැති රැගෙන කුඹුරු වැඩට ගි ගැමියෝ ඉන් වැඩ කොට පසුව උපකරණ තිබූ ස්ථානයේම තැබීමට පැමිණියහ. දෑකැති තබන්නට ගල් ලෙනට පිවිසි තැනැත්තකුට ගල් ලෙනේ තිබූ මුතු ‍මැණික් ආදිය දැක ගන්නට ලැබුණි. ඔහු ඒවා ගන්නට ගිය විට ගල්ලෙනේ දොරවැසී ඇත. එම දොර වැසෙන විට ඒවා ගන්නට ගිය ගැමියාද ඒ තුළ සිරවී ඇතිබව මුඛ පරම්පරාගතව කියැවෙන කතාවකි.

විහාර මන්දිරයේ බිත්ති අබලන් වී ඇති අයුරු

ඉපැරැණි බිතු සිතුවම්

මෙහි විහාරාධිපති පූලියද්දේ ඤාණරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ වැඩකටයුතු සොයා බලමින් දොරගමුව ඉලුකේවත්තේ පඤ්ඤාලෝක හිමියෝ වැඩ වාසය කරති.