Print this Article


සම්බුදු සසුනේ චිරස්ථිතිය පතා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් පස් අවුරුදු සැලැස්මක්

 සම්බුදු සසුනේ චිරස්ථිතිය පතා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් පස් අවුරුදු සැලැස්මක්

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ තෛ‍්‍රවාර්ෂික වැඩපිළිවෙළ තුළින් ශාසනික වශයෙන් සුවිශාල ප්‍රබෝධයක් උදා විය. ඒ නිමිත්තෙන් අරඹන ලද වැඩ පිළිවෙල අඛණ්ඩව ම ක්‍රියාත්මක කිරීම අරමුණ වේ. එබැවින් පන්සිල් සුරකින සදාචාරවත් සමාජයක් බිහිකිරීම උදෙසා මෙම දැහැමි දැයක්, දැහැමි රටක්, සදාචාර සමාජයක් යන තේමාව යටතේ පස් අවුරුදු වැඩපිළිවෙල දිස්ති‍්‍රක්, ප්‍රාදේශීය හා විහාරස්ථාන ශාසනාරක්‍ෂක මණ්ඩල මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කැරේ.


ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි, ගෝණදූවේ ගුණානන්ද හිමි, ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි, කහත්තේවෙල සිරිනිවාස හිමි, ගැටමාන්නේ ගුණානන්ද හිමියෝද ඡායාරූපයේ වෙති.

වසර 2300කටත් අධික කාලයක් මෙරට ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදී සෑම ක්ෂේත්‍රයක්ම පෝෂණය වූයේ සම්බුදු දහමේ ආභාෂායෙනි. ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද්දේ මෙරට භික්‍ෂූන් වහන්සේ විසිනි. එම මෙහෙවර අඛණ්ඩව ඉටු කිරීමේ වගකීම වත්මන් භික්‍ෂු පරපුර වෙත පැවරී ඇත.

අදාළ පස් අවුරුදු සැළැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමුළුවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (27) පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ජනාධිපති ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමි. බදුල්ල දිසා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී කහත්තේවෙල සිරිනිවාස හිමි, මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමි, මාතර දිසා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති කෑගල්ලේ රතනසාර නා හිමි, ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී කණුමුල්දෙණියේ චන්දවිමල මහ නා හිමි, කෑගල්ල දිසා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේකම් දුණුකේවත්තේ සීල විමල හිමි, මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේකම් බුද්දම නන්දසාර හිමියන් ඇතුළු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්.එම්.කේ.බී. දිසා නායක, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ මහත්වරු සහභාගි වූහ.

එම සමුළුව සඳහා කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, බදුල්ල, මොණරාගල, යන දිසාවල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල ලේඛකාධිකාරී හිමිවරු සහ සභාපති හිමිවරු සහභාගි වූහ. අනෙකුත් දිසාවල අදාළ හිමිවරු සඳහා මහනුවර දී අදාළ සමුළුව 30 වන දා පැවැත්විණි.


සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ 11 වසරක පිය සටහන් ග්‍රන්ථය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් වෙත ගෝණදුවේ ගුණානන්ද හිමියන් විසින් පිළිගැන්වූ අවස්ථාව. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්. එම්.කේ.බී. දිසානායක සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ මහත්වරුද මෙහි වෙති.

ශාසනාභිවෘද්ධිය පිළිබඳ කාර්ය භාරය, දහම් පාසල් අධ්‍යාපනයේ අභිවෘද්ධිය විෂයෙහි කාර්ය භාරය, සමාජ සංවර්ධනය උදෙසා කාර්ය භාරය සහ සංස්කෘතික කාර්ය භාරය යනුවෙන් අනු කමිටු මඟින් එම පස් අවුරුදු සැලැස්ම ක්‍රියාවට නැංවේ. සමාජ සංවර්ධනය උදෙසා කාර්ය භාරයේ දී විහාරස්ථ ශාසනාරක්‍ෂක මණ්ඩල සෑම විහාරස්ථානයකම ආරම්භ කැරේ.

ධර්ම විනයධර භික්‍ෂු පරපුරක් හා පන්සිල් සුරකින චරිතවත් බෞද්ධ ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් පස් අවුරුදු සැලැස්මක් සම්පාදනය කර ඇති බවත් එම සැලැස්ම දීප ව්‍යාප්ත කිරීමේ වගකීම පැවරී ඇත්තේ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල වෙත බවත් සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති හා පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කොළඹ හලාවත දෙදි සාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ එම සමුළුවේ මුලසුන හොබවමින් පැවැසූහ.

අපේකම හා ශ්‍රද්ධාව ඇති නායකයෙක් අපට ලැබී තිබෙන බැවින් නැති වී ගිය අපේකමත්, අපේ සංස්කෘතියත් ඇතුළු ගුණාංග අපට දැන් නැවත ගොඩනැඟීමට හැකිවී තිබෙන බවත් ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා දක්වන සහාය ශක්තිය පිළිබඳව එතුමාට ආශිර්වාද කරන බවද උන්වහන්සේ පැවැසූහ.

සම්බුදු සසුනේ චිරස්ථිතිය, ආරක්‍ෂාව හා උන්නතිය උදෙසා සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය මඟින් රුපියල් කෝටි දෙකක පමණ මුදලක් ගත වූ වසර කීපය තුළදී යොදවා ඇතැයි සමස්ත ලංකා ශාසනාරක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියෝ පැවැසූහ.

වත්මනෙහි ඇති ප්‍රධාන අභියෝගයක් වනුයේ පැවිදි කිරීම සඳහා දරුවන් සොයා ගැනීමේ අපහසුතාවයයි. ඊට හේතුව බොහෝ පවුල්වල දරුවන් එක් අයෙකු හෝ දෙදෙනෙකුට පමණක් සීමා වීමයි. එබැවින් බොහෝ මව්පියවරු ඒ නිසාම දරුවන් සසුනට පූජා කිරීමට අකැමැත්තක් දක්වන බව පෙනේ.

එමෙන්ම පැවිදි බිමට පත්ව සිටින අධ්‍යාපනය ලබන කුඩා සාමණේරයන් වහන්සේ රැක ගැනීමද ප්‍රධාන වගකීමක්. සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය එසේ කරුණු සලකා බලා ‘බුදුපුත් මව්පිය උපහාර භාරය’ රුපියල් ලක්‍ෂ 50ක මුදලක් තැන්පත් කර 2010 දී ආරම්භ කරන ලදී.


වැඩම කළ සඟරුවනින් කොටසක්

එමඟින් මොණරාගල, හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර ආදී දිසාවල දැනට පැවිදි බිමට පත්ව සිටින ස්වාමීන් වහන්සේලාගේ මව්පියවරුන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 45ක් පමණ වැය කර පවුල් 90ක් සඳහා නිවාස 90 ක් ඉදිකර ගැනීමට මුදල් වැය කර තිබේ. අදාළ ස්වාමීන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේගේ මූලිකත්වයෙන් අදාළ නිවස ඉදිකරවාදීම සිදු කැරෙන අතර ඒ සඳහා සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය එක් නිවසකට රුපියල් පනස්දහස බැගින් පරිත්‍යාග කර ඇත.

පසුගිය රාජ්‍ය වෙසක් උත්සවය පැවැති මොනරාගල දිසාවේ වැඩ වසන ස්වාමීන් වහන්සේලා 11 නමකගේ මව්පියවරු වෙනුවෙන් පවුල් 11ක් සඳහා මොනරාගල දිසාවට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 තුළ එක් ප්‍රදේශයකට එක් නිවසක් බැගින් ලක්‍ෂ 22ක් නිවාස 11ක් ඉදිකරවීම සඳහා මුදල් පිරිනමා ඇත.

මෙරට දහම්පාසල් ගුරුවරු කරන සුවිශාල මෙහෙවර මුදලකට සීමා කළ නොහැකියි. ඒ නිසාම දහම්පාසල් ගුරුවරුන්ගේ හදවත් හා වකුගඩු සැත්කම්වලදී පෞද්ගලික රෝහලක් මගින් එවන් සැත්කමක් සිදු කරන්නේ නම් රුපියල් ලක්‍ෂයක මුදලක් ද, රජයේ රෝහලක් මගින් එබඳු සැත්කමක් සිදු කරන්නේ නම් ඖෂධ සඳහා රුපියල් 25000ක ආධාරයක්ද වශයෙන් එබඳු සැත්කම් සිදුකර ඇති දහම් පාසල් ගුරුවරුන් 90 දෙනකු සඳහා 2009 වසරේ සිට මේ දක්වා රුපියල් ලක්‍ෂ 65ක පමණ මුදලක් පිරිනමා ඇත.

ආර්ථික අපහසුතා ඇතත් අධ්‍යාපනය ලැබීමට කැමැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 500 දෙනෙකු වෙත මසකට රුපියල් 500 බැගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට රුපියල් ලක්‍ෂ 90ක පමණ මුදලක් ත්‍රිකුණාමලය, අම්පාර, නුවරඑළිය, මොණරාගල යන දිසාවල සිසු දරුවන් වෙත පරිත්‍යාග කෙරේ.

2014 – 2015 කුරුණෑගල දිසාවේ දහම් පාසල් දරුවන්ගේ අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා රුපියල් එක්කෝටි හතළිස් ලක්‍ෂයක පමණ මුදලක් ද වැයවනු ඇත.

මේ සඳහා මුදල් උපයාගනු ලබන්නේ දහම් පාසල් කොඩි දිනය මූලික කරගෙන ය. මෙරට මුල්ම දහම්පාසල අරඹා ඇති අගෝස්තු 3වනදා සිට එම දහම් පාසල් කොඩි දිනය පැවැත්වේ.

දහම් පාසල් දහදහසකට ආසන්න දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසු දරුවන් ලක්‍ෂ විස්සක් පමණ ඊට සහාය දක්වනු ලැබේ.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයට අයත් ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල ලේකම්, සභාපති හිමිවරුන් හා සමායෝජක හිමිවරුන් මේ සඳහා දක්වන සහයෝගය ඉතා අගය කළ යුතු වේ. මෙරට ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල තුන්සිය හතක් පමණ ක්‍රියාත්මක වේ.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩල අරමුදල ආරම්භ කිරීමේ දී සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති කැලණීය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කොළඹ හලාවත දෙදි සාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ පෞද්ගලිකව රුපියල් පනස් දහසක් පිරිනමා ඇරැඹු අතර 2007 වසරේ දෙසැම්බර් මාසයේ දී පැල්මඩුල්ලේ දී පැවැති සමස්ත ලංකා දහම් පාසල් ත්‍යාග ප්‍රදාන උත්සවයේ දී කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් රුපියල් ලක්‍ෂ 10 ක පරිත්‍යාගයක් ද ශ්‍රී දළදා මාලිගාවෙන් රුපියල් ලක්‍ෂ 5ක පරිත්‍යාගයක් ද මහාභාරකාර දෙපාර්තමේන්තුවෙන් රුපියල් ලක්‍ෂ 03ක පරිත්‍යාගයක් ද ලැබුණු අතර එසේ අරඹන ලද අරමුදලේ ශක්තියෙන් සම්බුදු සසුනේ උන්නතියට හා පෝෂණයට සුවිශාල මෙහෙවරක් සිදු කළ හා දැනට ද සිදු කැරෙන අතර බොදුනුවන්ගේ පරිත්‍යාග හා ආධාර මත මෙමඟින් තවත් බොහෝ සේවා සිදුකළ හැකි බවද ගෝනදූවේ ගුණානන්ද හිමියෝ පැවැසූහ. ‘සමස්ත ලංකා ශාසනාරක්‍ෂක අරමුදල’ නමින් ඇති මහජන බැංකුව සුදුවැල්ල ශාඛාවේ 143200110000096 ගිණුමට පරිත්‍යාගශීලීන්ට ආධාර කළ හැකි බවද උන්වහන්සේ කීහ.

බුද්දම නන්දසාර හිමි, දුනුකේවත්තේ සීලවිමල හිමි, කෑගල්ලේ රතනසාර නා හිමි, කණුමුල්දෙණියේ චන්දවිමල මහ නාහිමි,