Print this Article


ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය තෙවන උපාධි ප්‍රදානෝත්සවය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයේ දී සැප්තැම්බර් 03 වන දා

ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය

තෙවන උපාධි ප්‍රදානෝත්සවය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයේ දී සැප්තැම්බර් 03 වන දා

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක
ශ්‍රී ලංකා භික්‍ෂු විශ්ව විද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය
තිබ්බටුවාවේ
ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමි


 


සම්මාන ආචාර්ය උපාධිය ලබයි.

මහාචාර්ය
හුයිකොන් හිමි
තායිවානය

 


භික්‍ෂූන්වහන්සේ උදෙසා පවත්වනු ලබන ජාතික විශ්වවිද්‍යාලයකි

ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ තෙවන උපාධි ප්‍රදානෝත්සවය 2013 සැප්තැම්බර් මස 03 වන දින මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්වීමට විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් තීරණය කර ඇත.

මෙම විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වූයේ මහනුවර දළදා මාලිගා පරිශ්‍රය තුළදීය. දෙවන උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වූයේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළු පරිශ්‍රයේ සන්නිපාත ශාලාවේදී ය. ඒ අනුව යමින් බෞද්ධාගමික පරිසරයක් තුළම මෙම විශ්වවිද්‍යාලයේ තෙවන උපාධි ප්‍රදානෝත්සවය පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්වීමට අදහස් කර තිබේ.

ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය ආරම්භයේ සිටම හුදෙක්ම භික්‍ෂූන්වහන්සේ උදෙසා පවත්වනු ලබන ජාතික විශ්වවිද්‍යාලයකි. මෙම විශ්වවිද්‍යාලය මඟින් අපේක්‍ෂිත පරමාර්ථ ඉටු කර ගැනීම දීර්ඝ කාලයක් තුළ දරන ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සතුටුදායක මට්ටමින් ඉටු වී ඇතැයි මම අදහස් කරමි. මෙම විශ්වවිද්‍යාලයෙන් මේ වන විට බිහි වී ඇති විද්‍යාර්ථීන් පිළිබඳ පසු විපරමක් කිරීමේ දී එයින් 70% ක් පමණ භික්‍ෂූන් වහන්සේලා ශ්‍රී ලංකාව තුළත් විදේශගතවත් බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීම අරමුණු කොටගෙන සිටම අධ්‍යයන මෙන්ම සංස්කෘතික කාර්යයන්හි යෙදී ඇති බව පෙනී ගොස් ඇත. ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය වෙමින් සකලාංග සම්පූර්ණ විශ්වවිද්‍යාල සංකීර්ණයක් අනුරාධපුර ශුද්ධ නගරය තුළ සම්පූර්ණ වෙමින් පවත්නා මේ වකවානුවේදී ආචාර්ය, ශිෂ්‍ය දෙපක්ෂයම විශ්වවිද්‍යාලයේ පරමාර්ථ හා අරමුණු සාධනය කරගැනීමට මෑත කාලයේ විශේෂ ව්‍යාපෘතීන් රැසක නිරත වී සිටිනු ප්‍රසාදජනක ලෙස මෙහි සඳහන් කරමි. පාරිසරික ගැටලු ද අභියෝගාත්මක ලෙස විසඳා ගනිමින් මේ දක්වා ගත වූ කාලය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ප්‍රසාදජනකව මෙහිදී සඳහන් කරන්නේ තෙවන උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන මේ වකවානුවේ උපාධි සහතික ලබා විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථින් හැටියට ශ්‍රී ලාංකීය බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ විශ්වවිද්‍යාලයේ පරමාර්ථ හා අරමුණු අනුව සම්බුද්ධ ශාසනය සුරක්‍ෂිත කරමින් දේශයේත් විදේශයේත් පිරිසුදු බුදුදහම ව්‍යාප්ත කරලීමේ උදාර මෙහෙවර සඳහා ව්‍යාපෘත වීමට ඔබ හැමදෙනාටම ආසිරි ගෙනමින් ය.


උගත් ධර්ම විනයධර භික්‍ෂූන් වහන්සේලා රාශියක් සිටීම රටටම ආඩම්බරයක්

ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ තෙවන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ මම අතිශයින් සතුටට පත්වෙමි.

අතීතයේ සිට ශ්‍රී ලංකාවේ පන්සල ප්‍රධාන කොට ගත් සම්භාව්‍ය දියුණු පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ ක්‍රමික විකාශනය වූයේ විද්‍යාර්ථීන් සඳහා බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන්ම වෙන්වුණු විශ්වවිද්‍යාල බිහිවීමයි.

1968 අංක 16 දරන බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨ පනතින් ඓතිහාසික අනුරාධපුර මහා විහාර භූමියේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය පිහිටුවන ලදී. 1996 අංක 26 දරන පනතින් බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය ලෙසත් 2012 අංක 08 දරන සංශෝධිත පනතින් ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය ද ලෙස වර්තමානයේ හඳුන්වනු ලබන මෙම විශ්වවිද්‍යාලයෙන් සාර්ථක අධ්‍යාපනයක් ලබා අද වන විට දේශ දේශාන්තරව ධර්මදූත මෙහෙවරෙහි යෙදෙමින්, රටට කීර්තියක් ලබා දෙන උගත් ධර්මධර, විනයධර භික්‍ෂූන් වහන්සේලා රාශියක් සිටීම රටටම ආඩම්බරයකි.

බුදුදහම, පාලි භාෂාව හා වෙනත් නූතන භාෂා පිළිබඳ නිවැරැදි දැනුම ලබා තිබීම බුදුරජාණන් වහන්සේගේ ධර්මය සුරක්‍ෂිතව පවත්වා ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට වඩා ප්‍රයෝජනවත් වන බව මම විශ්වාස කරමි.

අතීතයේ සිට විකාශය වන අපගේ සංස්කෘතික හර පද්ධතියේ මුදුන් මුල වන්නේ බුදු දහම සහ බෞද්ධ දර්ශනයේ ආභාෂයයි. සුපේශල, ශික්‍ෂාකාමී, වියත් මහා සඟ පරපුරක නිවැරදි මාර්ගෝපදේශකත්වය ලබමින් අවබෝධයෙන් යුතුව ජීවිතය හැඩගස්වා ගැනීමට හැකිවීම එදා සිට අද දක්වාම ශ්‍රී ලාංකික සමාජයට හිමිවූ විශේෂ වරප්‍රසාදයක් බව මම විශ්වාස කරමි.

ශ්‍රද්ධාවෙන් සහ ප්‍රඥාවෙන් ධර්මය ඇසුරු කිරීම නිවැරදි ජීවිතාවබෝධය පිණිසම වේ. එම යහපත් වෑයම මුදුන්පත් කරගැනීම උදෙසා සමස්ත විශ්වවිද්‍යාලීය ප්‍රජාවම එක් අරමුණක සිට කටයුතු කිරීම ප්‍රශංසනීය වේ.

උපාධි පාඨමාලාව සාර්ථකව නිම කළ සියලුම භික්‍ෂූන් වහන්සේලා වෙත මාගේ සුබ පැතුම් පිරිනමන අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


සුබාසිරි පිරිනමන්නේ ඉමහත් සතුටෙන්

ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ 03 වන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් සුභාශිංසන පිරිනමන්නේ ඉමහත් පී‍්‍රතියෙනි.

ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන සුරක්‍ෂිත කිරීමේ උත්තුංග කාර්යයෙහි නියැළුණු යථිවරයෝ එදත් අදත් දුලබ නොවෙති. ඒ සඳහා අතීතයේ විහාරස්ථාන කේන්ද්‍ර කරගත් අධ්‍යාපන මධ්‍යස්ථාන බිහි විය. එහෙත් විවිධ යුගවල දී සිදුවූ විදෙස් ආක්‍රමණ හේතුවෙන් ලංකාවේ විහාරස්ථාන මුල්කරගෙන පැවැති අධ්‍යාපන ආයතන ක්‍රම ක්‍රමයෙන් විනාශ මුඛයට ඇද වැටුණි. මෙය ශාසනික වශයෙන් ඇති වූ මහත් පසුබෑමකි.

ලාංකේය භික්‍ෂූන් වහන්සේ හට තම අනන්‍යතාව තහවුරු කොට ගෙන උසස් අධ්‍යාපනය ලැබීමට ආයතනයක් නොතිබූ බැවින්, 1968 අංක 16 දරන බුද්ධශ්‍රාවක ධර්ම පීඨ පනතින් ශුද්ධ වූ මහා විහාර භූමියේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය පිහිටුවන ලදී.

එසේ ප්‍රතිෂ්ඨාපිත බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙහි පරමාර්ථ පුළුල් කරමින්, 1996 අංක 26 දරන පනතින් බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය ලෙසත්, 2012 අංක 08 දරන සංශෝධිත පනතින් ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය ලෙසත් අංග සම්පූර්ණ ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරිණි. බෞද්ධ අධ්‍යාපනය පුනර්ජීවනය කිරීම හා ථෙරවාදී බුදුදහම පිළිබඳ අධ්‍යයනය, පර්යේෂණ පැවැත්වීම හා ලෝකය පුරා ව්‍යාප්ත කරලීම, බෞද්ධ සංස්කෘතිය හා එහි අංගයන් ප්‍රවර්ධනය කරලීම අරමුණු කර ගනිමින් භික්‍ෂූන් වහන්සේ සඳහාම මෙම විශ්වවිද්‍යාලය ස්ථාපනය කර ඇත.

දේශීයව හා ජාත්‍යන්තරව ථෙරවාදී බෞද්ධ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ අංග සම්පූර්ණ ජාත්‍යන්තර බෞද්ධ භික්‍ෂු විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය සංවර්ධනය කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අද වන විට දේශීයව මෙන්ම, විදේශීය වශයෙන්ද ධර්මදූත මෙහෙවරෙහි යෙදෙමින් රටට කීර්තියක් ලබාදෙන, උගත්, ධර්මධර, විනයධර භික්‍ෂූන් වහන්සේ පිරිසක් මේ වන විටත් බිහි වී ඇත. මෙම උපාධි පාඨමාලාව සාර්ථකව නිම කළ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ වෙත මාගේ සුභාශිංසන පිරිනමන අතර, මෙම උපාධි ප්‍රදානෝත්සවය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


බුදු දහම ප්‍රචලිත කිරීමට ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයට ශක්තිය ලැබේවා

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ තෙවන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණකි. භික්ෂූන් වහන්සේලා සඳහාම වෙන් වූ ලංකාවේ එකම විශ්වවිද්‍යාලය වන ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා නිම කර බුදු දහම ලංකාවේ හා ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට පා තබන භික්ෂූන් වහන්සේලාට මාගේ සුභාශිංසනය පිරිනමමි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජධානිය වූ අනුරාධපුරයෙහි බොහෝ භික්ෂු අධ්‍යාපන ආයතන තිබූ බව ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන්වේ. මෙවන් ඓතිහාසික භූමියක් තුළ භික්ෂූන් වහන්සේලා සඳහාම වෙන් වූ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ආරම්භ කරමින් දේශ දේශාන්තරවල පවා ලෝක ශාසනික සේවාව ඉටු කිරීමට භික්ෂූන් වහන්සේලා පුහුණු කරන මෙම ආයතනය තවදුරටත් දියුණු කරමින් පවත්වාගෙන යාම අපගේ වගකීම වේ. ඒ සඳහා නව පරිශ්‍රයක විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති අතර, ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල, බෞද්ධ අධ්‍යයන පීඨ ගොඩනැගිල්ල සහ ශිෂ්‍ය නේවාසිකාගාර 02ක් දැනට එම පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1300 මුදලක් රජය විසින් වෙන් කර සියලු පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත. වසරකට භික්ෂූන් වහන්සේලා 100 නමක් පමණ උපාධි ලබා විශ්වවිද්‍යාලයෙන් පිටව යනු ලබන අතර, බෞද්ධ අධ්‍යාපනයට අමතරව භාවනාව, ආරාම කළමනාකරණය, වැනි විෂයයන් ද ඉංග්‍රීසි, ජපන්, චීන වැනි භාෂාවන් ද, තොරතුරු තාක්ෂණ විෂයයන් ද ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබේ. පනතේ පරමාර්ථ සාධනය වන පරිදි ජාතික ආගමික වශයෙන් සිදු විය හැකි අභියෝග ජයගත හැකි භික්ෂු පිරිසක් බිහි කරමින් බුදු දහම දේශ දේශාන්තරයන්හි ප්‍රචලිත කිරීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනය කරමින්, තෙවන උපාධි ප්‍රදානෝත්සවයට සුභාශිංසන එක් කරමි.


අතිශයින් සතුටට පත්වේ

ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ 03 වන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත් වෙමි.

ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන සුරක්‍ෂිත කිරීමේ උත්තුංග කාර්යයෙහි නියැළුණු යතිවරයෝ එදත් අදත් දුලබ නොවෙති. ඒ සඳහා අතීතයේ විහාරස්ථාන කේන්ද්‍ර කරගත් අධ්‍යාපන මධ්‍යස්ථාන බිහිවිය. එහෙත් විවිධ යුගවල දී සිදුවූ විදෙස් ආක්‍රමණ හේතුවෙන් ලංකාවේ විහාරස්ථාන මුල්කරගෙන පැවැති අධ්‍යාපන ආයතන ක්‍රම ක්‍රමයෙන් විනාශ මුඛයට ඇද වැටිණි. මෙය ශාසනික වශයෙන් ඇති වූ මහත් පසුබෑමකි. 19 වන සියවස අගභාගය වනවිට ලාංකේය භික්‍ෂූන් වහන්සේට තම අනන්‍යතාව තහවුරු කොටගෙන උසස් අධ්‍යාපනය ලැබීමට ආයතනයක් නොවීය. මෙම තත්ත්වය අවබෝධ කරගත් එවක රජය 1968 අංක 16 දරණ බුද්ධශ්‍රාවක ධර්ම පීඨ පනතින් ශුද්ධ වූ මහා විහාර භූමියේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය පිහිටුවන ලදී. 1968 අංක 16 දරණ පනතින් ප්‍රතිෂ්ඨාපිත බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙහි පරමාර්ථ පුළුල් කරමින් 1996 අංක 26 දරණ පනතින් බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය ලෙසත් 2012 අංක 08 දරණ සංශෝධිත පනතින් ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය ලෙසත් අංග සම්පූර්ණ ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරිණි. බෞද්ධ අධ්‍යාපනය පුනර්ජීවනයට ලක්කිරීම හා ථෙරවාදී බුදු දහම පිළිබඳ අධ්‍යයනය, පර්යේෂණ පැවැත්වීම හා ලෝකය පුරා ව්‍යාප්ත කරලීම, බෞද්ධ සංස්කෘතිය හා එහි අගයන් ප්‍රවර්ධනය කරලීම අරමුණ කර ගනිමින් භික්‍ෂූන් වහන්සේ සඳහාම මෙම විශ්වවිද්‍යාලය ස්ථාපිත කර ඇත.

1968 බුද්ධශ්‍රාවක ධර්ම පීඨය වශයෙන් ආරම්භව වර්තමානයේ අංග සම්පූර්ණත්වයට පත් වෙමින් පවතින මෙම විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අද වනවිට දේශීයව මෙන්ම විදේශීය වශයෙන් ද ධර්මදූත මෙහෙවරෙහි යෙදෙමින් රටට කීර්තියක් ලබා දෙන උගත්, ධර්මධර, විනයධර භික්‍ෂූන් වහන්සේලා පිරිසක් මේ වනවිටත් බිහිවී ඇත.

මෙවර උපාධි පාඨමාලාව සාර්ථකව නිම කළ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට මාගේ සුබ පැතුම් පිරිනමන අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


ප්‍රයත්නය අගය කරනවා

දේශීය හා විදේශීය වශයෙන් ධර්ම ප්‍රචාරණයෙහිලා දායක වන සහ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ කාර්යයට ඉමහත් සේවයක් සලසන ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ තෙවන උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධි ලබන විද්‍යාර්ථීන්ට මාගේ සුභාශිංසනය පිරිනමමි.

වර්තමාන භික්ෂූන් වහන්සේ හමුවෙහි ඇති අභියෝග හඳුනා ගනිමින් ඒ සඳහා යෝග්‍ය පරිදි පාඨමාලා හඳුන්වා දෙමින් උසස් ගුණ ධර්මවලින් යුත් විද්‍යාර්ථීන් පිරිසක් බිහි කිරීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය දරන ප්‍රයත්නය අගය කරමි.

බුදු දහම ඉගැන්වීම වර්තමාන ලෝකය තුළ තව තවත් ප්‍රචලිත කිරීම සඳහා මෙම ආයතනය ජාත්‍යන්තර මට්ටමේ ආයතනයක් බවට පත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්. බී. දිසානායක ඇමතිතුමාගේ උපදෙස් පරිදි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය උපරිම වශයෙන් පහසුකම් ලබා දී ඇති බව විශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙමි. භික්ෂූන් වහන්සේලාගේ උසස් අධ්‍යාපනය සඳහා ම වෙන්වූ විශ්වවිද්‍යාලයක් ලෙසින්, භික්ෂු අධ්‍යාපනයේ නව උදාවක් ඇති කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙන් දැනුමෙන් හැකියාවන්ගෙන්, යහපත් ආකල්ප හා වටිනාකම්වලින් සපිරි විශිෂ්ඨ විද්‍යාර්ථින් පිරිසක්ම බිහි වේවායි ප්‍රාර්ථනා කරමි.


සතුටට කරුණක්

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ තුන්වන උපාධි ප්‍රදානෝත්සවය කාර්ය මණ්ඩලය සමග සංවිධානය කිරීමට දායක වී සුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීම සතුටට කරුණකි.

උපාධි ප්‍රදානයට භික්ෂූන් වහන්සේලා 203 නමක් සුදුසුකම් ලබා ඇත. නිර්මල බුදු දහම මෙරට පමණක් නොව විදේශ රටවල ද ප්‍රචාරයට ඉමහත් අනුබලයක් වීම ථේරවාද සම්ප්‍රදාය රකින ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේගේ අනන්‍යතාවට මහත් අභිමානයකි. ධර්මධර හා විනයධර උගත් භික්ෂු පරපුරක් බිහිවීම තුළින් අධ්‍යාත්මික ගුණයෙන් පිරි සමාජයක් බිහි කිරීමට අවස්ථාව උදාවනු නිසැකය. වෙනස් වන සමාජයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන භික්ෂූන් වහන්සේ ඊට සාපේක්ෂ දැනුමෙන් හා බුද්ධියෙන් පරිපූර්ණත්වයට පත් විය යුතුමය. ඒ සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය දරන දායකත්වය අති මහත්ය.

තෙවන උපාධි ප්‍රදානෝත්සවය සාර්ථක කර ගැනීමට දායක වන කාර්ය මණ්ඩලයට මාගේ ස්තුතිය පුද කරමින්, උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධි ලබන විද්‍යාර්ථීන්ට මාගේ සුභාශිංසන එක් කරමි.