Print this Article


ප්‍රායෝගික ජීවිතයට බුදුදහම - 03

සෙනෙහස රැඳි පසන් නිවස

අන්තර් පුද්ගල සමාජ සම්බන්ධතා පිළිබඳ බෞද්ධ ඉගැන්වීම ඇතුළත් සිඟාලෝවාද සූත්‍රයෙහි ස්වාමි භාර්යා සම්බන්ධය අන්‍යෝන්‍ය යුතුකම් හා වගකීම් ඉටුකිරීම මත පවත්වාගෙන යා යුතු ආකාරය විස්තර වේ. එහි දැක්වෙන ආකාරයට ස්වාමියා බිරිඳටත්, බිරිඳ ස්වාමියාටත් එකිනෙකා ඔවුනොවුන්ට කරුණු පහකින් උපස්ථාන කළ යුතුයි.

බුදුරජාණන් වහන්සේ මේ සඳහා භාවිතා කළ “උපට්ඨාපෙතබ්බො” යන වචනය වැදගත්ය. සාමාන්‍ය සමාජයේ මේ සම්බන්ධ පිළිගැනීම වන්නේ බිරිඳ විසින් ස්වාමියාට උපස්ථාන කළයුතු බවය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වන්නේ කිසිදු භේදයකින් තොරව සැමියා බිරිඳටත්, බිරිඳ සැමියාටත් උපස්ථාන කළයුතු බවය. සිඟාලෝවාද සූත්‍රයට අනුව ස්වාමියා බිරිඳට කරුණු පහකින් උපස්ථාන කළයුතුයි.

සම්මානනය

මෙයින් අදහස් කෙරෙන්නේ බිරිඳට ගෞරව කිරීම හා ස්තුති කිරීමයි. ස්තුතිය භාර්යාවගේ කාර්යයන් ඇගයීමට, ලක් කිරීමට මෙන්ම ස්වාමි භාර්යා සම්බන්ධය විධිමත්ව යහපත්ව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වේ. එසේ කිරීම පවුලේ සාමය සුරක්‍ෂිත වීමට බෙහෙවින් උපකාරී වේ.

අවමන් නො කිරීම

මෙයින් අදහස් කෙරෙන්නේ සිය බිරිඳ පහත්කොට නො සැළකීමයි. තම ජීවිතය පුරා දුකේ දී මෙන්ම සැපේදීත් එකට සිටින බිරිඳ අවමානයට ලක්කිරීම හෙළාදැකීම යුගදිවියේ සතුටට මහත් බාධාවකි. දරුවන් ඉදිරියේ මෙන්ම පිටස්තර උදවිය ඉදිරියේ බිරිඳ අවමානයට ලක්කිරීම ඇගේ ආත්ම ගෞරවයට බලවත් හානියකි. එවැනි අවස්ථාවල ඇය තුළ පහළවන නොරුස්නා හැඟීම පවුල් ජීවිතය අවුල්වීමේ මූලික අවස්ථාව විය හැකි ය. සිය බිරිඳට ගෞරව කරන සැමියන් සිටින පවුල්වල දරුවන්ද සිය මව්පියන්ට මහත් සෙනෙහසින් යුතුව ගෞරව දක්වන බව නොරහසකි.

අනාචාරී නොවීම

යුග ජීවීතය යනු දෙදෙනෙකු අතර සිදුවෙන විශ්වාසවන්ත ගනුදෙනුවකි. එකිනෙකාගේ විශ්වාසය පලුදු නොවන ආකාරයෙන් එය පවත්වාගෙන යා යුතු ය. ස්වාමියා වෙනත් කාන්තාවක් ඇසුරු කිරීම නිසා පවුල් ජීවිත අවුලෙන් අවුලට පත්ව තිබෙන අයුරු විවිධ සමාජ සිදුවීම් ආශ්‍රයෙන් හඳුනාගත හැකිය. පරදාර සේවනයෙන් වෙන්වීම ස්වාමිපුරුෂයෙකුගේ වගකීමක් මෙන්ම යුතුකමකි.

නිවසේ ආධිපත්‍ය පවරා දීම

ගෘහ ජීවිතයේ නිවසේ කටයුතු මැනවින් පාලනය කිරීමේ හැකියාව තිබෙන්නේ බිරිඳකටය. එහෙයින් ගෘහ කටයුතුවලදී ආධිපත්‍ය ඇයට පැවරීම එම කටයුතු පහසුවෙන් හා නිරවුල්ව පවත්වා ගැනීමට මහත් පිටුබලයක් වේ. නිවසේ දෛනික අවශ්‍යතා මෙන්ම නිවසේ සිටින දරුවන් සේවකයින් ආදී සාමාජිකයන්ගේ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුත්තේ නිවසේ ජීවත්වන කාන්තාවටය. මෙනිසා ගෘහ කටයුතුවලදී අවශ්‍ය සම්පත්වල වගකීම මෙන්ම ආධිපත්‍යයටත් බිරිඳට පැවරීමෙන් පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.

අලංකාරවත් දේ තෑගි කිරීම

සෑම කාන්තාවක්ම අලංකාර දේවල් භාවිතා කිරීමට මෙන්ම සිය සිරුර හැඩවැඩ කර ගැනීමට හා සැරසීමට දක්වන්නේ මහත් කැමැත්තකි. එකිනෙකා අතර පවතින ආදරය හා සම්බන්ධ බැඳීම් ප්‍රකට වන්නේ බාහිර ක්‍රියාකාරකම්වලින් හා තෑගි හුවමාරු කරගැනීමෙනි. කලින් කලට අලංකාර දේ පරිත්‍යාග කිරීම ස්වාමිපුරුෂයාගේ යුතුකමක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ නිසා ය. තෑගි හුවමාරුව ඔවුනොවුන් අතර මනා බැඳීමක් මෙන්ම සෙනෙහසද වර්ධනය කෙරේ. ස්වාමිපුරුෂයෙකුගෙන් බිරිඳට ඉටුවිය යුතුකම් වශයෙන් ඉහතින් දක්වන ලද කරුණු පහ පවුල් ජීවිතය නිරවුල්ව සහ සාමයෙන් පවත්වා ගැනීමට කෙතරම් ඉවහල් වන්නේද? යන්න පවුල් ජීවිතය හා සම්බන්ධව පවතින ගැටුම් දෙස බලනවිට පැහැදිලි වේ. කරුණු පහකින් ස්වාමියාගෙන් උපස්ථාන ලබන බිරිඳ විසින් නැවත කරුණු පහකින් ස්වාමියාට උපස්ථාන කළ යුතු වේ.

නිවසේ කටයුතු මැනවින් ඉටු කිරීම

පවුලේ කටයුතු මැනවින් සංවිධානය කිරීම බිරිඳකගේ යුතුකමකි. සිය සැමියාගේ ආර්ථික කටයුතුවලදී මෙන්ම දරුවන්ගේ කටයුතුවලදීත් ඇය සතු වගකීම මෙයින් අවධාරණය වේ. නිවසේ කටයුතු නිසි පිළිවෙළකට සිදු නොවන්නේ නම් කිසිදු පුද්ගලයෙකුට දියුණුව කරා ගමන් කළ නොහැකිය. පවුලේ සාමය මෙන්ම දියුණුව ද රඳා පවත්නේ මනා කළමනාකාරිත්වයක් තිබේ නම් පමණි. මේ සියලු කටයුතුවලදී ප්‍රමුඛතාව ලැබෙන්නේ බිරිඳට බැවින් ඇය එම යුතුකම මැනවින් ඉටු කළ යුතු වේ.

පිරිවර ජනයාට සංග්‍රහ කිරීම

සෑම නිවසකම සේවකයන් හා හිතවන්තයින් වශයෙන් පරිවාර ජනයා දක්නට ලැබේ. ඔවුන් කෙරෙහි සංග්‍රහශීලිවීම බිරිඳකගේ යුතුකමකි. නිවසට පැමිණෙන පුද්ගලයන් කෙරෙහි සංග්‍රහශීලි වීම ස්වාමියාගේ ආර්ථික ජීවිතයට මෙන්ම සමාජ ජීවිතයට ද එකසේ වැදගත් වේ. කොතරම් මුදල් තිබුණත් මානව සම්බන්ධතාවලින් තොරව කටයුතු කළ නොහැකි ය. මෙනිසා බිරිඳකගේ මෙම යුතුකම සමාජ ජීවිතය අර්ථවත් කරන්නකි.

අනාචාරයේ නො හැසිරීම

ස්වාමියා මෙන්ම බිරිඳත් අනතිචාරී නොවිය යුතුයි. අඹු සැමි සදාචාරය ආරක්‍ෂා කිරීමෙන් මුළු සමාජයේම සදාචාරය සුරක්‍ෂිත වේ. නිවසේ ප්‍රධාන බලවේගය වන මවගේ සදාචාර ජීවිතය දරුවන්ගේ අනාගත දියුණුව කෙරෙහි බලපාන්නකි. මවක් මෙන්ම බිරිඳක් වශයෙන් සදාචාර සම්පන්න වීමෙන් සමස්ත සමාජයටම නිවැරැදි මඟ පෙන්වීමක් කාන්තාවකට කළහැකි බව මෙම යුතුකම සලකා බලන විට පැහැදිලි වේ.

ධන සම්පත් ආරක්‍ෂා කිරීම

ස්වාමියා විසින් ගෘහ සම්පත්වල ආධිපත්‍ය බිරිඳට පවරන්නාසේම එම සම්පත් විනාශ නොකොට මැනවින් ආරක්‍ෂා කිරීමද බිරිඳගේ යුතුකමකි. නිවසේ ආධිපත්‍ය උසුලන කාන්තාව මහත් අරපරිස්සමෙන් හා අධිපරිභෝජනයෙන් තොරව සම්පත් කලමනාකරණය කරන්නේ නම් එම පවුල ඉතා ඉක්මනින්ම දියුණුවට පත්වේ. ආශාවන් පිටුපස හඹායාමත්, අන්ධානුකරණයත් නිසා ආර්ථික වශයෙන් අස්ථාවරත්වයට පත් පවුල් ජීවිත කොතෙකුත් දකින්නට ලැබේ. සම්පත් නොනසා පරිහරණය කිරීම තමන්ගේත් තම පවුලේත් අනාගත අභිවෘද්ධිය පිණිස හේතුවන බව බිරිඳක් වශයෙන් වටහාගත යුතු වේ.

සියලුම කටයුතුවලදී දක්‍ෂව අලස නොවී කටයුතු කිරීම

සියලුම කටයුතුවලදී අප්‍රමාදීව දක්‍ෂ ලෙස ක්‍රියාකිරීම ද බිරිඳක් සතු පරම යුතුකමකි. ඇයගේ උදාසීනත්වය නිසා නිවසේ සියලුම සාමාජිකයන් ආර්ථික, සෞඛ්‍ය, සදාචාර, අධ්‍යාපනික යන සෑම අංශයකින්ම පරිහානියට පත්වෙති. තම ස්වාමියාගේ මෙන්ම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය රඳාපවතින්නේ බිරිඳගේ මෙන්ම මවගේ කාර්යක්‍ෂමතාව මතය. ඉහතින් දක්වන ලද අන්‍යෝන්‍ය යුතුකම් එකිනෙක විශ්ලේෂණය කර බැලීමේ දී පැහැදිලි වන්නේ වර්තමානයේ පවුල් සංස්ථාව තුළ අර්බුද ඇතිවී තිබෙන්නේ එයින් එකක් හෝ කීපයක් ඉටු නොකිරීම තුළය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකය. එය කවර සමාජයකට වුවත් අනුගමනය කළ හැකි ජීවන ප්‍රතිපදාවකි.


ප්‍රායෝගික ජීවිතයට බුදු දහම 02 දැහැමි පවුල් දිවිය දෙව් විමනක් බඳු ය