Print this Article


පුනරුප්පත්ති ලිපි මාලාව - 32

නැවක් පිදූ මහා පින

ඛදිරවනීය රේවත ථෙරාපදානය

පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ ගෞතම බුදු සසුනෙහි විනයධර භික්‍ෂූන් අතර අගතැන්පත් උපාලි මහරහතන් වහන්සේගේ චරිතාපදානය යි. අද අප විමසා බලන්නේ ගෞතම බුදු සසුනෙහි වන සෙනසුනෙහි ඇළුනාවූ භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ ඛදිරවතිය රේවත මහරහතන් වහන්සේගේ චරිතාපදානය යි. පදුමුත්තර බුදුරදුන් දවස කොටියෙක්ව උපන් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට ගඟින් එතරවීම සඳහා නැවක් සෑදූ පිනෙන් ගෞතම බුදු සසුනෙහි පැවිදිව මෙම අග තනතුර ලැබීමට හේතු වී ඇත. එම කතා ප්‍රවෘත්තිය මෙසේ ය.

හිමවතින් හටගෙන ගලා බසින්නා වූ භාගීරථි නම් ගංඟාවක් විය. එහි සැඩ රළ වේගයෙන් යෑමට අපහසු තොටුපලෙහි මම කෙවුල් කුලයෙහි උපන්නාවූ නැවියෙක් වුණෙමි. දිනක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා දහසක් සමඟ ගංඟාවෙහි සැඩ පහර තරණය කරන්නට වඩිතැ’ යි මා හට ආරංචි විය. එය දැනගත් මම වඩුවන් ලවා බොහෝ නැව් එක්කොට බුදුරජාණන් වහන්සේට හා ක්‍ෂිණාශ්‍රව මහරහතන් වහන්සේලාට එකවර නැවක් කොට බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.

මහරහතන් වහන්සේලා පිරිවරන ලදුව ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ නැවට නැග, ගඟ තරණය කරන්නේ ගඟ මැද දී ගාථාවකින් මෙසේ වදාළහ. යමෙක් සම්‍යක් සම්බුදුරදුන් හා ආශ්‍රව රහිත වූ රහතන් වහන්සේලා තරණය කරත් ද (තරණය කිරීම සඳහා නැවක් තැනුවේ ද) හෙතෙම එම චිත්ත ප්‍රසාදය කරනකොටගෙන දෙව් ලොවෙහි සිත් අලවා වාසය කරන්නේය. ඔහුට මැනවින් කළ නැවෙහි සටහන් ඇති විමානයක් දෙව්ලොව පහළ වන්නේය. හැම කල්හි අහසෙහි මල් වියනක් ද දරන්නේය. අට පණස් කපකින් මත්තෙහි සතර මහා දිවයිනට අධිපති වූ, දිනන සුළු වූ, තාරක නම් සක්විති රජෙක් වන්නේ ය.

සත් පණස්වන කපෙහි මහ බල ඇති චම්පක නම් ක්‍ෂත්‍රියෙක්ව උදාවන්නාවූ හිරුමෙන් බබළන්නේය. කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගෝත්‍රයෙන් ගෞතම නම් වන්නාවූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක. හෙතෙම එකල දෙව් ලොවින් චුතව මිනිසත් බවට යන්නේය. නමින් රේවත වූ බමුණෙක් වන්නේ ය.

කුශල මූලයන්ගෙන් මෙහෙයන ලදුයේ ගිහිගෙන් නික්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය. පැවිදිව පසුව හෙතෙම භාවනානුයෝගයන්හි යෙදුණේ, විදර්ශනා කරන්නේ, සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥාවෙන් දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය. නිවාණ සංඛ්‍යාත යෝග ක්‍ෂෙමයට පමුණුවන ධුරවාහකාය ( ගැල්බර උසුලන ගවයා ) මෙන් මාගේ වීර්ය වෙයි. මම මේ සව¢ඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි. මේ මාගේ අන්තිම ආත්මය යි.

මා විසින් කල්ප ලක්‍ෂයකට පෙර කරන ලද කර්මයෙහි මෙහිදී විපාක දැක්වී ය. දුනුදියෙහි මැනවින් මිදුණු හී වේගය මෙන් එම කර්මය මාගේ කෙලෙස් දැවී ය. ඉක්බිති ලෝකාන්තයට ගිය මහ නුවණැති බුදුරජාණන් වහන්සේ වන සෙනසුනෙහි ඇළුනාවූ මා දැක වනවාසී භික්‍ෂූන් අතුරෙන් අගතන්හි තබා වදාළ සේක.

මාගේ ක්ලේශයෝ දවන ලද්දාහු ය. සියලු භවයෝ සමූහනනය ( විනාශ) කරන ලද්දාහු ය. හස්තිරාජයෙකු මෙන් බැදීම් හිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි, බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුන ද කරන ලදිමි. මේ සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්‍ෂයෝ ද, ෂඩ්අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කරන ලදිමි.

සටහන: බණ්ඩාර පිළවල


පුනරුප්පත්ති ලිපි මාලාව - 31 විනයෙන් අග්‍ර වූ උපාලි මහ රහතන් වහන්සේ - 2