Print this Article


පරගස්තොට ගලගම ශ්‍රී සංඝමිත්තාරාමය

පරගස්තොට ගලගම ශ්‍රී සංඝමිත්තාරාමය


ජනබන්ධු ආශ්‍රමාධිපතිනි පානදුරේ ධම්මදස්සී සිල් මාතාව

කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි පරගස්තොට ගලගම ශ්‍රී සංඝමිත්තාරාමය ශීල මාතා ආශ්‍රමයකි. මොරොන්තුඩුව හොරණ මාර්ගයේ පැමිණ ලාවුළුගස් හන්දියෙන් පැල්පොල පාරේ මද දුරක් ගිය විට මෙම ආශ්‍රමයට පැමිණිය හැකිය.

ප්‍රදේශවාසීන් වන එන්. පලිහේන, ගාමිණී, උදයවතී, ඥානවතී, ලීලාවතී යන පින්වතුන් පරිත්‍යාග කළ භූමි භාගයක මෙම ශීල මාතා ආශ්‍රමය ඉදිකර තිබෙන්නේ මීට වසර දෙකකට පමණ පෙරය. ශීල මාතා ආශ්‍රමයේ ප්‍රධාන දායකත්වය දරන්නේ මහේන්ද්‍ර රොද්‍රිගු මහතා ය. ඒ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් සහ ගම්වාසී පින්වතුන්ගේ සහයෝගයෙන් ආශ්‍රමයට අවැසි බුදු මැදුර තනවා දී තිබේ.

බුද්ධ මන්දිරයේ බුදුපිළිම වහන්සේ පරිත්‍යාග කර තිබෙන්නේ ලීලාවතී කරුණාරත්න සහ අමරදාස කරුණානායක යන පරිත්‍යාගශීලී පින්වතුන් ය. ශීල මාතා ආශ්‍රමය තුළ බුද්ධ මන්දිරය, අටවිසි බුද්ධප්‍රතිමා සහිත බෝධීන් වහන්සේ සහ ආවාස ගෘහයක් දැක ගැනීමට ලැබෙයි. නිස්කලංක පරිසරයක පිහිටි මෙහි ආශ්‍රමාධිපතිත්වය දරමින් කටයුතු කරන්නේ පානදුරේ ධම්මදස්සී සිල් මාතාවය.

දේශයට, ප්‍රදේශයට සහ ගමට මෙන්ම දායක පින්වතුන් සැමට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් දිනපතා බෝධි පූජා මෙන්ම අටවිසි බුද්ධ පූජා පින්කම් සිදුකරන මෙහි මසකට වරක් සත් බුදු වන්දනා පූජා පින්කම් ද සිදු කරන අතර සිද්ධස්ථානයකින් විය යුතු ශාසනික සමාජ මෙහෙය වෙනුවෙන් මෙම ශීල මාතා ආශ්‍රමය කැප වී තිබේ.

එසේම අවට ප්‍රදේශවාසීන්ගේ අධ්‍යාත්මික සුවය, සැනසුම වෙනුවෙන් සතියකට වරක් භාවනා වැඩමුළුවක්ද මේ ආශ්‍රමය පරිශ්‍රයේ දී සිදුකිරීම විශේෂිතය.

මේ සියල්ල ධම්මදස්සී සිල් මාතාවගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු කෙරෙන අතර සිල් මෑණියන් මෙම ප්‍රදේශයේ ඇති ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දහම් පාසලෙහි ගුරු මාතාවක් වශයෙන් සේවය කරයි. ඊට අමතරව ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කැපවී සිටින සිල් මෑණියන් අවට විහාරස්ථානයන්ට සම්බන්ධ වෙමින් ප්‍රදේශවාසීන් වෙනුවෙන් ප්‍රායෝගික භාවනා වැඩසටහන් ද මෙහෙයවමින් ශාසනික සමාජ සද්කාර්යය වෙනුවෙන් තම දායකත්වය සපයයි.

ශීලමාතා ආශ්‍රමයේ සියලු කටයුතු දායක දායිකාවන්ගේ මෙන්ම ගම්වාසීන්ගේ නොමසුරු උත්සාහයෙන් සහ ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරෙන අතර ශීල මාතා ආශ්‍රමයෙන් ගම්වැසියන්ගේ ආගමික සහජීවනය සහ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් කටයුතු සැලසීම අගය කළ යුතු වෙයි.