Print this Article


ගලේවෙල බම්බාව රජමහා විහාරය

ගලේවෙල බම්බාව රජමහා විහාරය

ඓතිහාසික වටිනාකම්වලින් යුත් ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථානයකි මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල බම්බාව රජමහ විහාරය. මෙම විහාරස්ථ භූමිය ආශි‍්‍රතව පුරාවස්තු රැසක් විද්‍යාමානව පවතී. එම පුරාවස්තුන්ගෙන් අනාවරණය වන්නේ කුවේණියගේ නිජබිම බම්බාව බවයි.

එවන් යුගයකට හිමිකම් කියන මෙම ඓතිහාසික ස්ථානය වළගම්බා රජු දවස විහාරස්ථානයක් බවට පත්කර ඇති බව මෙහි දැනට දක්නට ඇති නටබුන්වලින්ද සනාථ වේ.

කෙසේ වෙතත් මෙම ස්ථානය තවදුරටත් විනාශ වී යා නොදි මතුපරපුර වෙනුවෙන් රැක ගැනීමට දැනට මෙහි වැඩවෙසෙන බම්බාව රජමහ විහාරාධිපති ලේනව මංගල හිමියෝ දැඩි උත්සාහයක යෙදී සිටිති. උන්වහන්සේගේ එම උත්සහයෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මෙම විහාර භූමියට නව අංග රැසක්ද එක්කර ඇත. රණවිරු මහා සෑය එයින් විශේෂ තැනක් ගනියි.

මෙම විහාරස්ථානය සම්බන්ධයෙන් ලේනව මංගල හිමියන් පවසන්නේ මෙසේ ය. “මේ විහාරස්ථානය ඓතිහාසික පුදබිමක්. අනුරාධපුර යුගයේ මුල් භාගය දක්වා දිවයන ඉතිහාසයක් තිබෙනවා. විවිධ කාලවකවානුවලදී මේ සිද්ධස්ථානය යම් යම් විනාශයන්ට පත්වෙලා. නමුත් එය තරමක් හෝ රැක ගැනීමට දැනට හැකියාව තිබෙනවා. මගේ අරමුණත් මෙම ස්ථානය අනාගත පරපුරට වැඩදායක වන ලෙස ආරක්‍ෂා කරදීමයි. එය අපේ වගකීමක්”.