Print this Article


ගැටබරු රජමහ විහාරයේ ඇසළ පෙරහර

ගැටබරු රජමහ විහාරයේ ඇසළ පෙරහර

රුහුණුපුර සංස්කෘතික මහා මංගල්‍යය යනුවෙන් ප්‍රචලිත කොටපොළ ඓතිහාසික ගැටබරු රජ මහා විහාරස්ථානයේ ඇසළ පෙරහර මංගල්‍යය සැප්තැම්බර් මස 15 දා සිට 21 දා දක්වා මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

මේ නිමිත්තෙන් කප් සිටුවීම සැප්තැම්බර් 14 දා අලුයම විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකැරේ. චාරිත්‍රානුකූලව සැප්තැම්බර් 15 දා පස්වරු ප්‍රථම පේලි පෙරහර හිඟුරුපනාගල සිට විහාරස්ථානය දක්වා සංචාරය කිරීමට නියමිත ය.

දෙවෙනි සහ තුන්වැනි පේලි පෙරහර විහාරස්ථානය දක්වා ගමන් කරනුයේ 16, 17 යන දිනයන්හි පස්වරුවේ වරල්ල සහ කොස්මෝදර සිට ය. සංස්කෘතික විශේෂාංග සහිතව රන්දෝලි පෙරහර වීථි සංචාරය කරනුයේ සැප්තැම්බර් 18, 19 යන දිනයන්හි රාත්‍රී 9.00 ට ය.

උත්සව කාලය තුළ ගැටබරුවට පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇත. කඩ සල්පිල ප්‍රවාහන පහසුකම්, ප්‍රථමාධාර සේවා මෙන්ම ආරක්‍ෂක සේවාවන් ද සැපයෙන අතර දිනපතා උඩමළුවේ දී පැවැත්වෙන මුරුතැන් පූජාවට සැදැහැවතුªන්ට සහභාගිවීමට පහසුකම් සළසා ඇත.

සැමට සෙත් පතා සිදු කැරෙන කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පැවැත්වෙන්නේ 20 දා රාත්‍රියේ යි. එය අවසන් කැරෙනුයේ 21 දා අලුයම ගිනි පෑගීමෙනි. 57 වැනි වරටත් පැවැත්වෙන මෙවර ඇසළ උත්සවය නිමාවට පත් කෙරෙනුයේ 21 දා දහවල පිරිනැමෙන දේව දානයයෙනි. - තේජා විද්‍යාරූප – අකුරැස්ස සමූහ