Print this Article


මහනුවර ඇසළ පෙරහර

මහනුවර ඇසළ පෙරහර

අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ශ්‍රී‍්‍ර ලංකාව කීපවරක්ම බුදුරදුන්ට පුදන ලද දේශයකි. එමනිසා රාජ්‍ය උරුමය සංකේතය වූයේ සිරි මහබෝධින් වහන්සේය. රාජ්‍ය පාලන මූලස්ථානය අනුරාධපුරයෙන් වෙනත් ප්‍රදේශවලට ගෙනයාම නිසා අනුරාධපුර වැඩ සිටින සිරි මහ බෝ සමිඳුන් රාජ්‍ය උරුමයේ සංකේතය ලෙස යොදාගැනීම ප්‍රායෝගික වශයෙන් ගැටලුවක් විය. එම නිසා තැනකින් තැනකට වැඩමවා ගෙනයාමට හැකි බෞද්ධ පූජනීය වස්තුවක් වන දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ සංකේතය ලෙස සැලකීමට රජවරු නිරායාසයෙන්ම හුරු වූහ

සිංහල ජාතිය සතු උතුම්ම වස්තුව ශ්‍රී දළදා වහන්සේයි. වසර දහසකට අධික කාලයක් අපේ මව්බිමේ රාජ්‍යත්වය පිළිබඳ සංකේතය ලෙස සැලකෙන්නේ ශ්‍රී දළදා වහන්සේයි. බෞද්ධයන්ට දළදා වහන්සේ ලැබුණේ සිව්වන සියවසේ කිත්සිරි මෙවන් රජු දවසේදීය. එම අවධියේ සිට ම දළදා වහන්සේට සිදුකළ ගරු බුහුමන් ඉතිහාසයේ සඳහන් වෙයි.

ශ්‍රී‍්‍ර ලංකාව කීපවරක්ම බුදුරදුන්ට පුදන ලද දේශයකි. එමනිසා රාජ්‍ය උරුමය සංකේතය වූයේ සිරි මහබෝධින් වහන්සේය. රාජ්‍ය පාලන මූලස්ථානය අනුරාධපුරයෙන් වෙනත් ප්‍රදේශවලට ගෙනයාම නිසා අනුරාධපුර වැඩ සිටින සිරි මහ බෝ සමිඳුන් රාජ්‍ය උරුමයේ සංකේතය ලෙස යොදාගැනීම ප්‍රායෝගික වශයෙන් ගැටලුවක් විය. එම නිසා තැනකින් තැනකට වැඩමවා ගෙනයාමට හැකි බෞද්ධ පූජනීය වස්තුවක් වන දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ සංකේතය ලෙස සැලකීමට රජවරු නිරායාසයෙන්ම හුරු වූහ. රාජ්‍ය පාලනය සඳහා ස්ථානයක් තෝරාගත් සැම අවස්ථාවකම තම මාලිගාව අසළ දළදා වහන්සේ තැන්පත් කරවාගෙන ගරුබුහුමන් දැක්වීමට රාජ්‍ය පාලකයන් පියවර ගත්තේ ඒ අනුවය.

මහනුවර රාජධානි සමය වනවිට දළදා වහන්සේ සහ රාජ්‍යය අතර දැඩි බැඳීමක් පැවතුණි. දළදා වහන්සේ අත්පත් කර නොගෙන රාජ්‍යය පිළිබඳ අයිතිවාසිකම් කීමට කිසිවකුටත් හැකියාවක් නොමැත. අපේ මව්බිම ආක්‍රමණය කළ විදේශිකයන් දළදා වහන්සේ තමන් සතු කර ගැනීමට විශේෂ උත්සාහයක් දැරුවේ ද ඒ නිසයි.

දළදා වහන්සේ පිළිබඳ පුද පූජා චාරිත්‍ර සහ සාහිත්‍ය කෘති රාශියක් තිබෙන නමුත් මහනුවර රාජධානියේ මුල් යුගයේදි දළදා වහන්සේ මුල්කරගත් ඇසළ පෙරහරක් පැවැති බවක් දක්නට නොමැත.

අනුරාධපුර යුගයේ හා පොළොන්නරු යුගයේ පැවැති දළදා පෙරහර ගැන වාර්තා තිබේ. ඇසළ උත්සවය පිළිබඳ ඉතිහාසය ගජබා රජු දවස දක්වා ඉතා ඈතට විහිද යයි. එය ඇරැඹුන දේව විශ්වාසයන් මුල්කරගත් පූජාවකි. දෙවන රාජසිංහ රජුසමයේ (1660) ලක්දිවට පැමිණි රොබට් නොක්ස් වාර්තා කරන පරිදි ජුනි හෝ ජූලි මස මහනුවර දේවාල පූජෝත්සව පැවතුණි.

ඇසළ පෙරහර එයින් ප්‍රධානය. ඔහු ඒ ගැන විස්තර කර තිබේ.දේවාලයේ ප්‍රධාන කපුරාල මුඛ වාඩමක් බැඳගෙන අලංකාර ලෙස සැරසූ ලීයක් කර තබාගෙන අලි හතළිස් ගණනක් පිරිවරා ගත් ඇතකු පිට නැඟ පෙරහරේ ගොස් ඇත.මේ අයුරින් ඇසළ පෙරහර පැවැත්වූයේ අලුත්නුවර, කතරගම හා පත්තිනි යන දේවාලයන්හි ය.පසු කාලයකදී අලුත්නුවර දෙවියන් සිටි තැනට විෂ්ණු දෙවියන්ට හිමි වී තිබේ. එකල කාර්තික පූජාවද මහනුවර පැවතුණි. එහි දී සිදුකෙරුණේ දේවාලවල පහන්දැල්වීමයි.

රාජ්‍ය වර්ෂ 1707 දී කීර්ති ශ්‍රී නරේන්ද්‍රසිංහ නිරිඳුන් ඉතා උත්කර්ෂවත් අන්දමෙන් දළදා වහන්සේ මුල්කරගෙන ඇසළ පෙරහරක් පැවැත්වූ බව සදහන් වෙයි. ඇසළ පෙරහර දළදා වහන්සේට කරන පුජෝත්සවයක් බවට පත්වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වැලිවිට ශ්‍රී සරණංකර සගරජ මාහිමියන්ගේ උපදෙස් අනුවය. ඒ බව මුංකොටුවේරාළගේ සඟරජවත නමැති කව් පොතේ දැක්වෙයි.

සෙංකඩගල නුවර
ඇසළට කෙරෙන පෙරහර
දෙවියන්ට නිසිකර
පැවැත ආවේ කලෙක සිට පෙර
රන් සිවි ගෙයක් කොට
විජයොත් රථය විලසට
තබා ඇත් රජු පිට
වඩා දා කරඬුවක් සිවි ගෙට
බුදුන් පෙරදැරි කොට
දෙවියන් ඊට පසුකොට
පෙරහර යන ලෙසට
පැවතුණේ අප මුනිදු කාලෙට
(සඟරජවත)

හින්දු ආගමික බලපෑම් වලට බෞද්ධ උරුමය යට වන්නට ඉඩනොදී එය ආරක්ෂා කරගැනීමට දැරූ උත්සාහය ගැන වැලිවිට ශ්‍රී‍්‍ර සරණංකර සඟරජ මා හිමියන්ට බෞද්ධයන් විසින් නමස්කාර කළ යුතුය.ඇසළ පෙරහර යනු සැබැවින්ම බෞද්ධ හා හින්දු සංස්කෘතියේ මිශ්‍රණයකි. ඒ අතර බෞද්ධ සංස්කෘතික අංගවලට මූලිකත්වය හා එහි අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් පෙරහර පවත්වාගෙන යන්නට කටයුතු කර ඇති බවක් පෙනේ.අද අපට දක්නට ලැබෙන ආකාරයට බෝසත්වරුන් ලෙස සැලකෙන නාථ සහ විෂ්ණු දෙවිවරුන් සඳහා පැවැත්වෙන පෙරහර දළදා පෙරහරට අනතුරුව ගමන් කරන්නට සැලැස්වූයේ බුදුරදුන්ට මුල්තැන හිමි විය යුතු නිසාය. එපමණක් නොව දේවාල පෙරහර ද බුදුරදුන්ට ප්‍රධානත්වයක් ලැබෙන පරිදි සකස්කර තිබේ. අතීතයේදී දළදා පෙරහර සමඟ අස්ගිරි මල්වතු මහා විහාරවල භික්ෂූන් වහන්සේලා ගමන් කළහ. මහ නාහිමිවරුන් ගමන්කළ අවස්ථා ගැනද සඳහන් වෙයි.

ඇසළ පෙරහර යනු බෞද්ධ හා හින්දු යන දෙපිරිසගේම උරුමයකි. එක් පැත්තකින් ජාතික සමඟිය තහවුරු කෙරෙන යහපත් පදනමක් ද එහි පවතියි. පෙරහර අවසානයේ සිදුවූ කෙරෙන චාරිත්‍රවලට හින්දු කෝවිල ද සම්බන්ධය. දළදා පෙරහර යනු ජාතික සමගියේ සංකේතයක් ලෙස හැඳින්වීම නිවැරැදිය.

බෞද්ධ හා හින්දු ජනතාව අතර පවතින ආගමික සහජීවනය හා සංස්කෘතික සබඳතා ඔස්සේ ජාතික සමඟිය ශක්තිමත් කරගැනීමට ආගමික උතුමන්ගේ අවධානය යොමුවිය යුතුය. එය ජාතික සමඟියට අනුබලයකි.