Print this Article


සද්ධර්මය හදවත තුළින් අත්දකිමු

සද්ධර්මය හදවත තුළින් අත්දකිමු

ධර්මයෙහි ගුණ හා ධර්මයෙන් ලැබෙන පිහිට හඳුනා ගත් කල්හි නිතැතින්ම ලෝක සත්වයාට යහපතක් සිදුවන අයුරින් කටයුතු කිරීම අසීරු නැත. එපමණක් නොව ධර්මයෙහි ගුණ හැඳිනීමෙන්, එය අවබෝධ කරගත් ශාස්තෘවරයාණන් වන බුදුන් වහන්සේ දැකීමට ද හැකිය.

අප මහා බෝසතාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ ඇස්, ඉස්,මස්, ලේ පමණක් නොව අඹු දරුවන් පවා දන් දී දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ථ පාරමිතා සම්පූර්ණ කරමින් අවබෝධ කර ගත්තේ උතුම් ශ්‍රී සද්ධර්මයයි. බුදුපියාණන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද එම උතුම් සද්ධර්මය ඉතා පිරිසුදු වූවකි; යහපත් වූවකි.

ඡායාරූපය - සුදම් ගුණසිංහ

“සො ධම්මං දෙසෙති ආදි කල්‍යාණං, මජ්ඣෙ කල්‍යාණං, පරියොසානකල්‍යාණං සත්ථං සබ්බ්‍යඤ්ජනං කෙවල පරිසුද්ධං පරිපුණ්ණං” යන පාඨය තුළින් ධර්මය යනු, මුල, මැද,අග යහපත් වූවක් සේම පිරිසුදු වූවක් බවත් කියැවේ. එහි ඇත්තේ පරම සත්‍යයයි. එය දේශනා කරන ලද්දේද නික්ලේශී ශ්‍රේෂ්ඨ උත්තමයකු විසිනි.

එම උතුම් ධර්මය ලෝකසත්වයාගේ මෙලොව, පරලොව, සුබ සිද්ධිය සලසනු ඇත. විශේෂයෙන් සතර අපාදි දුක්ඛයන්හි වැටෙන්නට ඉඩ නොදී දෙව් මිනිස් සැප සම්පත් ලබාදීමට රුකුල් වන්නකි. එම උතුම් ධර්මය ඇසීමෙන් ගුණදම් වැඩේ.

* සද්ධා ජනනතො (ශ්‍රද්ධාව උපදවයි)
* පඤ්ඤා ජනනතො (ප්‍රඥාව උපදවයි)
* සබ්බ්‍යඤ්ජනතො (ව්‍යඤ්ජන සහිතයි)
* කෙවල පරිපුණ්ණො (හුදෙක් සර්ව සම්පූර්ණ යි)

මේ ආකාරයෙන් ධර්මය බැබළීමට,සුවිශේෂී වීමට හේතුව වන්නේ එහි ඇති සුවිශේෂි ගුණයන් බව පැහැදිලි වේ.කිසිදු දර්ශනයක, ආගමක නොවූ සුවිශේෂි ගුණවලින් ධර්මය නිරන්තරයෙන් බැබැළීමට පත්වේ. අප තුනුරුවන් වැඳීමේ දී සද්ධර්මයට වඳින “ස්වාක්ඛාතො භගවතො යන ගාථාවෙන් එම ගුණ විස්තර කොට ඇත.

ස්වාක්ඛාත

බුදුරජාණන් වහන්සේ ඉතා මැනැවින් ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක.

සන්දිට්ඨික

ඒ ධර්මය නිසිසේ පිළිපදින්නා වූ සද්පුරුෂයනට වර්තමාන භවයේදීම ප්‍රත්‍යක්‍ෂ වන ගුණවලින් යුක්ත වන්නේය. එනම් ඇස් ඉදිරිපිටම ධර්මය පිළිපැදීමෙන් අනුසස් ලැබේ. “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං” ධර්මය පිළිපැදීමෙන් ධර්මය විසින්ම ආරක්‍ෂාව ගෙන දෙනු ලැබේ. එලෙසම මෙලෝ, පරලෝ හා නිවන් යන ත්‍රිවර්ග සම්පත් ලැබීමටද එය හේතුවේ.

අකාලික

ධර්මය පිළිපදින පුද්ගලයන්ට වර්ෂ ගණන්, මාස ගණන්, ගතවීමෙන් නොව එදිනෙදාම ලැබිය හැකි ගුණයෙන් යුක්තය. මඟ සිතට අනතුරුව ඵල සිත උපදවන බැවින් කල් නොයවා විපාක ලබා දෙන්නේය. අද සමහර උගත්තු, විද්‍යාඥයෝ ඇතුළු සමහර දෙනෙක් සද්ධර්මය විද්‍යාවට සමාන කිරීමද කරති. ඔවුන් තේරුම් ගත යුතු වන්නේ විද්‍යාව කාලික බවත් ධර්මය අකාලික බවත්ය. එනම් ධර්මය තුන්කල්හිම සාධාරණ වන බවයි.

ඒහිපස්සික

ඇවිත් මේ සසුනෙහි පිළිවෙත් පුරා බලන්නැයි අන්‍යයනට නිර්භීතව කිව හැකි, අනුන් විසින් දැක ගනු ලැබීමට සුදුසු ගුණ ඇත්තේය. ‘එව බලව‘ යැයි පෙන්විය හැක්කා වූ ගුණ වෙසෙසින් යුක්ත වන්නේය. ධර්මය විවෘත වූ තරමටම බැබළෙන්නේය.ඒ අනුව ඕනෑම කෙනකුට ධර්මය පිළිබඳ පරික්‍ෂා කළ හැකිය. උපාලි ගෘහපතියාගේ කථා පුවත, කාලාම සූත්‍රය ආදි දේශනා තුළින් ඒ බව මනාව පැහැදිලිවේ.

ඕපනයික

මේ ධර්මය අන් හැම වැඩක්ම පසුව කරන්නට තබා අන් හැම වැඩකටම පෙරාතුව තමන් කෙරෙහි පිහිටුවාලීමට සුදුසුය. එයට හේතුව සසරෙහි තිබෙන බිහිසුණු බවය. සසරදුක නැතිකර ගැනීමට එකම මඟ වන්නේ ප්‍රතිපත්තිය සපුරමින් ධර්මාවබෝධය ලබා ගැනීම පමණයි. එය අන් සියලු කටයුතුවලට වඩා සුවිශේෂීවන බැවින් එයට ප්‍රමුඛස්ථානය දීම වඩාත් සුබදායි වන්නේය.

පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහී

දහමට අනුව පිළිපදින්නා වූ සද්පුරුෂයනට අන් තැනෙක නොව තමන්ගේ සිත තුළම සැපය, යහපත්ය කියා දැනෙන ගුණයෙන් ශ්‍රී සද්ධර්මය යුක්ත වන්නේය. (තම තමන්ගේ සිත් සතන්හි) නිතර පිහිටුවා වැඩිය යුතු ගුණ වෙසෙසින් යුක්ත වූයේය. නුවණැති සද්පුරුෂයන් ස්වකීය නුවණින්ම දත යුතු ගුණ වෙසෙසින් යුක්ත වන්නේය.

මේ ආදි වශයෙන් සදහම් ගුණ පිළිබඳ අවබෝධය ලබා ධර්ම රත්නය වැඳීම තුළින් ලෞකික ලෝකෝත්තර දෙඅංශයෙහිම අභිවෘද්ධිය සිද්ධ වන්නේය.

යෙ ච ධම්මා අතීතා ච
යෙ ච ධම්මා අනාගතා
පච්චුප්පන්නා ච යෙ ධම්මා
අහං වන්දාමි සබ්බදා

‘අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයෙහි වූ ශ්‍රී සද්ධර්මය සදා කල්හි මම වඳිමි’ යනු මේ ගාථාවේ තේරුමයි. ඒ අනුව, සියලු කාලයටම පොදු වූවාක් සේම උතුම් ධර්මයක් බවත් පෙන්වාදිය හැකිය. එම උතුම් ධර්මය තුළින් තමන්ට සේම අන්‍යයන්ට ද ආශිර්වාද කිරීමත් සෙත ශාන්තිය පැතීමත් කළ හැකිය. එතුළින් අනිවාර්යයෙන්ම යහපතක්ම සිදුවනු ඇත. එසේම ධර්මය හැර ලෝක සත්වයාට වෙන කවර පිහිටක්ද?

නත්ථි මේ සරණං අඤ්ඤං
ධම්මො මේ සරණං වරං
ඒතෙන සච්ච වජ්ජේන
හොතු මෙ (තෙ) ජය මංගලම්

ධර්මයෙහි ගුණ හා ධර්මයෙන් ලැබෙන පිහිට හඳුනා ගත් කල්හි නිතැතින්ම ලෝක සත්වයාට යහපතක් සිදුවන,අයුරින් කටයුතු කිරීම අසීරු නැත. එපමණක් නොව ධර්මයෙහි ගුණ හැඳිනීමෙන්, එය අවබෝධ කරගත් ශාස්තෘවරයාණන් වන බුදුන් වහන්සේ දැකීමට ද හැකිය. “සො ධම්මං පස්සති සො මං පස්සති” මෙවැනි උතුම් ධර්මයක් තුළින් බුදුන් කල අප්‍රමාණ දෙනා පිහිට ලැබූහ. අංගුලිමාල වැනි මිනීමරුවෝද සච්චක වැනි වාදකරුවෝද නන්දොපනන්ද වැනි නා රජහු ද ආලවක වැනි යක්‍ෂයෝ ද සභිය වැනි පරිබ්‍රාජකයෝද ආදි පිරිස් ධර්මය තුළින් සසර දුකින් මිදුණහ.

‘බුදුගුණ අලංකාරය’ කර්තෘවරයා සද්ධර්මයෙහි සියලු ගුණ වන්දනා කරන්නේ මෙලෙසිනි.

ඇම පමණින් පැවසූ මුණි දැන තතු
මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු

බුදුන් වහන්සේ විසින් ලෝක ස්වභාව තත්ත්වාකාරයෙන් දැනගෙන සියල්ලන්ගේ ඥාන ප්‍රමාණ වශයෙන් දේශනා කරනු ලැබුවා වූද හැම දෙනම හට මෙය බලවයි දැක්වීමට යෝග්‍ය වූ ද තම තමන්ගේ නුවණේ පමණින් දැනගත යුතු වු ද සද්ධර්මය මම සිත පහදා වඳිමි යැයි එහි දැක්වේ.

මේ ආදි වශයෙන් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමටත් ඒ තුළින් බුදුගුණ දැකීමටත් උත්සාහවත් විය යුතුය.එයින් මෙලෝ පරලෝ යහපත් කර ගැනීමටත් විශේෂයෙන් නිවනේ දොරටු විවර කර ගැනීමටත් නිරන්තරයෙන් උත්සුක වීම මැනැවි.