Print this Article


පිවිතුරු පුදබිම කතරගම

බහුතරයක් ජනතාව කතරගමට පිවිසෙන්නේ ස්කන්ධ කුමාර නොහොත් කඳ සුරිඳුන්ගේ පිහිට ලබා ගැනීමේ මූලික චේතනාව පෙරදැරි කරගෙනය. බොහෝවිට යමකු දෙවිඳුන් යදින්නේ භෞතික ජීවිතයට යමක් ලබා ගැනීම උදෙසා ය. තමාට පිහිට තමාම බව නිසිලෙස පිහිටුවා ගත් සිතින් අවබෝධ කරගත හැකි බව ඉගැන්වෙන පිවිතුරු බුදුදහමට අනුගතවීමෙන් ලැබෙනා අධ්‍යාත්මික සුවය කොතරම් භෞතික සම්පත් ලැබුණ ද ඉන් අත්වන තාවකාලික සුවයට කිසිසේත් ලගු කළ නො හැකි ය. අද කතරගම නාමය බැඳි පවතින්නේ කඳ සුරිඳුන්ගේ ඇල්ම බැල්මට නතුව දේවාල පරිශ්‍රයක කඳ සුරිඳුන්ගේ බල පරාක්‍රමය විහිදුවාලන අඩවියක් ලෙසිනි.

ඒ නිසාම කතරගම වන්දනාවේ යන ලක්‍ෂ සංඛ්‍යාත ජනී ජනයා අතර සැදැහැති බෞද්ධයන්ට වඩා ඇත්තේ බැතිමතුන් යැයි සිතීම අසාධාරණ නො වෙතැයි සිතේ. බුදු දහමට අනුව භක්තිය සහ සර්ධාව අතර ඇත්තේ විශාල පරතරයකි. ඒ නිසාම බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු කතරගම මුඛ්‍ය ඉතිහාස කතාව අනු මාතෘකාවක් බවට පත්වී තිබේ. කතරගම හා සබැඳෙන පුරා වෘත්තය සොයා යන ගමනේදී ජනශ්‍රතියෙන් වහරණ කයි කතන්දර රාශියක් හමුවෙතත් මෙහි ඉතිහාස ගමන් මග ගොඩ නැගෙන්නේ පූජනීය බෞද්ධ පසුබිමක් යටතේ ය. එසේ බෞද්ධාගම හා බැඳෙන කතරගමෙහි ඇති ප්‍රමුඛ සිහිවටනය වන්නේ මේ පින් බිමෙහි රෝපිතව ඇති උත්තම බෝධීන් වහන්සේ ය. කතරගම ඉතිහාස ගමන් මඟෙහි නිශ්චිතව තහවුරු වූ මෙම සිහිවටනය මහා අට කතරක් පූජනීය පින්බිමක් බවට පත් කර තිබෙයි. මෙම පිවිතුරු පුජා භූමියේ විවිධ වූ දෙවි දේවතාවන් උදෙසා දෙවොල් රාශියකින් එකවිට යාතිකා, යාදිනි, නිබඳව ඇසෙ යි. වැලිතල අතරේ හෙමිහිට බසිනා සුන්දර මැණික් ගඟ තීර්තය ආසන්නයේ වැඩවසනා, සමාධී සිතින් භාවනා වැඩීමට සමත්, උත්තම සම්බුද්ධ ශ්‍රී දේහයේ සෞම්‍ය බුද්ධ රශ්මියේ පහස ලැබීමේ පරම භාග්‍ය උදාකර ගත්තාවූ, ශ්‍රී මහා බෝධී වංශයේ අගනා ඥාතීත්වය පානා අෂ්ඨඵල ලාභී කාචර ග්‍රාමයෙහි විරාජමානව වැඩ වසනා බෝධිරාජ සිත්සනහන නිවන දසුන, සිලි සිලි ස්වර මහ බෝ වන්නම, අසන්නට, දකින්නට මංමුලාවූ ව්‍යාකූල සිතකට නො හැකි ය.

ලෝක බෞද්ධ ජන හද මෙන්ම විශ්ව ඉතිහාස වංශ කතාවේ ස්වර්ණමය සිහිවටනයක් වූ ජයසිරි මහ බෝ සමිඳුන්ගේ අමිල නිමල වංශයේ සහජාත ඥාතීත්වයේ මුල්ම පරපුර නියෝජනය කරනා සජීවී දෘෂ්‍යමාන කතරගම බෝ සමිඳුන්ගේ ආශීර්වාදය පැතීම බෞද්ධ සිතකට සැනසිලිදායක වනු ඇත. මීට බුද්ධ වර්ෂ 2321 කට ප්‍රථම ‍සම්බුද්ධ ධර්මය දීප ව්‍යාප්ත කිරීමේ පිවිතුරු අරමුණෙන් දෙවන පෑතිස් නරේන්ද්‍රයාණන් විසින් කාචරගාම නැතිනම් කතරගම වෙත සිගිති බෝ පැළයක් තිළිණ කරන ලද්දේය. එම බෝ පැළය වර්ධනය වී මූල මණ්ඩලය, අතු ඉති දස අත විහිදී ව්‍යාප්තවනවා සේම සම්බුදු දහම ද ඒ හා බැඳී ගම් දනව් සිසාරා පැතිරෙනවා දැකීම මහා නරේන්ද්‍රයාණන්ගේ අභිප්‍රාය විය. එය එක් අතකින් ධර්මදූත මෙහෙවරකට සමාන ය. ජනප්‍රවාද කතාවෙන් තොරව ඉතිහාසගත සන්සිද්ධීන්ට අනුව කතරගම ග්‍රාමය බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් මූලිකව ඓතිහාසික වටිනාකමක් ප්‍රධානය වන්නේ මෙම අෂ්ඨඵල බෝධීන් වහන්සේ නිසා ය.

ඓතිහාසික කරුණු අනුව කියැවෙන්නේ මැණික් ගඟ අසබඩ කතරගම පුරාණ බෞද්ධ විහාරයේ බෝධීන් වහන්සේ රෝපණය කර ඇති බව ය. අප මාතෘභූමිය එක්සේසත් කිරීම උදෙසා දුටුගැමුණු රජතුමා දීර්ඝ තීරණාත්මක සංග්‍රාමයකට අවතීර්ණ වීමට ප්‍රථමයෙන් මෙම බෝ සමිඳුන් වෙත පැමිණ නිසි පුද සත්කාර කර පඬුරක් ගැට ගසා බාරයක් වී මේ මාතෘ භූමිය එක්සේසත් කිරීමේ සටනින් විජයග්‍රහණය ලැබේවා යි ප්‍රාර්ථනා කළ බව ජනප්‍රවාදයේ කියැවෙයි. මෙහිවූ බෞද්ධ විහාර පසුබිමෙහි එදා රහතන් වහන්සේ පන්සියයක් පමණ වැඩ සිටි බව ද සඳහන්ව තිබේ.

මහා වංශය, බෝධි වංශය මෙන්ම තවත් ඉතිහාස පුරා විද්‍යා ග්‍රන්ථයන්ට අනුව සැලකීමේදී අෂ්ඨඵල බෝධීන් ප්‍රදානය කළ ස්ථාන ග්‍රාම නාමයන්හි වෙනස්කම් දකින්නට ලැබේ. දඹකොළ පටුන, තිවංක නම් බමුණු ගම, ථූපාරාමය, ඉසුරුමුණි විහාරය, පළමු වැනි සෑ මළුව, සෑ හි අරම, කතරගම, සඳුන් ගම ආදී නම් මහා වංශයේ සඳහන් වෙයි. බෝධි වංශයට අනුව දඹුළුතොට, තිවංක නම් බ්‍රාහ්මණ ගම, ථූපාරාමය, කසුප් ගිරි වෙහෙර, ප්‍රථමක චෛත්‍ය ස්ථානය රෝහණ ජනපදයේ කදරගම සහ එහිම වූ සඳුන්ගම රෝපණය කළ බව කියැවේ. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම් ගේ පැරැණි ලක්දිව බෞද්ධ ඉතිහාසය නම් ග්‍රන්ථයේ ඵල වෙන්නේ ජම්බුකොළ පට්ටනය. තවක්ක නම් බ්‍රාහ්මණයාගේ ගම් දොරකඩ, ථූපාරාමය, ඉස්සර නිම්මාන විහාරය, පඨමචේතිය, චේතිය පබ්බත, රෝහණ ජනපදයේ කාචරගාම, රෝහණ ජනපදයේ චන්දන ගාම වශයෙනි.

මෙහි කියැවෙන ඇතැම් ස්ථානයන් ග්‍රාමයන් හි නම් අද වනවිට ඒ ලෙසම හඳුනා ගැනීමට නො හැකිව තිබේ. එහෙත් ඒ සෑම තැනකම නිශ්චිතව කතරගම ගැන කියවී තිබෙයි. එසේනම් අෂ්ඨඵල රුහ බෝධීන්ගෙන් එකක් කතරගම වෙත පිදූ බව ස්ථිර ය. මෙයම කතරගම, ඓතිහාසික බෞද්ධ උරුමයක වරුණ කියාපානා සිද්ධස්ථානයක් බවට කදිම සාක්‍ෂියකි. මහමෙව්නා උයනේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩා හිඳුවා පූජනීයත්වයට පත්වූයේ බුද්ධ වර්ෂ 236 උඳුවප් මස පුර පසළොස්වක පොහොය දිනට පෙර දිනයේ ය. වංශ කතාවන්ට අනුව කියැවෙන්නේ අනුරපුර මහමෙව්නාවේ සිව් මහා බුදුරජාණන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ අසමසම පින්බිම් කඩක ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කර ඇති බව ය. එසේ රෝපණය කළ මොහොතේ ජයසිරි මහ බෝ සමිඳුන්ගෙන් පැණ නැංගාවූ අංකුර අට අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ වශයෙන් හඳුන්වති.

මහා බෝධී රෝපණ අසදෘෂ මංගල්‍යයට මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ සංඝමිත්තා මහ රහත් තෙරණීන් වහන්සේ මෙන්ම දේවානම් පියතිස්ස රජතුමා සමඟ සුවිශේෂී ප්‍රභූ පිරිසක් සහභාගී වූහ. ඒ අතර කතරගම වාසී වූ ක්‍ෂත්‍රියයන් ද සම්බන්ධ වීමෙන් හැඟී යන්නේ ඒ ප්‍රදේශය පිළිබඳ රජතුමා දැක්වූ විශේෂ අනුග්‍රහය ය. අනුරපුර අග නගරයේ සිට ඉතා දුරකින් පිහිටියා වූ කතරගමට අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ නමක් ප්‍රදානය කිරීමෙන් රජතුමා එම ප්‍රදේශයට සහ එහි ජනතාවට දැක්වූ විශේෂ අනුග්‍රහය පිළිබඳව හැඟීමක් ඇති කරගත හැකිය. එසේනම් මහ රහතන් වහන්සේගේ පහසින් පිවිතුරු වූ උත්තම පින් බිමක් වූ කතරගම ඓතිහාසික බෞද්ධ උරුමයේ උදාරත්වය දකින්නට අපි පෙළඹෙමු.

සද්ධාවන්ත සිතින් කිරි වෙහෙර වහන්සේ වැඳ නැමැද අසිරිමත් අෂ්ඨඵල බෝධීන් වහන්සේ අභියස මලක් පහනක් පුදා අවසානයේ කතරගමට අධිගෘහිත කඳ සුරිඳුන් ඇතුළු දෙවිදේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීමට දෙවොලට ද ගෞරවයෙන් පිවිසිය හැකිය. දෙවිවරුන්ට ද පින් අවශ්‍ය වන බැවින් ඒ පින් බල මහිමයෙන් පතන්නාවූ බෝධියකින් නිර්වාණ සුවය දෙවියන්ට ද ලැබේවා යි ප්‍රාර්ථනා කළ හැකි ය. එසේ අප රැස් කරගන්නා පින හද ගැඹරේ පින් පසුම්බිය පුරවාලනු නියතය. එසේ නම් නො දැන ගොස් අතරමං නොවී දැන යන කතරගම ඓතිහාසික පූජනීය බෞද්ධ උරුමය සිත්සේ දැක වැඳ පුදා දෙවියන්ටද පින් පුදා සැම සිත් සුවපත් කරගත හැකිය.