Print this Article


පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

වස්කඩුවේ මහින්දවංශ මහ නා හිමි

වස්කඩුව, රාජගුරු ශි‍්‍ර සුභූති මහා විහාරය, කොළඹ - කොටහේන, දීපදුත්තාරාම, තායි රජමහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති ශ්‍රී ලංකා අමරපුර සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහා නායක ධුරන්දර ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්දවංශාභිධාන මහානාහිමියන්ගේ ජන්ම දිනය ජූලි 21 වන දිනට යෙදී තිබිණි.

ඒ නිමිත්තෙන් ජූලි 18, 19, 20, 21 යන සිව් දින පුරා ධර්ම දේශනා, බෝධි පූජා, සෙත්පිරිත් දෙසුම් ඇතුළු විශේෂ පින්කම් රැසක් වස්කඩුව, රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය හා පින්කම් කමිටු සභාපති රෝහිත අබේගුණවර්ධන මැතිතුමාගේත්, විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය ශ්‍රී සුභූති දහම් පාසල හා වස්කඩුව එක්සත් බෞද්ධ සංවිධානයේ සංවිධායකත්වයෙන් සිදු කරන ලද එම පින්කම් මාලාවේ මුලසුන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ශ්‍රී ඥාණිස්සර මහා නා හිමි හෙබවූහ.

 


දොඩම්ගොඩ ඉන්දසර නා හිමි

දකුණු කළුතර, දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරාධිපති, කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක, දොඩම්ගොඩ ඉන්දසර නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් 2013.08. 18 දිනට තෙමසක් පිරීම නිමිත්තෙනි.

සසුන් කෙත් මහවිල සුවඳවත් කරමින් සුපිපි සුවඳැති මහනෙල් මලක් සෙයින් දසත ගුණ සුවඳ විහිදූ, සසුන් වැඩ වැඩූ මහා යතිවරයාණන් කෙනෙකු ලෙස අපවත් වී වදාළ දොඩම්ගොඩ ඉන්දසර නායක ස්වාමීන් වහන්සේ හඳුන්වා දිය හැකිය.

දොඩම්ගොඩ ඉන්දසර නායක ස්වාමීන් වහන්සේ 1918 අප්‍රේල් මස 13 වෙනිදා තුඩුගල, වෑවලගොඩ නම් ග්‍රාම වරයෙහි උපත ලදහ. නායක ස්වාමීන් වහන්සේට සහෝදර සහෝදරයින් පස් දෙනෙකු විය. මුන් වහන්සේගේ මෑණියන් වූයේ කඹුරාවල කංකානම්ගේ එම්පනෝනා උපාසිකාව ය. පියාණන් වූයේ දොඩම්ගොඩ ප්‍රදේශයේ කීර්තිමත් ජීවිතයක් ගත කළ උඩවත්ත කංකානම්ගේ දොන් බාරොන් මුදලාලි තුමා ය.

උතුම් පැවිදි දිවියට ඇතුළත් වූයේ 1929 ජූලි මස 29 වැනිදා දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ දී ය. මෙකල විහාරාධිපතිව වැඩ විසූ මාවනානේ දේවානන්ද මාහිමිපාණන් වහන්සේ උන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ වූහ. වසර දෙකක් පමණ සිය ගුරුපියාණන් වහන්සේ සෙවනේ මූලික බණ දහම් හැදෑරූහ. අනතුරුව අගලවත්තේ ප්‍රතිරාජ පිරිවෙනේ නේවාසිකව වැඩ හිඳීමින් ධර්මශාස්ත්‍රොග්‍රහනය කළහ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ රජමහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේ දී 1940 දී උපසම්පදා ශීලය ලැබූහ.

ගුරුදේවයන් වහන්සේ ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ විහාරාධිපති ධුරයට සතර පේරුවේ දායක දායිකාවන්ගේ ඉල්ලීම හා දැඩි කැමැත්ත මත මුන්වහන්සේ පත් වූහ.

ජීවිතයේ වැඩිම කාලයකුත්, සිය පරිශ්‍රමයත් හා දායක දායිකාවන්ගෙන් පුද්ගලික ලැබූ පරිත්‍යාගයනුත් පොදුවේ පිරිනැමූ ධන පරිත්‍යාගයනුත් වැය කරමින් සුදර්ශනාරාම මහා විහාරස්ථානය දර්ශනීය ආකාරයට ගොඩ නැගූහ. එහි ප්‍රතිඵල භෞතික සම්පත් ලෙසින් අද අප සියැසින් දකින්නේ, පැරණි විහාර මන්දිරය වටා ඉදි කළ සිව් බුදුරජාණන් වහන්සේලා වැඩ සිටින විහාර කුටි පරිශ්‍රය, වෙහෙර වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය, බෝධි මලුව, බෝධි ප්‍රාකාරය සහිත රන්වැට, වාහල්කඩ, ගණ්ඨාර කුලුණ, පියගැට පෙළ, නව සංඝාවාසය, දානශාලාව, වැඩ අවසන් වෙමින් පවතින ධාතු මන්දිරය, ධර්මශාලාව ප්‍රතිසංස්කරණය කිරීම, දහම් පාසල් දෙමහල් ගොඩනැගිල්ල ආදිය මෙන්ම 2600 සම්බුද්ධත්ව ජයන්තිය සිහිවීම වස් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රධාන වේ.

දොඩම්ගොඩ ප්‍රදේශයේ දූ දරුවන්ගේ නෙත් පෑදීම සඳහා ගම ආශ්‍රය කරගෙන ඔවුන්ට විධිමත් අධ්‍යාපනය ලබාදීමට ප්‍රමාණවත් පාසල් කිහිපයක් ම උන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අනුශාසකත්වයෙන් ඉදි කළහ. අඹගහකුඹුර පාසල, මිනුවන්දෙනිය පාසල, කොස්වත්ත පාසල, කජුදූව පාසල, දොඩම්ගොඩ නැඟෙනහිර ( ජූනියර් ) පාසල, ශ්‍රී දේවානන්ද දහම් පාසල ආරම්භ කිරීම, ආදිය මූලික වේ. එමෙන්ම දොඩම්ගොඩ ප්‍රජා මණ්ඩලය ආරම්භ කිරීම, දේශීය කර්මාන්ත ප්‍රදර්ශන අරඹා පළාත් වාසීන් කර්මාන්ත සදහා උනන්දු කරවීම, දේශීය හා විදේශීය චාරිකා සංවිධානය කිරීම ආදී සියල්ලක් ම උන් වහන්සේ සිදු කළේ ඉමහත් සතුටෙනි.

දායක දායිකාවන්ගේ අවශ්‍යතාවය මත නව විහාරස්ථාන කිහිපයක් ම ගොඩනැගීමට නායක ස්වාමීන් වහන්සේ ක්‍රියා කළහ. ලියනගොඩ ශ්‍රී පියරතනාරාමය, ඉසුරුපුර ශ්‍රී ධර්මායතනය ( සංඝරාජ මහා විහාරය ) හර්මන්වත්ත විදර්ශනා භාවනා මධ්‍යස්ථානය, ආදිය ඒ අතර ප්‍රධාන වේ. එමෙන්ම ශාසනයට වැඩදායක දේශීය හා විදේශීය වශයෙන් ශාසනික සේවයෙහි යෙදී සිටින ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා කිහිප නමක් ම තැනූහ. ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම්, භාරතයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය, දොඩන්ගොඩ රේවත නාහිමි, කළුතර අධිකාරිගොඩ ශ්‍රී මහින්දාරාමාධිපති, දොඩම්ගොඩ උදිත හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ඒකකයේ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, සාහිත්‍යාචාර්ය, ආචාර්ය, දොඩන්ගොඩ සිරි සුමනසාර හිමි, මලේගොඩ සිරි නන්දන ත්‍රිපිටක ධර්මායතන මහ පිරිවෙන් ආචාර්ය, රාජකීය පණ්ඩිත, දොඩන්ගොඩ සුමේධ හිමි, ලියනගොඩ ශ්‍රී පියරතනාරාමාධිකාරි බෝපිටියේ තපස්සී හිමි, බටුවන්ගල ආනන්ද හිමි, ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ය.

නා හිමියන් තායිලන්තය, බුරුමය, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා නේපාලය යන රටවල් නරඹා අතිශය සතුටට පත්වූහ.

උන්වහන්සේගෙන් සිදුවු උදාරතර ලෝක ශාසනික සේවාව අගය කළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් උන් වහන්සේට ගෞරව කරනු වස් “ සද්ධර්ම කීර්ති ශ්‍රී ඉන්දගුප්ත ගෞරව නාම සම්මුතිය හා කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක” පදවිය 1994 ජුනි මස 04 වෙනි දින පිරිනමන ලදී.

උන් වහන්සේ 2013 මැයි මස 19 දින අපවත් වී වදාළහ.

නායක මාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා !


මිදිගම උපරතන නා හිමි

ගාල්ල, මාතර, හම්බන්තොට, මාගම්පුර ඇතුළු තෙදිසාවේ ප්‍රධාන සංඝනායක හබරාදුව ලියනගොඩ පුලිනතලාරාමාධිපති ශාස්ත්‍රපති මිදිගම උපරතන නාහිමියන් 89 වියට පා තැබූහ.

මිදිගම ඔබඩහේන ගම්මානයේ විසූ දොන් එබ්‍රහම් ලියනගම හා දොන් සරදිනා ඇලාපත යන දෙපලට දූ දරුවන් 12 දෙනෙකි. ඉන් පවුලේ 07 වැනියා වී 1925 දෙසැම්බර් මස 29 දින මෙම පින්වත් කුමරුවා ඔබඩහේන ගම්මානයේදී උපත ලැබීය.

මා / මිදිගම රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා දොළොස් හැවිරිදි වියෙහි දීම ලියනගොඩ පුලිනතලාරාම පුරාණ විහාරාධිපති නාදුගල සෝරත හා මායකඩුවේ ශ්‍රී විජයාරාමාධිපති මායකඩුවේ ශ්‍රී ගුණානන්ද යන නාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් පුලිනතලාරාම පුරාණ විහාරස්ථානයේ දී 1937 ජුනි මස 21 දිනට යෙදෙන සුබ මොහොතින් මිදිගම උපරතන යන නමින් සසුන් ගත වූහ.

සිය ගුරු දේවයාණන් වහන්සේලාගෙන් හෙරණ බණ දහම් ඇතුළු මූලික වත්පිළිවෙත් ප්‍රගුණ කළ උන්වහන්සේ එතැන් සිට ගාල්ලේ විද්‍යාලෝක මහ පිරිවෙණ කුඹුක්වැල්ලේ ශ්‍රී රේවත පිරිවෙණින් සිංහල, සංස්කෘත පාලි ආදී භාෂාවන් උසස් ලෙස හදාරා පණ්ඩිත ප්‍රාචීන විභාගයෙන් ගෞරව උපාධියක් සමග සමත් වූහ.

උගත මනා බණ දහමින් හා විසි වයසින් පිරිපුන්ව සිටි උපරතන හාමුදුරුවෝ 1944 මැයි මස 26 දින උපසම්පදා වූහ.

පුලිනතලාරාමාධිපති නාදුගල සෝරත ලොකු හාමුදුරුවන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1974 දී එහි විහාරාධිපති ධූරය හා පරිවෙනාධිපති ධූරයට පත්වූහ.

තම ගුරු දේවයාණන්වහන්සේලාට උපහාරයක් වශයෙන් ආරම්භ කරන ලද ශ්‍රී සෝරත දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරති.

දැනට ගාල්ල දිසා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය දරමින් ඉටු කරනු ලබන ආගමික හා සමාජ සේවය උදෙසා සිය නිකායේ උත්තරීතර මහා නායක හිමි ප්‍රමුඛ සංඝ සභාව වෙතින් 1994 අගෝස්තු මස 24 දා කීර්ති ශ්‍රී සෝරත යන ගෞරව නාමය සහිතව ගාල්ල – මාතර හම්බන්තොට මාගම්පත්තුව යන තෙදිසාවේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූහ.

උගත් පැවිදි පඬිවරුන් රාශියක් රටට දායාදය කරමින් ආගමික සාමාජීය සංස්කෘතික වශයෙන් මේ රටේ ආගමික ප්‍රබෝධයක් ඇති කරමින් අමිල සේවාවක් කළ අපේ නායක හාමුදුරුවන් වහන්සේට තවදුරටත් මෙම සේවාවන් ඉටුකිරීමට ශක්තිය ධෛර්ය නිරෝගී සුවය ලැබේවා.


ඉත්තදෙමළියේ වනරතන නා හිමි

ස්‍යාමෝපාලි මහ නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ මහෝපාධ්‍යාය, මිද්දෙණිය, හෙල්ලල දක්‍ෂිණ රාජමහා විහාරාධිපතිව වැඩ විසූ ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය ඉත්තදෙමළියේ වනරතනාභිධාන සම්මාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උදාර සංඝ පීතෘවරයෙකි.

හම්බන්තොට දිසාවේ ඉත්තදෙමළිය නම් ග්‍රාමයේ විසූ ජයවර්ධන අප්පුහාමි මහතාට දාව වික්‍රමගේ හීන් හාමිනේ මාතාවගේ කුසින් මෙළොව එළිය දුටු පින්වත් කුමරු නිකලස් ජයවර්ධන නම් විය. ඉත්තදෙමළිය කනිටු විදුහලින් මූලික සිප් සතර ලබන අතර මාපියන් විසින් පුරාකෘත පුණ්‍ය මහිමය නිසාදෝ හෙල්ලල දක්‍ෂිණ රාජමහා විහාරාධිපති හක්මන ශ්‍රී ජිනරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට බාර කරන ලදී. ඒ අනුව 1923 ජනවාරී මස 01 වන දින තෙළකි ආචාර්යත්වයෙන් ඉත්තදෙමළියේ වනරතන නමින් පැවිදි විය.

මූලික බණ දහම් හා ශික්‍ෂණය ගුරු හිමියන් ඇසුරේ ප්‍රගුණ කළ වනරතන හිමියෝ 1925 ජූනි මස 15 වන දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලැබූහ.

මහජන හිතසුව පිණිස දායකකාරකාදීන්ගේ සිත් දිනාගනිමින් ධර්ම දේශනා, පිරිත් දේශනා තුළින් සිය දස්කම් පෑ වනරතන හිමියෝ දේශනයෙහි සහජ කුසලතා දැක් වූ අතර ශීලාදී ගුණ දහමින් පෝෂිතව තම ශිෂ්‍ය පිරිසටත් ජනතාවටත් ආදර්ශමත් ව ක්‍රියා කළ නිසාම ගිහි පැවිදි සැමගේ චිත්තාරාධනය කිරීමට සමත් විය.

මෙසේ උදාර ගුණාංගයන්ගෙන් උපලක්‍ෂිතව ජාතික ආගමික හා ශාසනික වශයෙන් කාර්යභාරය මැනවින් සිදුකළ වනරතන මාහිමියන් කෙරෙහි පැහැදී සිටි පාර්ශවයේ මහානායක, පුරාවිද්‍යා චක්‍රවර්තී, මහාචාර්ය, කඹුරුපිටියේ ශ්‍රී වනරතනාභිධාන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ත්‍රිංශද් වර්ගික කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය ගෞරව නාම සම්මතිය සහිතව උපාධ්‍යාය පදවිය හා සම්මාන නායක ධූරයකින් සම්මානනීත කරවූහ.

අනාගත සසුන් කෙත උදෙසා වටිනා සිසු පිරිසක් ද නිර්මාණය කළහ. දික්වැවේ රතනසාර මාහිමි, කටුවන ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති, ඇඹිලිපිටිය ශ්‍රී සුමනතිස්ස පිරිවෙණේ පරිවේණාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී, හෙල්ලල නන්දරතන හිමි, රත්නපුර, කුරුවිට ගෝනපිටිය ශ්‍රී මහින්දාරාමාධිපති, ප්‍රවීණ ඉංගී‍්‍රසි දේශක අඹගස් ආරේ ධම්මරතන හිමි, බෙලිඅත්ත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ශාස්ත්‍රපති, තලාවේ රතනසිරි හිමි ප්‍රධාන වේ.

අනූපස් වසරක් ආයු ශ්‍රී වින්දනය කර 1998 අගෝස්තු මස 03 වන දින අපවත් වී වදාළ නාහිමි සමරා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී හෙල්ලල නන්දරතන හිමියන් ප්‍රධාන සිසු පිරිස වාර්ෂිකව පින්කම් සිදු කරති.

ඒ අනුව වාර්ෂික ගුණසමරු පින්කම අගෝස්තු මස 09 දින සිට 11 දින දක්වා පැවැතවිණි. 09 වන දින තුන්වේල පිරිත් දේශනාව ආරම්භ කර 11 වන දින දහවල ශතාධික සංඝගත දක්‍ෂිණාව පවත්වා එදින ප.ව. 2.30 දහඅටරියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ජනාධිපති, ශ්‍රී රෝහණ ජනරංජන මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කිරීමට ද කටයුතු සංවිධානය කර තිබිණි.