UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලාව - 31 අරමක් පිදූ උතුම් අනුසසින් විනයෙන් අග්‍ර වූ උපාලි මහ රහතන් වහන්සේ

පුනරුප්පත්ති ලිපි මාලාව - 31

අරමක් පිදූ උතුම් අනුසසින් විනයෙන් අග්‍ර වූ

උපාලි මහ රහතන් වහන්සේ

පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ ගෞතම බුදු සසුනෙහි ධර්ම කථික භික්‍ෂූන් අතර අගතැන්පත් පුණ්ණ මන්තානිපුත්ත මහ රහතන් වහන්සේගේ චරිතාපදානය යි. අද අප විමසා බලන්නේ ගෞතම බුදු සසුනෙහි විනයධර භික්‍ෂූන් අතර අගතැන්පත් උපාලි මහරහතන් වහන්සේගේ චරිතාපදානය යි.

පදුමුත්තර සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ වේදයේ පරතෙරට ගිය සුජාත නම් බ්‍රාහ්මණ ආචාර්යවරයෙක් වූ මෙතුමන් වහන්සේ පැහැදුනු සිතින් යුක්තව ඒ සම්බුදුරජාණන් වහන්සේ වෙත ශිෂ්‍ය පිරිස සමග පැමිණ බුදුගුණ ප්‍රකාශකොට ඇත. එපමණක් නොව පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහ සඟනට වැඩ සිටීමට අවැසි සංඝාරාමයන් ඉදිකොට පුදා ඇත. ගෞතම බුදු සසුනෙහි විනයධර භික්‍ෂූන් අතර අගතැන් ලැබීමට හේතුවී ඇත්තේ එම කුශලයයි. මෙතැන් සිට උපාලි මහරහතන් වහන්සේගේ් ස්වයං කථිත චරිතාපදානය විමසා බලමු.

පෙර හංසවතී නම් නුවර අසූ කෙළක් ධනයට හිමිකම් ඇති වේදමන්ත්‍ර ආදියෙහි පරතෙරට ගියා වූ අත් පා ආදියෙහි ලකුණූ බලා අනාගතය කිව හැකි ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද පරතෙරට ගිය සුජාත නම් බමුණෙක් විය. එකල විවිධ ආගමික ව්‍රතයන් අනුගමනය කරන (හිසට පමණක් සළුවක් ඇති තවුසෝ ද, උඩුකය නිරාවරණය කරගෙන ඇති තවුසෝ ද, තැනින් තැන යමින් දිවි ගෙවන තවුසෝද) පිරිස විශාල වශයෙන් පැමිණ මා පිරිවරත්,බොහෝ දෙනෙක් මා පුදති. එහෙත් මා කිසිවෙක් නොපුදමි.

යම්තාක් කල් තථාගතයන් වහන්සේ ලොව පහළ නොවෙන්නේද ඒ තාක් කල් බුද්ධ කියන වචනය පවා ලොව නැත. මානයෙන් තද වු මා කිසිවකු මා හා සම හෝ උසස් හෝ නොවු හෙයින් නොපිදුවෙමි. මම විසින් පිදිය යුත්තෙක් නොදකිමි. බොහෝ කාලයක් ගෙවී යෑමෙන් පසුව මෝහන්ධකාරය නැති කරමින් පදුමුත්තර නම් ලෝක නායකයන් වහන්සේ ලොව පහළ විය. බුදු සසුන ආරම්භ වී පැතිරී ගිය කල්හි, වැඩීමට ගිය කල්හි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හංසවතී නුවරට වැඩම කළ සේක. එහි වැඩම කළ උන්වහන්සේ සිය පියාණන්ට අර්ථය පිණිස ධර්මය දේශනා කළහ. එහි රැස්වු පිරිසද හාත්පස යොදුනක් පමණ පැතිර ගියේය.

මේ පිරිස අතර වු සුනන්ද නමින් ප්‍රසිද්ධ වූ තවුසෙක් පැමිණ බුදුරජාණන් වහන්සේ ද, බුදුපිරිසද හාත්පස වැසෙන පරිදි මල්වලින් වැසීය. පුෂ්පාසනයෙහි වැඩසිටි ඒ ලෝක නායකයන් වහන්සේ රැස්ව සිටි පිරිසට චතුරාර්ය සත්‍යය දේශනා කළ සේක.කෙළ ලක්‍ෂයක් ප්‍රාණීන්ට ධර්මාභිසමය විය.පස්මරුන් දිනූ ඒ ලෝක නායකයන් වහන්සේ දින හතක් උතුම් දහම් වැසි වස්සවා අට වැනි දිනයෙහි ඒ සුනන්ද තාපසතුමාට මෙසේ වදාළහ.

මා ප්‍රමුඛ බුදු පිරිස මලින් පිදු මේ තෙම සසරෙහි සැරිසරන්නේ සියලු දෙනාට වඩා යසසින් හා සම්පත්තියෙන් උසස් වන්නේ ය. කල්ප ලක්‍ෂයකින් පසුව ඔක්කාක කුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම වූ ශාස්තෘන් වහන්සේ ලොව පහළවන්නේය. උන්වහන්සේගේ දහම් අසා පැවිදිව සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙළින් අර්හත් තත්වයට පත්ව ධර්මයේ ප්‍රතිමූර්තියක් බදුව පුණ්ණමන්තානි පුත්ත නමින් ඒ ලෝකනායකයන් වහන්සේගේ ඖරස පුත්‍රව ධර්මධර භික්‍ෂූන් අතර අගතැන් ලබන්නේ ය. යනුවෙන් වදාළහ. ඒ අසා රැස්ව සිට පිරිස අපමණ පී‍්‍රතියට පත්ව වඩ වඩාත් පින් රැස්කර ගත්හ.

ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය ඇසූ මා හට ද මෙබඳු අදහසක් විය. එනම් මා ද යම් පින්කමක් කිරීමෙන් ගෞතම බුදුරජාණන්වහන්සේ දකින්නේ නම් මැනවි ‘ යනුවෙනි. ඒ සඳහා කවර පින්කමක් කරන්නේ දැයි විමසන මා හට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් අතර මධුරස්වරයෙන් ධර්මය දේශනා කරන භික්‍ෂූන් අතර හා විනයධර භික්‍ෂූන් අතර අග තනතුරෙහි තබන ලද පාඨික නම් රහතන් වහන්සේ දුටිමි. මම ඒ තනතුර පැතුවෙමි.

මා සතු වූ සම්පත් මහ සයුර මෙන් කැළඹිය නොහැක. මම ඒ ධනය යොදා බුදුරජාණන් වහන්සේට ආරාමයක් කර වුවෙමි. නගරයට නැඟෙනහිරින් පිහිටි ශෝභන නම් උයනක් විය. මම එය මිලට ගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහ සඟනට විශාල ආරාමයක් කළෙමි. කුඩා ගෙවල් වලින්ද ප්‍රාසාදයන්ගෙන් සඳලු සහිත ගෙවල් වලින් ද,සක්මන් මළු වලින්ද , සමලංකෘතව එය කළෙමි. උණුසුම් ඇති කාමර ද සීතල කාමරද , නාන කාමර ද, පරිභෝජනය සඳහා අවශ්‍ය ජලය සඳහා ළිංද, ගිනිහල් ගෙවල් ද එහි මැනවින් කළෙමි. පරිහරණය සඳහා අවශ්‍ය කුඩා, පුටු, විශාල පුටු,ඇඳන් ද, අවශ්‍ය අවස්ථාවන්හි පරිහරණය කිරීමට බෙහෙත් ගෙවල් ද කළෙමි.සන්සුන් සිත් ඇති .අකම්ප්‍ය ගුණයෙන් යුත් ඒ උතුමන්ලාට කිසිවෙක් පීඩා නොකෙරේවායි යන අදහසින් ආරක්‍ෂාව පිණිස පවුරක් ද කළෙමි.

මේ සියලු සම්පත් වලින් අලංකෘත වූ සුවිසල් ආරාමය, කොට, ඒ ලෝකානායකයන් වහන්සේ වෙත පැමිණ, මහා වීරයන් වහන්ස,ලෝක ශ්‍රේෂ්ඨයන් වහන්ස,ඔබ වහන්සේ වෙනුවෙන් ඉදිකළ මේ ආරාමය පිළිගන්නා සේක්වා යනුවෙන් අයැද සිටියෙමි. පූජා සත්කාරයන් පිළිගැනීමට අතිශය සුදුසු වූ ලෝක නායක වු ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ අදහස දැන එය ඉවසූ සේක.කාලය දැන්වීමෙන් පසුව මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩි ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ ආරාමයට වැඩි සේක.එහි වැඩි බුදුරදුන් ප්‍රමුඛ මහසඟනට ප්‍රණීත දානයෙන් උපස්ථාන කළෙමි. මාගේ ආවාසයද පිදුවෙමි.

මතු සම්බන්ධයි

සටහන: බණ්ඩාර පිළවල


පුනරුප්පත්ති ලිපි මාලාව - 30 බුදු ගුණ කීමෙහි අනුසස් පවසන පුණ්ණ ථෙර චරිතාපදානය

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 06 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 01.33 ට ලබයි.
07 වැනිදා බදාදා පූර්වභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා බදාදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]