UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලාව - 27

පුනරුප්පත්ති ලිපි මාලාව - 27

අඤ්ඤා කොණ්ඩඤ්ඤ ථෙරාපදානය

පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ ශ්‍රාවක අපදානයන්හි ඇතුළත් මහා කස්සප මහරහත් චරිතාපදානය යි. අද අප විමසා බලන්නේ ගෞතම බුදු සසුනෙහි පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා ථෙර අපදානය යි. මෙහි ඇතුළත් වන්නේ ගෞතම බුදු සසුනෙහි පළමුවෙන්ම ධර්මය අවබෝධ කොට ගැනීමට උන්වහන්සේ පෙර ජන්මයක එනම්, පදුමුත්තර සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සිදුකළ කුශල කර්මයක ආනිශංසය. මෙතැන් සිට එය විමසා බලමු.

සියලු සත්ව ලෝකයන්ට ජ්‍යෙෂ්ඨ වූ වේනෙය්‍ය ජනයන් සසර සයුරින් එතෙරට පමුණුවන බැවින් විනායක වූ සම්බුදු පදවියට පත් පදුමුත්තර නම් සම්බුදුරජාණන් වහන්සේ මම පළමුව දුටිමි. බෝධි මූලයෙහි යම් පමණක් යක්‍ෂයෝ රැස් වූවාහු ද, ඒ සියල්ලෝම දොහොත් මුදුන් දී වැඳ බුදුරජාණන් වහන්සේ පිරිවරා සිටිත්. ගණ මොහඳුර දුරු කරන මේ සර්වඥයන් වහන්සේ පැමිණියේ යැයි සතුටු සිත් ඇති දෙවියෝ අහසෙහි හැසිරෙත්. ‘අපි බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පිළිවෙත් රැක කෙළෙස් දවමු’ යැයි කියන ඒ දෙවියන්ගේ මහා නාදය දෙවියෙක් වූ මම ද ඇසුවෙමි. එයින් සතුටු වූ මම ඒ සම්බුදුරජාණන් වහන්සේට පළමු භික්‍ෂාව හෙවත් දානය පිළිගැන්වූවෙමි.’

ලෝකයෙහි අසම වූ බුදුරජාණන් වහන්සේ මාගේ අදහස දැන දිව්‍ය සමූහය මැද අනාගතය මෙසේ වදාළ සේක.

‘මම අභිනිෂ්ක්‍රමණය කොට සතියකින් සම්‍යග් සම්බෝධියට පත් වුණෙමි. බ්‍රහ්මචාරී වූ මාගේ සිරුර යැපෙන ප්‍රමාණ වූ මෙය මාගේ ප්‍රථම ආහාරයයි. යමෙක් තුසිත දෙව් ලොවින් මෙහි පැමිණ මා හට පළමු දානය පිළිගැන් වූයේ ද මම ඔහුගේ අනාගතය මෙසේ කියන්නෙමි. එය මැනවින් අසන්න. මෙ තෙම කල්ප තිස් දහසක් දෙවි ලොව දිව්‍ය රාජ්‍ය කරන්නේ ය. සියලු දෙවියන් අභිභවනය කොට දෙවි ලොව වසන්නේ ය. යම් දිනක දෙව් ලොවින් චුතව මිනිස් ලොවට යන්නේ ද, එහි දහස් වාරයක් චක්‍රවර්ති රාජ්‍ය කරන්නේ ය. මෙයින් කල්ප ලක්‍ෂයක් මතුයෙහි ඔක්කාක රාජ කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෝතම වූ ශාස්තෘන් වහන්සේ ලොව පහළ වන්නාහ. උන්වහන්සේ දෙව් ලොවින් චුතව මිනිස් ලොවට යන්නේ ය. ගිහි ගෙයින් නික්මී සය වසක් දුෂ්කර ක්‍රියා කරමින් වසන්නේ ය. අභිනිෂ්ක්‍රමණය කොට සත් වැනි වර්ෂයෙහි සම්බුද්ධ රාජ්‍යයට පත්ව අනුත්තර වූ සද්ධර්මය දේශනා කරන්නාහ. එහි දී ‘කොණ්ඩඤ්ඤ’ නම් තැනැත්තා පළමු කොට ධර්මය අවබෝධ කරන්නේ ය.’ යනුවෙන් මාගේ අනාගතය දේශනා කළහ.

‘මම ඒ අභිනිෂ්ක්‍රමණය කළ බෝසතුන් අනුව පැවිදි වූයෙමි. මා විසින් පැවිදි බවෙහි යථාර්ථය සඳහා මැනවින් වීර්යය කෙළෙමි. කෙලෙස් ගිනි නිවීම පිණිස සසුනෙහි පැවිදි වුණෙමි. දෙවියන් සහිත ලෝකයෙහි සියලු සත්‍යය ස්වකීය ඤාණයෙන් පරෝපකාර රහිතව අවබෝධ කළා වූ සර්වඥයන් වහන්සේ අමා බෙරය ගැසීය හෙවත් පළමු දම් දෙසුම බරණැස මිගදායේ දී පැවැත් වූහ. එහි දී මම ඒ ආශ්‍රයන්ගෙන් මිදීම සඳහා, වූ ශාන්ත වූ, නිරුත්තර පද වූ, ධර්මය අවබෝධ කළෙමි. ආශ්‍රවයන් ප්‍රහීණ කොට අනාශ්‍රවව වාසය කරමි.’

‘මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයන් නසන ලදිමි. හස්ති රාජයෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වාසය කරමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලැබුවෙමි. මේ සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩ් අහිඥාවෝ ද , සාක්‍ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කරන ලදිමි.’


 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]