UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මව්පිය සෙනෙහස

මව්පිය සෙනෙහස

දරුවෙකු තම ජීවිත කාලය තුළම මව්පිය උපස්ථානයේ යෙදුනත් මව්පියන් තමන්ට කළ උපකාරයට ප්‍රත්‍යුපකාර කොට නිම කළ නොහැකි බව මාතෘ පිතෘගුණ සූත්‍රයේ දී දේශනා කොට ඇත. මේ නිසා දරුවෙකු විසින් තම මව්පියන්ට කරන උසස්ම උපකාරය නම් ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණයන්ට යොමුකරලීමය. අශ්‍රද්ධාවත් මව්පියන් ශ්‍රද්ධාවෙහි පිහිටුවීමත් දුස්සීල මව්පියන් සීලයෙහි පිහිටුවීමත් මසුරු මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි පිහිටුවීමත් නුවණ හීන මාපියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවීමත් සිදු කළ යුතු බව පෙන්වා දුන්සේක

මව්පියවරුන් ගැන බුදුදහමේ තරම් කතා කරන වෙනත් දහමක් ලොව නැතිතරම්ය. එය අපේ බුදුන් වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්නුම් කර ඇත. දිව්‍යලෝකයට වැඩම කර විජම්පිටකයෙන් තම මවට දහම් දෙසීම, කිඹුල්වතට වැඩම කර පියමහරජුට හිස පිරිමදිමින් දහම් දෙසීම බෞද්ධ සාහිත්‍යයෙන් මැනවින් කියාපායි. එසේම තම සුළු මව වූ මහා ප්‍රජාපතී රහත් තෙරණිය පිරිනිවන් පෑමෙන් එම ආදාහන පෙරහරේ වැඩමකර චිතකය දැවෙන කල් බලා හිඳ භෂ්මාවශේෂ තම පාත්‍රයට ගත් ආකාරයත් සංවේදී මානසිකත්වයක් ඇති කාහටත් කියාපාන නිදර්ශනයන්ය.

එකල භාරතීය බ්‍රාහ්මණ ඉගැන්වීම්වලට අනුව ලෝකයේ මැවුම්කරුවා වශයෙන් සඳහන් වන්නේ ‘මහා බ්‍රහ්මයා’ය. බ්‍රාහ්මණ ඇතුළු මුළු සත්ව ප්‍රජාව උපත ලද්දේ නොහොත් මවන ලද්දේ මහා බ්‍රහ්මයාගේ සිරුර ඇසුරු කරගෙන යැයි විශ්වාසය විය. එබැවින් තත්කාලීන භාරතීය සමාජයේ අතිශය ශ්‍රේෂ්ඨත්වයෙන් පුදන ලද්දේ මහා බ්‍රහ්මයාය. ලෝකවාසී සත්වයන් කෙරෙහි මහා බ්‍රහ්මයා මෛත්‍රී සහගත වෙයි. කරුණාව පතුරුවයි. මුදිතා ගුණයෙන් හා උපේක්‍ෂාවෙන් යුක්ත වෙයි. බ්‍රාහ්මණ කෘතිවල එන මෙම ඉගැන්වීම් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්‍ෂේප කරන ලදී. ලොවට සත්වයන් උප්පාදනය කරන්නේ අදෘශ්‍යමාන බලයක්, සංකල්පයක් වන බ්‍රහ්ම හෝ වෙනත් දෙවි කෙනෙකු විසින් නොවේ. දරුවන් බිහි කරන්නෝ මව්පියෝ වෙති. එබැවින් ලෝක පූජිත වූ බ්‍රහ්ම නාමයට අතිශයින්ම යෝග්‍ය වන්නෝ මව්පියෝමය. මේ නිසාම බුදුරජාණන් වහන්සේ දරුවන්ගේ ලෝකය නිර්මාණය කළ මව්පියෝ මහා බ්‍රහ්මයාට සමාන කර ඇත.

බ්‍රහ්මාති මාතා පිතරො
පුබ්බාචරියාති වුච්චරෙ
ආහුනෙය්‍යාච පුත්තානං
පජාය අනුකම්පකා

මව්පියෝ නම් දරුවන් කෙරෙහි සිවු බඹ විහරණයෙන් හැසිරෙන බැවින් ‘බ්‍රහ්ම’ නම් වන්නෝ ය. කුලසිරිත් සදාචාර ගුණධර්ම පුරුදු පුහුණු කරන මුල්ම ආචාර්යවරුන් බැවින් ‘පුර්වාචාර්ය’ වන්නාහුය. එසේම දරුවන් විසින් දුර බැහැර සිට ගෙනවුත් ගෞරවාදර පූර්වකව පිළිගන්වනු ලබන දෑ පිළිගැනීමට සුදුසු වන බැවින් ‘ආහුනෙය්‍ය’ නම් වන්නාහුද වෙති. තවද මව්පියන් සිව් බඹ විහරණයෙන් යුක්ත වන්නෝ ය.

යම් දරුවෙකු මවකගේ කුසයෙහි පිළිසිඳ ගත්දා සිටම අපේ දරුවා නිදුක් නිරෝගිව සුවපත්ව බිහිව ඔහුගේ සුරතල් මුහුණ අපට දක්නට ලැබෙන්නේ කවදාදැයි සිතමින් මව්පියන් සිය දරුවා කෙරෙහි මෙත් සිත පතුරුවන්නෝ ය. මෙය මිනිස් අම්මාගේ චිත්තාභ්‍යන්තරයෙහි ඇති වන්නා වූ සංවේදී හැඟීමකි. අනුන්ගේ දුක දැක සිතේ පහළවන උණුවීමේ ස්වභාවය ‘කරුණාවයි’ සිය සුරතල් දරුවා දුකින් හඬන විට මව්පියන්ට කොතරම් චිත්ත කම්පනයක් උණුවීමක් ඇතිවන්නේද?යනු දරුවන් ඇති මව්පියවරුම දනිති. එය දරුවන් නොලැබූ ලෞකික පුද්ගලයෙකුට වටහාගැනීම ඉතා දුෂ්කර වූවකි. ‘මුදිතාව‘ යනු සැපවිඳින සත්වයන් දුටු විට සිතේ පහළවන සන්තෝෂයයි. දරුවන්ගේ සැප දැකීමට මව්පියන් පමණ සතුටු වන්නෝ කවරහුද? ‘උපේක්‍ඛා’ යනු මැදහත් ගුණයයි. සැපෙහිදීත්, දුකෙහිදීත් මැදහත් වීමයි. සිය දරුවන් වැඩි වයසින් මුහුකුරා ගොස් විවාහ ජීවිත වලට ඇතුළත් වී දරුමල්ලන් ලබා ඔවුන්ද මව්පියන් බවට පත්වන විට එම වැඩිවයසට පත් සිය දරුවන් කෙරෙහි මව්පියන් තුළ ඇතිවන්නේ ‘උපේක්‍ඛාවයි’ මේ අනුව සිව් බඹ විහරණයන් පහළවන නිසා දරුවන්ට මව්පියෝ බ්‍රහ්මයා වැනියයි වදාළ සේක.

එසේම මව්පියනට උවටැන් කිරීම අටතිස් මඟුල් කරුණු වලින් එකක් බව මංගල සූත්‍රයෙන් ද පෙනේ. (මාතා පිතූ උපට්ඨානං) එපමණක් නොව මව්පියනට උපස්ථාන කරන්නෝ දෙවියන්ගෙන් පවා ආශිර්වාද ලබන්නෝ ය. ශක්‍ර පදවියට ද පවා සුදුසු වන්නාහු වෙත්. (මාතා පෙත්ති භරං ජන්තුං - කුල ජෙට්ඨාපචායිනං ... තං වෙ දෙවා තාවතිංසා - ආහු සප්පුරිසො ඉති’) මහාලී සූත්‍ර දේශනාවට අනුව ‘ශක්‍රකාරක ධර්ම’ හතෙන් පළමුවැන්න මව්පිය උපස්ථානයයි.

එසේම අපේ බුදුහාමුදුරුවෝ මව්පියන් විවිධ ගෞරව නාමවලට සුදුසු උතුමන් ලෙස අංගුත්තර නිකායේ දී පෙන්වා දෙයි. ඒවා නම් ‘බ්‍රහ්ම’ ‘පූර්වාචාර්ය’, ‘පූර්වදේව‘, ආහුණෙය්‍ය ආදී විවිධ ගෞරව නාමයන්ගෙන් මව්පියෝ හැඳින්වූහ. මෙවැනි ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබන මව්පියන්ට මෙලොව ඇති මහත්ම සැප දරුවන් ලැබීමය. (පුත්තිමා පුත්තේහි නන්දති) ඔවුන්ගේ සතුට ද එයයි. ඔවුහු තම දරුවන්ට මෙලොව එළිය දක්වන්නෝ ‘ඉමස්ස ලෝකස්ස දස්සෙතාරො’ පමණක් නොව සිය පණ දෙවැනි කොට දරුවන් රැක බලා ගන්නෝ ද වෙති. එසේම ශීලය ආරක්‍ෂා කිරීමේ දී එය ඉතා සුපිරිසුදුව රැකිය යුතු බවට පෙන්වීමට නිදසුන්ගෙන ඇත්තේ ද මාතාවයි. මව සිය පුතෙකු රකින්නේ කෙසේද එසේ සිල් රැකිය යුතු බවයි. (පියංච... පුත්තං... තථෙව සීලං) එපමණක් නොව සියලු බෞද්ධයන්ට පාඩම් ඇති කරණීය මෙත්ත සූත්‍රයේ දී මෛත්‍රියෙහි ප්‍රතිමූර්තියක් ලෙස මව හඳුන්වයි. මෑණියන් තම එකම පුතා සිය පණමෙන් ආරක්‍ෂා කරමින් මෙත් සිතින් කටයුතු කරන්නේ ද එසේම සියලු සත්වයන් කෙරෙහි ද මෛත්‍රි සිත් පතුරු වන්නේ ය. (මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ....) යන පාඨයෙන් පැහැදිලි වේ. මීට අමතරව මවගේ කරුණාව හා අනුකම්පාව කෙබඳුද යන්න අභයරාජ කුමාර සූත්‍රයෙන් ද මැනවින් පැහැදිලි වේ.

මෙම කරුණු සලකා බැලීමේ දී බුදුදහමින් පෝෂණය ලද මව්පියන්ගේ වටිනාකම දහමින් හඳුනාගත් ශ්‍රී ලංකාවේ පැරැණි රජ දරුවන් ද මව්පියන් බුද්ධත්වයෙහි සැලකූ බව වංශ කතාවලින් පැහැදිලි වේ. එහි සුප්‍රකට රාජ චරිතයකි අග්බෝ රජු. දිවා රෑ දෙකෙහිදීම ස්වකීය මෑණියන්ට උපස්ථාන කිරීමෙහි යෙදුනේ ය. මෑණියන්ට සියලු වතාවත් තමා විසින්ම සිදු කොට යහනෙහි තබා තුන්වරක් පුදක්‍ෂිණා කර වැඳ නමස්කාර කර පසු පසින් පසු පසට ගමන් කරයි. මහරජෙකු මවට සැලකූ අයුරු මෙයින් පෙනේ. ඇතැම් විට කවර තරාතිරම්වල අය අතරද මෙබඳු හොඳ දරුවෝ ලෝකයේ සිටිති. මෙවැනි චරිත මනුස්සත්වය අමතක වූ වර්තමාන සමාජයේ බොහෝ අයට ද කදිම නිදසුන් ය.

මව්පියන්ගේ ගුණ සුවඳ නොහඳුනන පුද්ගලයෝ සමාජයේ පිරිහෙන බවත් ඔවුන් වසලයන් බවත් බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේ දී පෙන්වා දී ඇත. (යොමාතරංවා පිතරං ජිණ්ණකං ගත යොබ්බණං පහුසංතො න භරති – තං ජඤ්ඤා වසලො ඉති) මීට අමතරව මඝ මානවකයන් ඇතුළු පිරිස දේවත්වයට පත් වූයේ මව්පිය උපස්ථානය පෙරටුකරගත් උසස් ගුණ දහම් නිසාය. (මඝ මානවක ජාතකය) මෙවැනි චරිත, කතා බෞද්ධ සාහිත්‍යයෙහි අනල්පය. කෙසේ නමුත් මව්පිය දූ දරු සම්බන්ධය ගැන මහඟු විස්තරයක් බුදුරජාණන් වහන්සේ විසින් සිඟාල නම් තරුණයාට මැනවින් දේශනා කර ඇති බව සිඟාලෝවාද සූත්‍රයෙන් පැහැදිලිය. මීට අමතරව බෝසතාණන් වහන්සේ ආත්ම රාශියකදී මව්පිය උවටැන විශේෂ බෝසත් ගුණයක් වශයෙන් පිරූ බවත් (සාම, ඡද්දන්ත, ගුත්තිල ජාතක) බුදුවීම සඳහා පළමු පැතුම් සිය මෑණියන්ගෙන් ලබාගත් බවත් (මාතුපෝෂක ජාතකය) ආදී ජාතක කතා තුළින් ප්‍රකට වෙයි. ගිහියන්ට පමණක් නොව පැවිද්දන්ටද තම දෙමාපියනට සංග්‍රහ කළ යුතු බව බුද්ධ ධර්මයෙහි සඳහන් කොට ඇත.

දරුවෙකු තම ජීවිත කාලය තුළම මව්පිය උපස්ථානයේ යෙදුනත් මව්පියන් තමන්ට කළ උපකාරයට ප්‍රත්‍යුපකාර කොට නිම කළ නොහැකි බව මාතෘ පිතෘගුණ සූත්‍රයේ දී දේශනා කොට ඇත. මේ නිසා දරුවෙකු විසින් තම මව්පියන්ට කරන උසස්ම උපකාරය නම් ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණයන්ට යොමුකරලීමය. අශ්‍රද්ධාවත් මව්පියන් ශ්‍රද්ධාවෙහි පිහිටුවීමත් දුස්සීල මව්පියන් සීලයෙහි පිහිටුවීමත් මසුරු මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි පිහිටුවීමත් නුවණ හීන මාපියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවීමත් සිදු කළ යුතු බව පෙන්වා දුන්සේක.

මෙම කරුණු සලකා බැලීමේ දී බුදුදහමෙහි අපේ මව්පියන්ට නිසි තැන ලබා දී ඇති ආකාරය මැනවින් පෙනේ. එහෙත් වර්තමාන සමාජයේ බොහෝ පිරිස් මව්පියන්ගේ මෙම ගුණයන් ගැන වැටහීමක් නොමැතිව ගෙදර බුදුන් වූ දෙමව්පියන් පවුල් පරිසරයෙන් ඉවත්කර හුදකලාව තනිකර දමා තිබෙන තැන් නැත්තේ නොවේ. තාක්‍ෂණයෙන් උපරිමයට ගිය විද්‍යාවෙන් ඉහළටම ගිය යුගයක තවමත් මවගේ ලේ ටික කිරි බවට පත්වන්නේ කෙසේද යන්න සෙවීමට විද්‍යාඥයන් අපොහොසත් වී ඇත. ඒ තරමටම මව්වරුන්ගේ සෙනෙහස දරුවන්ට අසීමිතය. මෙබඳු ගුණ කදම්බයෙන් යුත් මව්පියන්ට බුදු පදවියෙන් සලකා තම නිවස බෞද්ධ මන්දිරයක් කර ගන්නට මෙම කාලවකවානුව ඉතාමත් අගනේ ය.

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]