UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුසලයට මුල්වන පිරිසුදු චේතනාව

කුසලයට මුල්වන පිරිසුදු චේතනාව

කිසිම සත්වයකු සසර දුක් විඳීමට කැමැති නැත. සැපයට සියල්ලන්ම කැමැති ය. සැප ඇති තැනක මිස දුක් ඇති තැනක ඉපිද තව දුරටත් පින් කරගත නොහැකි ය. එබැවින් ලෞකික වශයෙන් සැප ඇති තැනක ඉපදීම නිවන් දකින තෙක් පවත්වා ගැනීමට වගකීමෙන් පින්දහම්හි නිරත වීම බුද්ධිමත් ජනතාවගේ ලක්‍ෂණයයි. පින් කර සැප ලබා ගත්තායැ’ යි කියා නිවනට බාධාවක් නැත. සසර එතෙර කිරීමෙන් ලබන නිවනට ද පින් අවශ්‍යම ය. පින් මඳ වූවෝ නිවනට දුරස්ථයෝ ය.

පින්,පව් හා කුසලාකුසල කර්ම පිළිබඳ විවරණය වන මේ ලිපිය බුදදහමේ අග්‍රඵලය වන නිවන් ඵලය සාධනය කර ගැනීමට අදාළ මූලික පසුබිම සකස් කරගැනීම පිණිසයි. හිරි ඔතප් (පව් කරන්නට ඇති ලජ්ජාව සහ බිය) මුලින් ම පුද්ගයකු තුළ පැවැතිය යුතුය. එය නොමැති තැනැත්තා ඕනෑම නරක ක්‍රියාවකට පෙළැඹිය හැකිය. එයින් නිවන් මඟ තව තවත් ඇහිරී ඔහු නිවන වෙතින් ඈතට යෑම නොවැළැක්විය හැකි ය. එබැවින් පව්කම්වලින් වැළැකුණු, පින් දහම් හි නිරත පුද්ගලයකු වීම අවශ්‍යය.

ඇතැමුන් පින් පිළිබඳ ද දරන්නේ තරමක් උදාසීන, බියමුසු හැඟීමකි. එසේ ම ප්‍රාඥායන් විසින් නොකටයුත්තක් ලෙසට ඔවුහු මෙය සලකති. එයට හේතුව පින්කිරීමෙන් සංසාරය දිග්ගැසෙනවා යැයි අනවශ්‍ය භීතිකාවකින් පෙළීමයි. එබැවින් බෞද්ධයන් පින් නොව කුසල් කළ යුතු යැයි ඇතැම්හු පවසති. එය එසේ ප්‍රකාශ කළ නොහැකි ය.පින් හා කුසල් යන දෙක මාතෘකා වශයෙන් දෙකක් වුවත් පිනෙහි කුසලයත් , කුසලයෙහි පිනත් රැඳී පවතින බව තේරුම් ගත යුතුය. බුදුරජාණන් වහන්සේ ම, පින් කරන්නට බිය වන්නට එපා යැයි දේශනා කර තිබිය දී ඒ ගැන අප සැක පහළ කරන්නේ කවර කරුණකට ද?

පිනෙහි ස්වභාව සුවපත් කිරීම මිස සසර දිග් කිරීම නොවේ. කිසිම සත්වයකු සසර දුක් විඳීමට කැමැති නැත. සැපයට සියල්ලන්ම කැමැතිය. සැප ඇති තැනක මිස දුක් ඇති තැනක ඉපිද සැප විඳිය නොහැකි ය. එබැවින් ලෞකික වශයෙන් සැප ඇති තැනක ඉපදීම නිවන් දකින තෙක් පවත්වා ගැනීමට වගකීමෙන් පින්දහම්හි නිරත වීම බුද්ධිමත් ජනතාවගේ ලක්‍ෂණයයි. පින් කර සැප ලබා ගත්තායැයි කියා නිවනට බාධාවක් නැත. සසර එතෙර කිරීමෙන් ලබන නිවනට ද පින් අවශ්‍යමය. පින් මඳ වූවෝ නිවනට දුරස්ථයෝ ය.

මෙහි ලා පිනෙහි ස්වභාව තවදුරටත් වටහා ගත යුතුය. ‘චිත්තං පුනාතී’ති පුඤ්ඤං’ යනුවෙන් පින විග්‍රහ කොට ඇත. පින පිළිබඳ පැහැදිලි විග්‍රහයකි එය. එහෙත් මේ විග්‍රහය වරදවාගත් ඇතැමුන් ‘සිත පිනා යෑම පින යැ’යි වරදවා වටහා ගෙන ඒ වැරැදි මතය ජනතාව අතරට ද ගෙන යමින් තිබෙන බව පෙනේ. සිත පිනා යෑම පින වන්නේ කෙසේද? නරක වැඩ කරන්නවුන් ද එය කරනුයේ පිනායන සිතකිනි. සමහරු නරක දෙයක් කළ පසුව ද පිනා ගිය සිතින් සිටිති. නරක දෙයෙහි අයහපත් විපාකය ලැබෙන තෙක් ඔහු කළ නරක දෙය මධුවක් මෙන් සලකන බව බුදුරජාණන් වහන්සේගේ දේශනයකි. එබැවින් පව්කම් කරන්නෝද නොපිනා ගිය සිතකින් එය නොකරති. ඒ අනුව, සිත පිනා යෑම පින යැයි බොහෝ ධර්මධරයන් කරන විග්‍රහය ධර්මානුකූල නොවේ. එය අධර්මය ධර්මය කොට දැක්වීමකි. ’පුනාති’ යන වචනයෙහි තේරුම ‘පිරිසුදු කරයි’ යන්නයි. ‘පොළයි’ යන අර්ථයද එහි ඇත. “පොළයි’ යන අර්ථය ගත්කල පොළන විට සිදුවන්නේ නරක දේ ඉවත් වී හොඳ දේ ඉතිරි වීමයි. වී,හාල්, ආදිය කුල්ලකට දමා පොළන විට නරක දෑ බැහැරව හොඳ දෑ එහි රඳා පවතී. එසේම සිතෙහි ඇති නරක චෛතසික පොළා ඉවත් කරද්දී යහපත් චෛතසික ඉතිරිවේ. ‘පිරිසුදු කරයි’ යන අර්ථයෙන් ගත්කල ද වන්නේ එයමයි. ඒ අනුව, පින යනු පිරිසුදු කිරීමයි. කවරක් පිරිසුදු කිරීමද ? සිත පිරිසුදු කිරීමයි. කවර දේවලින් පිරිසුදු කර ගැනීමද? ලෝභ, ද්වේශ,මෝහාදි අකුසල චෛතසිකයන්ගෙන්ය.එසේ නොමැතිව සිත සතුටුවීම් මාත්‍රය පිනක් වන්නේ නැත. සිත සතුටුවිය යුත්තේ යහපත් චෛතසික ක්‍රියාකාරිත්වයකිනි.

සිත පිරිසුදු කර ගැනීමට පුණ්‍ය ක්‍රියා දහයක් බුදුදහම දක්වා ඇත.ඒවා දසපුණ්‍ය ක්‍රියා ලෙස විග්‍රහ වෙයි. එනම් දාන, ශීල,භාවනා, පත්තිදාන (පින්දීම), පත්තානුමෝදනා (පින් අනුමෝදන් වීම), ව්‍යොවච්ච (වතාවත් කිරීම), අපචායන (පිදියයුත්තන් පිදීම), ධම්ම දේශනා, ධම්ම සවණ සහ දිට්ඨිජුකම්ම යනුයි. මේ සෑම ක්‍රියාවකම සිත පිරිසුදු වීම පැවැතියහොත් පමණිපින අර්ථවත් වන්නේ. එසේ නොමැති වුවහොත් එය පිනක් වන්නේ නැත.

උදාහරණයක් ගෙන එය පැහැදිලි කරගනිමු. දානය නමැති පුණ්‍ය ක්‍රියාව දස පුණ්‍ය ක්‍රියාවන්හි පළමුවැන්නයි. දානය පිනක් වන්නේ ඒ තුළ සිත ලෝභාදි අකුසල් චෛතසික කෙරෙන් පිරිසුදු වුවහොත් පමණි. එසේ නොමැතිව කවරක් හො කෙසේ හෝ දීමෙන් පින් සිදුවන්නේ නැත.මජ්ඣිම නිකායෙහි ‘චූල පුණ්ණම’ සූත්‍රයෙහි දන් දී අපාගත වන්නන්ද සිටින බව දේශනා කොට ඇත. ඒ කවර දානයක් ද යත්, අසද්පුරුෂ දානයයි. අසද්පුරුෂ දානය යනු නො සකසා දීම ය,අසහත්‍ථව දීම ය, නොවිමසා දීමය, අපවිද්ධය දීමය, අනාගමන දිට්ඨිකව දීමය. මෙසේ දන් දෙන්නන් දුගතියෙහි උපත ලබන බව ‘චූල පුණ්ණම’ සූත්‍රයේ දී දක්වා ඇත.

එබැවින් හුදෙක් ක්‍රියාව නොව ඒ තුළ චේතනාව කොතරම් පිරිසුදුව පවතීද යන්න තුළය පින රඳා පවතින්නේ. එබැවින් දන් දී පින් කැමැති වන්නන් මේ ගැන සිතා බැලිය යුතුය. විශේෂයෙන්ම අද බෞද්ධයන් යැයි කියා ගන්නා ඇතැමුන්ගේ නිවෙස් තුළ සිදු කරන්නේ දන් දීම නොව ‘යාග කර්මයන්’ය. සතුන් මරා කපා කොටා උයා මත්ස්‍ය මාංශ පිළියෙළ කරමින් දෙන දානය පින් ඇති දෙයක් නොවන්නේය. එයින් ලෝභ, ද්වේශ, මෝහාදිය වර්ධනය වීමකි සිදුවී ඇත්තේ. අනුන්ගේ මාංශයට පළමුව ලෝභය පහළ වී ඇත. අනුන්ගේ ශරීරය කපා කොටා ගන්නට ද්වේශයකින් තොරව බැරිය. එබැවින් ද්වේශය ද ඉදිරිපත් වී තිබේ.මේ නිසා ඇතැම් බෞද්ධ නිවෙස් තුළ සිදුකෙරෙන දානය, ලෝභ,ද්වේශ,මෝහාදිය වර්ධනය කරන්නක් බව මේ අනුව පෙනේ. ඒවා නැතිවීම පිණිසය දන්දිය යුත්තේ. ලෝභ, ද්වේශ, මෝහාදි චේතනාවෙන් යුතුව පුණ්‍ය ක්‍රියා දහයෙහිම යෙදුණ ද පිනක් නැත. එබැවින් පින යනු අප සිතා සිටින සාමාන්‍ය ස්වභාව ඉක්මවා ගිය වටිනා දෙයක් බව වටහාගත යුතුය.

අනෙක ඇතැමුන් සිතා සිටින පරිදි පින් කිරීමෙන් සසර දිගුවන්නේ කෙසේද? ලෝභ,ද්වේශ,මෝහාදියෙන් සිත පිරිසුදු කරන විට සසර දිග්වන්නේ නැත. දස පුණ්‍ය ක්‍රියාවන්හි අරමුණ මැනැවින් තේරුම්ගෙන කිරීමෙන් සසර කෙටි කර ගත හැකිය.එහෙයින් පින් කරන්න එපා, කුසල් කරන්න එපා යැයි කියමින් බුද්ධාවවාදය ද වරදවා වටහාගෙන සිටින අය මේ ගැන සිතීම අවශ්‍යය. පින් සහ කුසල් දෙක මාතෘකා වශයෙන් දෙකක් වුවත් පිනෙහි කුසලයත්, කුසලයෙහි පිනත් රැඳී පවත්නා බවත්, එය නිවන ඉලක්ක කොට ගෙන පැවැතිය යුතු බවත් තේරුම් ගෙන පිනෙහි කුසලයෙහි ඡන්දය ඇතිකර ගත යුතුය.

අපේ සමාජයේ සහතිකවලට සෝවාන් ආදි මඟ ඵල ලබාගෙන සිටින්නෝ පින් දහම් හෙළා දකිති. බුදුරජාණන් වහන්සේ ‘පිනට බියවන්නට එපා’ කියා දේශනා කර තිබිය දී ඔවුන් පින් කරන්නවුන් හෙළා දකින්නේ ඔවුන් මාර්ග ඵල තබා පෘථග්ජන භාවය පරදවමින් ලබාගන්නා සද්ධානුසාරි බවටවත් නොපත් හුදු මිථ්‍යා දෘෂ්ටික පිරිසක් වන නිසාම විය යුතුය. මහාචාර්යවරයකු පෙර පාසල වැඩක් නැතැයි කියනවා නම්, ඔහු මහාචාර්යකමට නුසුදුසුය.මක්නිසාද ඔහු ඒ තත්ත්වයට ආ මඟ නොදන්නා නිසාය. එසේම මඟ ඵල නොව සද්ධානුසාරි බවටවත් පත්ව සිටියා නම්, තම ශාස්තෘවරයා කරන්න යැයි කියූ දෙය එපා යැයි පවසන්නේ නැත. මෙලෙස පින් කරන්න එපා යැයි යමකු පවසන්නේ නම් ඔහු ශාසනයේ උණුසුමවත් නොලැබුණ පුද්ගලයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ.

(උඩුබද්දාව, නැවකඩ ශෛලගිරි විහාරාධිපති, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී ආලංකුලමේ පේ‍්‍රමසිරි හිමිපාණන් විසින් ‘අසිරිමත් බණ කතා - 2’ ධර්ම ග්‍රන්ථයට සපයන ලද පෙරවදන ඇසුරෙන් මේ ලිපිය සකස් කරන්නට යෙදුණු බව කෘතවේදීව සඳහන් කරමි.)

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]