UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

ධම්මික සමඟ ධම්ම සාකච්ඡා - 2

සංස්කරණය – දයා සිරිවර්ධන
ප්‍රකාශනය – ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ
661,665, පී.ද.ඇස්, කුලරත්න මාවත
කොළඹ 10
මිල – රුපියල් 600 /- යි

හැටේ දශකයේ බුදුසරණ පුවත්පතේ පළවූ ‘ධම්මික සම¼ග ධම්ම සාකච්ඡා’ ලිපිය පාඨක ජනතාව අතර බොහෝ ජනපි‍්‍රය විශේෂාංගයක් විය. අපවත්වී වදාළ අතිපූජ්‍ය මිරිස්සේ ගුණසිරි ස්වාමීන්වහන්සේ ‘බුදුසරණ’ පුවත්පත සඳහා “ධම්මික” නමින් පෙනී සිට බුදුසරණ පාඨකයන් යොමුකළ දහම් පැණ වලට පිළිතුරු සැපැයූ සේක. බොහෝ දෙනා ජනපි‍්‍රයත්වය පසු පස හඹායන යුගයක සිය නාමය පවා පුවත්පතේ පළ කිරීමට අකමැති වූ මිරිස්සේ ගුණසිරි ස්වාමීන් වහන්සේ වූ කලී ධර්මධර, විනයධර,ශීලවන්ත දුර්ලභ ගණයේ ශ්‍රේෂ්ඨ පඬිරුවනකි. පාඨක පිරිසකට බොහෝ ප්‍රයෝජනවත් ධර්ම ශාස්ත්‍රිය කරුණු බෙදා හදා දීමේ උදාර චින්තනයක පිහිටා එය ක්‍රියාවට නැංවූ ශ්‍රේෂ්ඨ පුවත්පත් කලාවේදී, පසුව බුදුසරණ ප්‍රධාන කතුවරයා වූ දයා සිරිවර්ධන නාමය ද මේ මොහොතේ හද බැතියෙන් සිහිපත් කළ යුතුවේ.

බුදුසරණ පුවත්පතේ ධම්මික සමඟ ධම්ම සාකච්ඡා පිටුව අගනා දහම් පැණ සහසක් යොමු වී තිබේ. මේ දහම් පැන හා ඒවාට සපයා ඇති පිළිතුරු බුද දහම යටතේ ඉතා වටිනා ධර්ම ශාස්ත්‍රිය සාහිත්‍යයකි. සමස්තයක් වශයෙන් මේ ප්‍රශ්න හා පිළිතුරු කියවා බැලීමේදී මෙම කෘතිය ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වන බව නොකියාම බැරි ය.

ත්‍රිපිටකය, එහි අටුවා හා ටීකා පවා මැනැවින් අධ්‍යයනය කර ඇති ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂාවන්හි විශාරදත්වයක් හෙබි සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ජීව විද්‍යාව වැනි විද්‍යා ක්ෂේත්‍ර පිළිබඳ හසළ දැනුමැති සමථ විදර්ශනා භාවනාවන්හි නිරත වූ ධම්මික යතිවරයාණන් ගේ මහා පෞරුෂය මෙහි එක් එක් ප්‍රශ්නයට දී ඇති පිළිතුරු වලින් ඉස්මතු වෙයි.

මෙබඳු අගනා ධර්ම ශාස්ත්‍රීය කරුණු රාශියක් පාඨක පිරිස උදෙසා කෘති දෙකකින් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් දයා සිරිවර්ධන මහතාට අප සැමගේ ස්තුතිය මෙහිලා පිරිනැමිය යුතු වෙයි.

සිංහල විෂය අධ්‍යක්‍ෂ මෙන්ම රජයේ පෙළපොත් රචක නයන තිලක් රත්නායක මහතා මෙම ග්‍රන්ථයට ප්‍රස්ථාවනාවක් සපයමින් එසේ සටහන් කර තිබෙයි.


පාලියට අකුරක්

කර්තෘ - ආනන්ද ශ්‍රීනාත්
ප්‍රකාශනය – ඈපා පොත්හළ හා මුද්‍රණ සමාගම
අංක 592,මරදාන පාර ,
කොළඹ 10
මිල - රු. 300/-

පාලිය මෙතෙක් භාවිතා වන්නේ සම්ප්‍රදායානුකූල භාෂා රටාවකට ය. එම මග තරමක් වෙනස් කරමින් නවීන තාක්‍ෂණය හා නවීන ලෝකය අනුව එයට හැඩ ගැස්සීමට පාලියට අක්‍ෂර මාලාවක් හඳුන්වා දීමට එහි කර්තෘ වූ ආනන්ද ශ්‍රීනාත් මහත්මා උත්සාහයක් ගෙන ඇති බව පොතට ප්‍රශස්තියක් ලියන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙණියේ ඤාණිස්සර මා හිමි පාණෝ සඳහන් කරති.

ශත වර්ෂ 25 කට අධික කාලයක් සිට ලොව බොහෝ රටවල පාලි භාෂාව ව්‍යවහාර වුව ද ඊට අක්‍ෂර මාලාවක් හඳුන්වාදීමට ඉදිරිපත් වු කිසිවකු පිළිබඳ සඳහන් නොවේ. වර්ණ මාලාවක් නොමැතිව මෙතෙක් පැවැති ආ ජාත්‍යන්තර භාෂාවක් ලෙසද ඉමහත් සම්භාවනාවට ලක්වූ පාලිභාෂාවේ නව පියවරක් වන මේ ග්‍රන්ථය පාඨකයන්ගේ විශේෂ අවධානයට යොමු කිරීම තුළින් මෙම ප්‍රයත්නයේ සාර්ථක බව වටහා ගැනීමට හැකිවනු ඇති බව මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමි පොතට හදුන්වා දීමක් සපයමින් සටහන් තබයි.


බෞද්ධ අධ්‍යයන ලිපි

කර්තෘ - මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි
ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම
මිළ - රුපියල් 300 /- යි

පොතට පසු වදනක් සපයමින් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශ ප්‍රධාන මහාචාර්ය උදිත ගරුසිංහ මෙසේ පවසයි.

වඩාත් පැරැණි යැයි විද්වත් ලෝකයෙහි පිළිගැනීමට ලක්ව ඇති පාළි සූත්‍ර දේශනාවන් ද පසුකාලීනව එම දේශනාවන් උදෙසා සම්පාදිත පාලි අට්ඨකතාවන් ද අදාළ හා අවශ්‍ය පරිදි පරිශීලනය කරමින් විචාරාත්මකව හා තුළනාත්මකව විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද බුදුදහම පිළිබඳ ලිපි රැසකින් සමන්විත වන මෙම කෘතිය ධර්ම ශාස්ත්‍රිය අධ්‍යයන අධ්‍යාපන කාර්යයන්හි නිරත නවීනයන්ගේ මෙන්ම ප්‍රවීනයන්ගේ ද අපේක්‍ෂාවන් සාධනය කරන්නකි. අවශ්‍යතන්හිදී කතුවරයා විසින් ප්‍රාමාණික පඬිවරුන් විසින් සම්පාදිත ද්විතියීක මූලාශ්‍රයන් ද භාවිතා කොට ඇත. විසිපස් වසරක් තිස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපන අධ්‍යයන කාර්යයන්හි නිරතවීමෙන් මෙහි කතුහිමියන් ලත් ධර්ම ශාස්ත්‍රිය නිපුණත්වයන් අත්දැකීම් සම්භාරය හා නිර්මාණ කුසලතාවයත් පිළිබිඹු කරන මෙම නිබන්ධිකා උන්වහන්සේ විසින් සම්පාදනය කරන ලදුව විවිධ ශාස්ත්‍රීය සඟරාවල මීට පෙර පළකරන ලද ඒවාය.

මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය හිමි නමකි. එම විශ්ව විද්‍යාලයේම උසස් අධ්‍යාපනය ලැබ බෞද්ධ දර්ශනය පිළිබඳ පළමුපෙළ ඉහළ ගෞරවෝපාධිය ද ශාස්ත්‍රපති උපාධියද ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් පිරිනැමුණු කුසලතා සහිත ශාස්ත්‍රපති උපාධියද දිල්ලි විශ්ව විද්‍යාලයෙන් දර්ශනශූරී උපාධියද හිමිකරගත් නූතන ලෝකයට අවශ්‍ය ධර්ම ඥානයෙන් පොහොසත් ප්‍රබුද්ධ යතිවරයෙකි.


මිරිසවැටි මහා චෛත්‍ය වර්ණනාව

කර්තෘ - ගයාන් චානුක විදානපතිරණ
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම
163/4 සිරිධම්ම මාවත, මරදාන, කොළඹ
මිල - රුපියල් 300/-

අටමස්ථාන මෙන්ම සොළොස්මස්ථානයන්ට අයත්වන ආගමික මෙන්ම පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික අතින් ඉතා වටිනා සිහිවටනයක් වන අනුරාධපුරයේ මිරිසවැටි ස්තූපය පිළිබඳ දැක ගත යුතු මූලික කරුණු හැකිතාක් දුරට මෙහි දක්වා තිබේ. එසේම කතුවරයා විසින් විවිධ කෝණයන්ගෙන් ගත් මිරිසවැටි ස්තූපයේ වර්ණ ඡායාරූප රැසක් ද එය හා සම්බන්ධ තවත් නටබුන් රාශියක් ද ස්තූපය හා බැදී පසුබිම ද ඡායාරූප වශයෙන් පොතට එක්කර තිබේ.



 


භික්‍ෂූ ප්‍රාතිමෝක්‍ෂය
පොහොය ගෙයි අත්පොත

කර්තෘ - පූජ්‍ය ඌරුපැලැව්වේ හේමාරාම හිමි
ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම
163/4, සිරිධම්මමාවත මරදාන කොළඹ 10
මිල - රුපියල් 280/-

මෙම පොතට සංඥාපනයක් සපයන මහාචාර්ය ඔලිවර් අබේනායක ප්‍රාතිමෝක්‍ෂය පිළිබඳව පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. එසේම පොතට පසු වදනක් සපයමින් රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද අනු නා හිමියෝ මෙසේ පවසති. ප්‍රකට බෞද්ධ විනය ග්‍රන්ථයක් වන භිෂු ප්‍රාතිමෝක්‍ෂ පාලියට සරලව සුගමව අරුත් පහදුවත් ද සහිතව ඉදිරිපත් කර ඇති මෙම විවරණය සසුන තුළ විනයානුකූල පිළිවෙත් පෙළ ගස්වා ප්‍රවර්ධනය කිරීමෙහිලා උන්වහන්සේ තුළ ඇති අභිරුචිය හෙළිදරව් කරන්නකි. මෙවන් උතුම් සසුන් වෑයම් මගින් බුදුසසුන හොබවන්නට පූජ්‍ය හේමාරාම හිමියන්ට සව් සිරි බල ලැබේවායි ඉත සිතින් ආශිංසනය කරමි යන්නය.




 


වැලිතොට පාලි සාහිත්‍යය

කර්තෘ - දංගල කුසලඤාණ තිස්ස හිමි
කර්තෘ ප්‍රකාශනයකි
මිල – රුපියල් - 400/-

දංගල කුසලඥාන හිමියන් විසින් විරචිත වැලිතොට පාළි සාහිත්‍යය නම් මෙම කෘතිය ලංකා පාළි සාහිතය ඉතිහාසය පිළිබඳ කරනලද අධ්‍යයනවලට එක් කළ මහාර්ග දායාදයක් ලෙස හැඳින්විය හැකි ය. බලපිටිය නගරාශි‍්‍රත වැලිතොට ග්‍රාමයේ විසූ ගිහි පැවිදි විද්වතුන් පාලි භාෂාවෙන් රචනා කරන ලද ගද්‍ය පද්‍ය ග්‍රන්ථ ද එම විද්වතුන්ගේ චරිතාපදාන ද මෙහිදී විචිත්‍ර ලෙස ශාස්ත්‍රයුක්ති අනුව විවරණයට ලක් කෙරේ. යටත් විජිත යුගයක දකුණූ ලක විසූ ගිහි පැවිදි විදග්ධයන් පිරිහෙමින් පැවැති පාලි භාෂා සාහිත්‍යයට නව ජීවයක් ඇතුල් කිරීමට දැරූ උත්කෘෂ්්ට උත්සාහය කුසලඥාණ හිමියන්ගේ ගවේෂණයට ලක්වී ඇති ආකාරය ප්‍රශංසනීය ය. මෙසේ පවසන්නේ ග්‍රන්ථයට පසුවදනක් සපයන මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා ය.



 


පරිණාමවාදය, හේතුවාදය සහ පිටසක්වල ජීවයට පිටුපස ක්‍රිස්තියානි මූලධර්මවාදය

කර්තෘ – එස්.බී. ලංකාපුර රත්නකුමාර
ප්‍රකාශනය – නුවණි ප්‍රකාශන
480/4,රම්මුතුගල කඩවත
මිල - රුපියල් 350 /-

ග්‍රන්ථයේ පෙරවදනෙහි සඳහන් වන්නේ මෙම කෘතිය අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ බුදු සසුනට එරෙහි සියලු කුමන්ත්‍රණකාරි බලවේගවලට විරුද්ධව සිදු කරනු ලබන බුද්ධිමය සටනෙහි තීරණාත්මක සංධිස්ථානයක් යන්න ය. මෙහි ඇති දැනුම අප්‍රමාදව විවිධ උපක්‍රම යොදා සමාජගත කිරීම ශාසනමාමක ජාතිමාමක හා දේශමාමක ඔබ සතු පරම යුතුකමක් බව දත යුතුයි යන්න ය බව ය.





 


මහා විහාර ධර්ම සංග්‍රහය –4

සංස්කාරක - රෝහිත විජයතිලක
ධර්ම දානය පිණිස
ප්‍රකාශනය - මහා විහාර පොහොය වැඩසටහන
මහා විහාරසන්නිපාත ශාලාව,ජය ශ්‍රී මහාබෝධි විහාරස්ථානය, අනුරාධපුර

ත්‍රිපිටක ධර්මය අනුශාරයෙන් සකස්කළ ධර්ම පත්‍රිකා එකතුවකින් එම දැනුම ලබා ගැනීමට සෙසු අයටත් හැකිවන පරිදි මහා විහාර ධර්ම සංග්‍රහය– 4 නමින් මෙම ධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත් කර ඇත්තේ අනුරාධපුර මහා විහාර පොහොය වැඩසටහන් සඳහා සහභාගිවන උවසු උවැසියන්ට ධර්මදානය වෙනුවෙන් බෙදාදීම සඳහා ය.

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]