UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

නෙල්ලිවල විමලජෝති මහා නා හිමි

ඕපනායක සිරි විජයාරාමය, පෑලියගොඩ ශ්‍රී නිග්‍රෝධාරාමය යන උභය විහාරාධිපති අමරපුර වජිරවංශ නිකායේ අනුනායක විනයකීර්ති ශ්‍රී‍්‍ර වජිරඥාන වංසාලංකාර, ශාස්ත්‍රවේදී පණ්ඩිත නෙල්ලිවල විමලජෝති අනුනා හිමි අමරපුර වජිරවංශ නිකායේ මහානායක’ පදවියෙන් පිදුම් ලදහ.

සසුනඹර පහනක් කළ මේ යතිවරයාණෝ 1923 සැප්තැම්බර් මස 14 වන දින බළංගොඩ නෙල්ලිවල ග්‍රාමයේදී මෙරෙඤ්ඤගේ මත්තු සිංඤ්ඤෝ ජයවර්ධන උපාසක මහතාට හා ඇන්.ජයවර්ධන මහෝපාසිකාවටත් පුත්ව ජන්ම ලාභය ලැබීය. මේ කුමරුවා මෙරෙඤ්ඤගේ හෙන්ද්‍රික් ජයවර්ධන නම් විය.කුඩා අවදියේ සිටම මේ කුමරුවාගේ ඇවතුම් පැවතුම් අනුව පැවිදිකිරීමට සුදුසු බව මව්පිය දෙපලගේ සිත් තුළ ජනිත විය. ඒ අනුව මහවලතැන්නේ වජිරඤාණ නාහිමියනුත්, ඕපනායක සිරි විජයාරාමාධිපතිව වැඩ සිටි බිබිලේගම අභයතිස්ස මහ නා හිමියෝත් මේ කුමරුවන් පැවිදි බිමට පත් කළහ.

1939 මාර්තු මාසයේදී නෙල්ලිවල විමලජෝති නමින් පැවිදිවී දෑ අවුරුද්දක් තම ගුරු දෙවියන් ඇසුරේ සාමණේර බණ දහම් හදාරා 1941 දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුලත්ව සිංහල, පාලි, සංස්කෘත යන භාෂාත්‍රයම ප්‍රගුණ කළේය. 1946 ජූලි මස 7 වැනි දින කැලණිය උදකුඛේප සීමාමාලකයේදී උපසම්පදා සීලයෙහි පිහිටවනු ලැබූහ. ශාස්ත්‍රවේදී උපාධිය දිනාගත් නෙල්ලිවල විමලජෝති හිමියෝ ගාල්ලේ දඩලලේ විද්‍යාරාජ පිරිවෙනේ උපගුරුවරයෙකු ලෙස සේවයට එක්වූහ. උන්වහන්සේ කෙටිකාලයකින් එම පිරිවනේ පරිවෙණාධිපති තනතුරටද පත් වී වසර 18 ක් පමණ ගුරු සේවයෙහි නියැලුණහ.

උන්වහන්සේගේ ගුරු හිමියන් වන බිබිලේගම අභයතිස්ස නා හිමියන් අපවත් වීමෙන් හිස් වූ ඕපනායක සිරි විජයාරාමාධිපති පදවියට 1980 වසරේදී පත්වීමෙන් අනතුරුව එම විහාරස්ථානයට අනුබද්ධිත විහාරස්ථානයන් වන බලංගොඩ මස්සැන්නේ ශ්‍රී දේවගිරි විහාරය, පනානේ මැදගම ධර්මවිජයාරාමය ආදි විහාරස්ථානයන් හිද අධිපතිත්වය දරමින් එම විහාරස්ථානයන්හි අඩුපාඩු සපුරා සකලාංග සම්පූර්ණ කිරීමට උන්වහන්සේ කැපවූහ.

ඕපනායක සිරිවිජයාරාමය කේන්ද්‍ර කරගෙන මීට වසර කීපයකට ඉහතදී වෘත්තිය පුහුණූ අමාත්‍යංශයේ අනුග්‍රහය ඇතිව ඇරඹූ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සුධම්ම පරිගණක ආයතනය මගින් සබරගමු පළාතේ තරුණ තරුණියන් දහස් ගණනකට රැකියාවන් ලබාගැනීමට මං පෙත් එලිකිරීමෙන් නෙල්ලිවල විමලජෝති අනු නා හිමියෝ කර ඇති උදාර සේවාව විශේෂයෙන් මෙහි සඳහන් කළ යුතු කරුණකි. එසේම ළමුන් 500 කට අධික පිරිසක් අධ්‍යාපනය හදාරන සිරි විජය දහම් පාසලද, ළමුන් 75 කට අධික පිරිසක් ඉගෙනුම ලබන සීවලී පෙර පාසලද ආරම්භ කර ඇත. එම පාසල් මගින් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ දරුවන්ගේ ධර්මඥානය වර්ධනයවේ.

මෙම විහාරස්ථානයන්හි දියුණුවත්, ප්‍රදේශවාසී බොදු දනන්ගේ සිත්සතන් තුළ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් වර්ධනය කිරීම සඳහා තම ආගමික දැනුම භාවිතා කරමින් කරන ලද සේවාව ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ චිත්ත සන්තානවල අද පවා නොමැකී පවතී. ප්‍රදේශයේ බෞද්ධස්ථාන අලුතින් ආරම්භ කිරීමේ කාර්ය සඳහා වෙසෙසින් කටයුතු කළ උන්වහන්සේ එකළ ප්‍රවාහන හා මාර්ග පහසුකම් නොමැති වුවද නියරවල්, කඳුවැටි, තැනිතලා, මුඩුබිම් හරහා පයින් ඇවිදගෙන ගොස් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකගෙන් තම ආගමට සිදුවිය යුතු යුතුකම් හා වගකීම් ඉටුකිරීම සඳහා ගත් වෙහෙස ඉතා විශාලය.

වත්මනෙහි මෙම විහාරස්ථානවල ශිෂ්‍යානු ශිෂ්‍ය අර්ධ ශතාධික පිරිසක් සිටිති. ඉන් දිවයිනේ නානා පෙදෙස්වල නොයෙක් ආගමික, සාමාජික, සාමයික ජාතික සේවාවන්හි නියැළෙමින් ශ්‍රමණ සාරුප්‍යයෙන් යුතුව චිරාගත සාසනික සම්ප්‍රදායන් රකිමින් වත්පිළිවෙත් සපුරන සුපේෂල ශික්‍ෂාකාමි ශිෂ්‍යයන් වහන්සේලා ඇති බව මෙහිලා සඳහන් කිරීමට පවා ලැබීම භාග්‍යයකි. මේ සියල්ලම අනු නාහිමියන්ගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයයි.

ශාසනයට දායාද වූ ත්‍රිපිටක ධාරීන්, විනයාචාර්යවරුන්, විදුහල්පතිවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් යන වියතුන් අතර වර්තමානයේ දෙස් විදෙස්හි අධ්‍යාපනය හදාරන සහ දහම් චාරිකාවෙහි හැසිරෙන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා අතර ශාස්ත්‍රපති පණ්ඩිත රාස්සගල සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම ඕපනායක සිරි විජයාරාමාධිකාරි මොරහැල අරියඤාණ හිමියන්, බලංගොඩ මස්සැන්න මහා විද්‍යාලයේ විදුහල්පති, බලංගොඩ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පණ්ඩිත මස්සැන්නේ විමලඤාණ හිමියන්, මහවලතැන්නේ ධම්මින්ද හිමියන් සහ ඕපනායක ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මැටිහක්වල සුදර්ශනාරාමාධිපති පනානේ විජයවංශ හිමියන් යන හිමිවරුන් ප්‍රධානත්වයෙහිලා සැලකිය හැකිය.

ආදර්ශවත් සංඝ පීතෘ නමක් වු අනු නාහිමියන් විනයධරය, ධර්මධරය, බහුශ්‍රැතය, සුපටිපන්න උජුපටිපන්න, ආදි ගුණයෙන් මොනවට පොහොසත් අනු නාහිමියන් වහන්සේ මහ තෙරනමකි. තායිලන්තය,රුසියාව, ඉන්දියාව වැනි රටවල් වලද දහම් චාරිකාවෙහි හැසුරුණහ. එතුමන් වහන්සේ කළ මහඟු සාසනික මෙහෙවර අගයීමට ලක්කළ අමරපුර වජිරවංශ නිකාය මගින් අනුනායක ධුරයද විනය කීර්ති ශ්‍රී වජිරඤාණ වංසාලංකාර යන ගෞරව සම්මාන නාමයද පූජා කළහ. එවකට අමරපුර වජිරවංශ නිකායේ මහනායක ධුරය හොබවමින් වැඩසිටි වැලිකඩමුල්ල වාළුකාරාමාධිපති ශ්‍රී සද්ධර්ම වාගීස්වර සාහිත්‍යාචාර්ය පණ්ඩිත අතිපූජ්‍ය දුනුකේවල ධම්මාරාම මහ නාහිමියන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක ධුරයට 2012 නොවැම්බර් මස පෑලියගොඩ ධර්ම විජයාරාම විහාරස්ථානයේදී රැස්වූ ගරු කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් අතිපූජ්‍ය නෙල්ලිවල විමලජෝති නාහිමියන් පත් කරගන්නා ලදී.

ඒ වෙනුවෙන් සිදු කෙරෙන අක්තපත්‍ර ප්‍රධානෝත්සවය 2013 ජූලි මස 06 වන දින පස්වරු 2.30 ට අමරපුර මහානිකායේ මහා නායක, අග්ගමහාපණ්ඩිත ග්‍රන්ථ විශාරද රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඕපනායක සිරි විජයාරාම විහාරස්ථානයේදී සිදු කෙරේ.

මීට අමතරව ජූලි 04 ලේ දන්දීමක්,අටවිසි බෝධිපූජාවක් පවත්වන අතර ජූලි 05 දහවල් ශතාධික මහා සංඝයා විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වෙන අතර ජූලි මස 06 දින, රාත්‍රි‍්‍ර අභිනව මහනාහිමියන්ගේ මූලිකත්වයෙන් සිදුකරන උපසම්පදා විනය කර්මයද සිදු කෙරේ.


නාලුවෙල ආනන්ද නා හිමි

රත්නපුර නාලුවෙල ග්‍රාමයේ ඩබ්ලිව්. එල්.ආර්. අප්පුහාමි මහතාටත් වී.එල්. මැණික්හාමි මහත්මියටත් දාව උපත ලැබූ නාලුවෙල ආනන්ද හිමිපාණන් වහන්සේ රත්මලවින්න මහා විද්‍යාලයේ පස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූහ.ඉන්පසු පැල්මඩුල්ලේ කාමරකාපිටිය විද්‍යාලයේ අටවන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව 1963 දී කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ පණ්ඩිත බද්දේගම විමලවංශ නාහිමියන්ගේ ශිෂ්‍යයෙක් වශයෙන් පැවිදි වූහ.

නාලුවෙල ආනන්ද හිමියන් සමග තවත් කුල දරුවන් 29 දෙනෙක් එකම දිනයේ එනම් 1963.06.09 වන ඉරිදා පැවිදි දිවියට පත්වූහ. විදේශීය ධර්ම දූත කටයුතු සඳහාම මෙම පිරිස පැවිදි කළ අතර විශේෂයෙන් ඉන්දියාවේ ධර්මදූත කටයුතු සඳහා මිහිඳු මහ රහතන් වහන්සේගේ නාමය ඇතුලත් කොට මහා මහින්ද ජාත්‍යන්තර ධර්ම දූත සංගමය නමින් එම පිරිස බඳවා ගන්නා ලදී.

මෙම පිරිසෙන් ප්‍රථම කණ්ඩායම 1967 පෙබරවාරි මසදී දඹදිවට පිටත්කර හැරි අතර, නාලුවෙල ආනන්ද හිමියන් 1967 අගෝස්තු 24 වන දින දඹදිවට පිටත් කර හරින ලදී.මෙම පිරිසට නක්කාවිට සුගතවංශ හිමියන්ද ඇතුළත් විය. උන්වහන්සේලාට මාර්ගෝපදේශකත්වය ලැබුණේ එවකට භාරතයේ මහා සංඝානායිකාව වැඩ සිටි මාපලගම සිරි සරණංකර හිමියන්ගෙනි.

1967 සිට මේ දක්වා ඉන්දියාවේ ධර්මදූත මෙහෙවරයේ වසර 45ක සේවයක්ද, උන්වහන්සේ පැවිදි දිවියට පත්ව වසර 50 ක් පිරීමද නිමිතිකොට ගෙන ඉකුත් 09 වන දින දී මහාරාෂ්ට ප්‍රාන්තයේ හුල්ලාස් නගරයේදී ප්‍රඥානන්ද නමින් කුල පුත්‍රයෙකු සසුනට ඇතුලත් කරගන්නා ලදී.

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ කානේ දිස්ත්‍රික්කයේ මහා නගර සභාවේ මූලිකත්වයෙන් කානේ දුම්රිය ස්ථානය ඉදිරිපිට නිර්මාණය කරන ලද බෞද්ධ ජනනායකයෙකු වූ බී.ආර්. අම්බෙඩ්කර් මැතිතුමාගේ සම්පූර්ණ ප්‍රතිමාවක්ද නාලුවෙන ආනන්ද හිමියන් විසින් විවෘත කරන ලදී. ඉන්දියාවේදී උන්වහන්සේ විසින් සිදුකරනු ලැබූ 45 වසරක ධර්මදූත සේවය සඳහා උපහාරයක් වශයෙන් ඉන්දීය ජනතාව මෙය විවෘත කිරීම උන්වහන්සේට පවරන ලදී. මරාටි භාෂාව පිළිබඳව හසල දැනුමක් ලබාගත් උන්වහන්සේ අතින් මේවන විට මරාටි බසින් බෞද්ධ ග්‍රන්ථ කිහිපයක් පළකර ඇති අතර ඉන් ප්‍රධානත්වය ලබනුයේ පිරුවානා පොත්වහන්සේ මරාටි බසට පරිවර්තනය කර මුද්‍රණය කිරීමයි. මේ වන විට මෙම පිරුවානා පොත් වහන්සේ තෙවරක් මුද්‍රනයකොට ප්‍රකාශයට පත්කර ඇත. උන්වහන්සේ විසින් 1971 දී ළමුන් 35 කින් සමන්විතව හුල්ලාස්නගරයේදී තක්සිලා විද්‍යාලය ආරම්භ කරන ලදී. දැනට එහි සිසු පිරිස 5000 කි. එහි පාලි භාෂාව විෂයක් වශයෙන් උගන්වනු ලැබේ.

දැනට උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ ඉන්දියානු ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 8 නමක් සිටින අතර ඉන් 3 නමක් ශ්‍රී ලංකාවට රැගෙන ගොස් උපසම්පදාව ලබාදී ඇත.

තවද උන්වහන්සේ ඉන්දියාවේ පමණක් නොව එංගලන්තයේ හා කොරියාවේද ධර්ම දේශනා පවත්වා ඇත.


මැදගම ධම්මාරාම මාහිමි

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මැදගම ධම්මාරාම මාහිමිගේ 84 ජන්ම දිනය නිමිත්තෙනි.

සසුනඹරට එළිය දෙන එක් සුපුන් සඳ
රජරට ඉපිද මැදගම ගැමි සුවඳ විඳ
රාජකීය පණ්ඩිත පදවියෙන් පුද
ධම්මාරාම මා හිමි රත්තරන් කඳ

අධ්‍යක්‍ෂ සමිඳු විදුධර පිරිවෙනේ
රජරට පළාතම එනිසයි එළිය උනේ
නවසිය හැට තුනේ පිරිවෙන සකස් උනේ
ධම්මාරාම අපෙ නා හිමියන් අතිනේ

ගන්තිරියාගමදී ගුරු පදවි ලැබ ගෙන
‘මහින්ද’ මහා විදුහල ලද හිමි සරණ
හොඳ සිසු පරපුරක් ඇතිකර රට රකින
අසූ හතර විය ගෙවමින් වැඩ සිටින

නිර්ලෝභීව තම සතු දෙය දන් දෙනවා
අවැසි තැනදී අසරණ සරණය වෙනවා
ශීලවන්ත ගුණ ඉහළින් පවතිනවා
සියක් ආයු නා හිමි තෙද පැතිරෙනවා

දෙසමින් බණ දහම් ඇසූ සැමගේ සිතට
පිරිත් පුරණ විට නැතිවම බෑ මුලට
යහපත් සඟ පියෙකි ගුණ දම් රැකි හොඳට
ඕනැ මෙවැනි බුදු පුත් වරුම ය රටට

ධම්මාරාම සමිඳුට අත්වැල වෙන්නා
‘ඤාණාලෝක’ ‘ධම්කිත්’ හිමිවරු දෙන්නා
අගසව් ලෙසින් හිමි අසලම වැඩ ඉන්නා
සිසු පරපුරය හිමිහට සරණය වෙන්නා

ධම්මකිත්ති හිමි සහ ඤාණා ලෝක
හිමිවරු සමිඳු ලෙඩ වූ විට අසල රැක
උවටැන් කරති සඟවාගෙන සිතේ දුක
සිසු සඟ රුවනමය සැනසුම එකට එක

මෙවැනි බුදු පුතුන් ගුණ උජු පටිපන්න
සසුන රකින සැම දෙවියෝ රැක ගන්න
නිදුකින් නිරෝගිව දිගු කල් වැඩ ඉන්න
ඉතින් හිමියනේ අවසර නවතින්න

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]