Print this Article


ඇත්ගාල ශ්‍රී දක්ෂිණාරාම විහාරස්ථානය

ඇත්ගාල ශ්‍රී දක්ෂිණාරාම විහාරස්ථානය

ගම්පළ නාවලපිටිය මාර්ගයේ ඇත්ගාල නගරයට ආසන්නව පිහිටා ඇති ශ්‍රී දක්‍ෂිණාරාම විහාරස්ථානය කරා එළැඹෙන කවරකුගේ වුවද සිත් සතන් පහන් වන්නේ නිතැතිනි. මේ විහාරස්ථානය 1960 වර්ෂයේ දී ආරම්භ කරන්නට යෙදුණේ ගම්පළ නියගම්පාය විහාරාධිපති කෙහෙල්ගමුවේ අත්ථදස්සි නාහිමියන් විසිනි.

කෙහෙල්ගමුවේ අත්ථදස්සි නා හිමියන් වෙතින් මෙන්ම ඉන්පසු විහාරාධිපතිත්වය ඉසිලු ස්වාමින් වහන්සේ වෙතින් ද ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාත්මික මෙන්ම සමාජීය සංවර්ධනය වෙනුවෙන් ඉටුවූයේ අතිමහත් මෙහෙවරකි. වත්මන් විහාරාධිපති ධුරය උසුලන්නේ විශ්‍රාමලත් පිරිවෙන් ආචාර්ය වැගම ගුණරතන නා හිමියන්ය. උන්වහන්සේ ප්‍රදේශයේ ජනතාවට නිසි මඟ පෙන්වීම ලබා දෙමින්ද විහාරවාසී භික්‍ෂූන් වහන්සේ සසුන් පිළිවෙත් හි මනා සේ යොදවමින් ද ඉටු කරනුයේ අමිල සේවයකි.


විහාරාධිපති වැගම ගුණරතන නා හිමි

ශ්‍රී දක්‍ෂිණාරාම විහාරස්ථානයේ සියලු විහාරාංග මේ වන විට ඉදිකරනු ලැබ තිබීම සතුටට කරුණකි. බෙහෙවින් දිගු ඉතිහාසයකට හිමිකම් නොකීවද ගත වූ කාලය තුළ විහාරස්ථානයෙන් ඉටු වූ උදාර ශාසනික සේවය ප්‍රදේශවාසීන්ගේ නොමද පැසැසුමට බඳුන් වන්නකි. නිරතුරුව සංවිධානය කෙරෙන බෝධි පූජා පින්කම්, ධර්ම දේශනා සහ ශීල භාවනා වැඩසටහන් ආගමික ප්‍රබෝධය වඩාත් ඉහළ නංවන්නට හේතු වී ඇත. දායක සභාව හා කාර්ය සාධන සමිතිය ඇතුළු විහාරස්ථ සමිති සමාගම් වලින් මේ සියලු පුණ්‍ය කටයුතුවලදී ලැබෙනුයේ නොමඳ සහයෝගයකි.