Print this Article


පිච්ච මල් පූජා මහෝත්සවය

පිච්ච මල් පූජා මහෝත්සවය

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, ශාන්ති පදනම විසින් 1990 වසරේ දී ඉතා චාම් පින්කමක් ලෙස අනුරාධපුර උඩමළුවේ දී ආරම්භ කළ පිච්ච මල් පූජාව මේ වන විට මහා දැවැන්ත ආගමික ව්‍යාපෘතියක් බවට පත් වී ඇත. පිච්ච මල් සුවඳට ආකර්ශනය වූ මනුෂ්‍යයෝද, දෙවියෝද, සපිරිවරින් එදිනට මහමෙව්නාවට මුළු දෙන්නාහ. පිච්ච මල් පූජාවේ අන්තර්ගත කරුණු කීපයකි. ඉන් එකක් වන්නේ බෞද්ධයන් එක් තැනකට ඒකරාශී කොට බෞද්ධ පණිවුඩයක් එකවර ලබාදීමයි. දෙවැනි කරුණ වන්නේ ජාතික සංවර්ධනයක් සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ සිතුම් පැතුම් පෙළ ගැස්වීම සහ ආකල්ප වල වෙනසක් ඇතිකරලීමට මඟ පෙන්වීමයි.

පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහා ආහාර පානාදිය සඳහා දන්සැල් රාශියක් පැවැත්වෙන අතර, රුවන්මැලි සෑය ඉදිරිපිට මල් භාර ගැනීමේ කාර්යාලය, දේශීය හා බටහිර ප්‍රථමාධාර කාර්යාලය, අතරමං වූවන් රඳවන කාර්යාලය, පිහිටුවා ඇත.

ජූලි මස 06 දා සවස 2.00 ට ථූපාරාමය අභියසින් පිච්ච මල් පෙරහර ආරම්භ කිරීමට නියමිතය. එදින සවස 5.00 ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පිච්ච මල් ඇතිරීම සහ වන්දනාව සිදුවන අතර, රුවන්මැලි මහා සෑය ප්‍රදක්‍ෂිනා කරන පෙරහර රාත්‍රී 8.30 ට ආරම්භ කිරීමට නියමිතය. රාත්‍රී 10.00 ට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආරම්භ කරනු ඇත. රාත්‍රි 12.00 ට එදිනට නියමිත කටයුතු නිමාවට පත්වන අතර, පසුදින එනම් ( 7 වන ඉරිදා) අලුයම 05.30 ට කිරිපිඬු බුද්ධ පූජා වන්දනාව සහ භාවනා වැඩසටහන රුවන්මැලි මහා සෑය අභියසදී පැවැත්වේ. පෙරවරු 10.00 ට අභය දානමය පුණ්‍ය කර්මයෙන් ජාතික පිච්ච මල් පූජා මහෝත්සවයේ කටයුතු නිමාවට පත් කෙරේ.