Print this Article


මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය

මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය

කළුතර දිස්ත්‍රික්කයට අයත් බේරුවල මැතිවරණ කොට්ඨාසයේ පයාගල මලේගොඩ ප්‍රදේශයේ කුඩා කඳු බිමක පිහිටි ඉතාමත් දැකුම්කළු බෞද්ධ පූජනීය ස්ථානයකි. 1805 වර්ෂයේදී පමණ ආරම්භ කරන්නට යෙදුණු එම පුද බිම නමින් මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය වේ. අවුරුදු 208ක් සපිරෙන මේ විහාරස්ථානය ඓතිහාසික පසුබිම සහ විශේෂ කෞතුක වටිනාකම සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියක් ලබා ඇත.


උප පරිවෙනාධිපති
උනාවටුණේ
වංශානන්ද හිමි

කළුතර තොටමුණ උතුර ශාසනාරක්‍ෂක බල ප්‍රදේශයේ කොළඹ - ගාලු පාරේ කි.මී. 48 වැනි කණුවට මඳක් නුදුරින් මලේගොඩ හන්දියේ සිට කි.මී. භාගයක් පමණ නැඟෙනහිර දෙසට ගමන් කළ විට දර්ශනීය පුෂ්පාරාම විහාරස්ථානය වෙත ළඟාවීමට හැකි වනු ඇත.

පයාගල ප්‍රදේශයේ බිහිවුණු මුල්ම සියම් නිකායික විහාරස්ථානය වශයෙන්ද සැලකෙන මේ පුදබිමට අයත්වන තවත් පූජනීය ස්ථාන වශයෙන් හොරණ රෙමුණ ශ්‍රී ගංගාරාමයත් පරදූවේ ශ්‍රී ආනන්දාරාමයත් කොරතොට පන්සල සහ කිරිඇල්ල ආරණ්‍ය සේනාසනයත් සඳහන් කළ හැකිය.

මෙකී පුදබිම්වල ආරම්භක ස්ථානය මලේගොඩ පුෂ්පාරාම මහා විහාරය වෙයි. පුෂ්පාරාම සිද්ධස්ථාන භූමියේ සිරිනන්දන ත්‍රිපිටක ධර්මායතන මහ පිරිවෙන පවත්වාගෙන යනු ලබයි. එහි පරිවේණාධිපති වශයෙන් කටයුතු කරනු ලබන්නේ බස්නාහිර පළාත සහ වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රපති මලේගොඩ නන්ද නාහිමිපාණන් වහන්සේය. උප පරිවේනාධිපති ලෙසින් රාජකීය පණ්ඩිත ශාස්ත්‍රාචාර්ය උනාවටුණේ වංශානන්ද හිමියෝ කටයුතු කරති. ගිහ, පැවිදි සිසුන් සියයකට ආසන්න පිරිසක් ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන මෙම පිරිවෙන බේරුවල මැතිවරණ කොට්ඨාසය තුළ තිබෙන ඉහළම මට්ටමේ පිරිවෙනකි.

කළුතර තොටමුණ උතුර ශාසනාරක්‍ෂක බල ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයන්හි පවත්වාගෙන යනු ලබන දහම් පාසල් අතර විශේෂිත ලෙස සැලකිය හැකි දහම් පාසලක් මේ විහාරස්ථානයෙහි පවත්වාගෙන යනු ලැබේ. එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 500ක් පමණ වේ. ඇදුරු මඬුල්ල 17 දෙනෙකි.


මලේගොඩ නන්ද නා හිමි, උනාවටුණේ වංශානන්ද හිමි ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය

පුෂ්පාරාම විහාරස්ථානයෙන් සැලසෙන,බෞද්ධ අධ්‍යාපනික සේවාවට අමතරව, සිදු කෙරෙන සමාජ සේවා කටයුතුද රාශියකි. එහි ප්‍රධාන තැන ගනු ලබන්නේ අනාථ දරුවන් රැක බලා ගැනීමට බිහිකොට ඇති පයාගල පඹේ ළමා නිවාසය වේ. මනා අධීක්‍ෂණයක් යටතේ 1960 දශකයේ සිට පවත්වාගෙන එනු ලබන ඉහත ළමා නිවාසයෙන් සැලසෙන සේවාව අපරිමිත ය.

පුෂ්පාරාම විහාරස්ථානයෙහි නුවර යුගයට අයත් සේ සැලකෙන විචිත්‍ර බිතුසිතුවම් සහ බුද්ධ ප්‍රතිමාද දැක ගත හැකිය. කවරෙකුගේ වුව ද සිත් සතන් පැහැදෙන හා සන්සුන් කෙරෙන ජීව ගුණයක් මේ බිතුසිතුවම් හා ප්‍රතිමාවල ඇත. මෙම බිතුසිතුවම් සහ ප්‍රතිමා ඇතුළු විහාරාංග සංරක්‍ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවධානය යොමු කරන්නේ නම් ඉතා මැනැවි. එසේම පැරැණි ශ්‍රී විෂ්ණු දේවාලයට අයත් කෞතුක වස්තූ®න් ද සුරැකීමට අවැසි කටයුතු මීට අදාළව සිදුවෙතොත් ප්‍රදේශවාසීන් එය මහත් අගය කොට සලකනු ඇත.