Print this Article


ශ්‍රී අභිනවාරාම පුරාණ විහාරය

ශ්‍රී අභිනවාරාම පුරාණ විහාරය

දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ගොඩ කුඩාගොඩගම ගාලුපාර අභියස පිහිටා ඇති පුරාණ ශ්‍රී අභිනවාරාම පුරාණ විහාරස්ථානය (වෙලේ පන්සල) ශත වර්ෂයකට වඩා පැරණිය.

ප්‍රදේශයටම ඥාන ප්‍රදීපයක් බඳු වූ සුපේෂල ශික්‍ෂාකාමී කොස්ගොඩ ඤාණධීර නාහිමි මෙහි ප්‍රථම විහාරාධිපති ධුරය ඉසිලූහ.

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙම භූමියේ රෝපණය කොට කුඩා බුදු ගෙයක් කරවා ආරාමයක් ද ඉදිකොට එය ශ්‍රී අභිනවාරාමය නමින් නම් කර ඇත. විහාරස්ථානය ඉදිකළ භූමිය වෙල් සහිත වූ නිසා මෙම විහාරස්ථානය වෙලේ පන්සල නමින් ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධය.

ප්‍රදේශවාසී දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි වූ චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් පළදා නිරාවරණය කළේ 2011 වසරේදී ය. බෝධි ප්‍රාකාරයද ප්‍රතිසංස්කරණය කොට නව නිර්මාණයකින් ඉදිකර ඇත.

අභිනවයෙන් ඉදි කරන ලද අඩි 72 ක දිගින් යුත් අට විසි බුද්ධ මන්දිරය හා නව බෝධි ප්‍රාකාරය මෙම මේ මස 29 හා 30 දිනයන්හි විවෘත වීමට නියමිතය.

වර්තමාන විහාරාධිපති ධූරය උසුලන ශාස්ත්‍රවේදී ද්විතීය අධිකරණ සංඝ නායක ඥාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි අටවිසි බුද්ධ මන්දිරය ඉදි කිරීමට කටයුතු යොදා ඇත.

29 වැනි දින මල් පෙරහර ද එදින රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයද සිදු කෙරේ. 30 වැනි දින සංඝගත දක්‍ෂිණාවක් පවත්වා අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීමට නියමිත අතර දොඩම්පහල රාහුල හිමියන්ගේ ධර්ම දේශනයක් ද පැවැත්වෙන අතර මහා සංඝරත්නය 28 නමක් විෂයෙහි චීවර පූජාවක් ද පැවැත්වේ.