Print this Article


මොළය හා මනැස

මොළය හා මනැස

මොළය හා මනැස දෙකක් නොව එකක් ලෙස දැක්වීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතකු “ ඉර හඳ යට මේ ලෝකයේ තිබෙන පරම අභිරහස නැතහොත් බුද්ධිමය ආශ්චර්ය වනුයේ සත්‍ය ලෙසම අපේ ඉස්කබල තුළ තිබෙන දුහුවිල්ලෙන් (පදාර්ථයෙන්) සැදි මිනිස් මොළයයි “ යනුවෙන් සඳහන් කරයි.

මෙහි දුහුවිල්ලෙන් සෑදුණා යැයි සදහන් කිරීම දෙවියන් වහන්සේ දුහුවිල්ලෙන් මිනිසා මැව්වාය යන කියමන හා සමානවෙයි. ඒ අනුව අවසාන වශයෙන් දෙවියන් වහන්සේගේ මැවීම ද ඔවුහු පිළිගනිති. තවදුරටත් කරුණු දක්වන ඇතැම් විද්වතකු බටහිර විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන හිපොක්‍රොටිස් විසින් අවුරුදු 2500 කට පෙර පැවසුවේ මිනිස් මනසේ හාස්කම අවබෝධ කර ගැනීමට නම් පළමුවෙන්ම මිනිස් මොළය පිළිබඳ හැදෑරියයුතු බවයි” මෙහි දී හිපොක්‍රොටිස් පවසන්නේ මනස හා මොළය එකක් ලෙස නොවේ. මොළය පිළිබඳ හැදෑරීමෙන් මනස හෝ මනසේ හාස්කම අවබෝධ කර ගැනීමට නොහැකි බව ඔහු නොදැන සිටියා වන්නට ඇත. එහෙත් බටහිර විද්‍යාවේ පියා මොළය හා මනස එකක් ලෙස පිළිගෙන නැති බව මෙම උධෘතයෙන් පැහැදිලි වෙයි.

ඇතැම් විද්වතකු පවසන්නේ අප ජීවත් වන මුළු විශ්වය පිළිබඳව තොරතුරු, දැනුම ලබා ගෙන අවබෝධයක් ඇතිකරවනු ලබන්නේ මොළයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන බවයි. ඔහු අප ලබන සතුට, දුක, වෛරය, ඊර්ෂ්‍යාව වැනි සියලු හැඟීම මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව හා භාෂාමය කුසලතා ද ඇතිවන්නේ මොළයේ හාස්කම නිසා බව අවධාරණය කරයි. එහෙත් ඒ සියල්ල මනසේම ක්‍රියාකාරිත්වයක් බව බුදුදහමට අනුව පැවසිය හැකිය. තවදුරටත් ඔහු අවධාරණය කරන්නේ විඤ්ඤාණය ජනිත වන්නේ ද අපේ මොළයේ මහිමයෙන් බවයි. මේ කියමන් සියල්ලම නවීන විද්‍යාවට අනුව සාක්‍ෂි සහිතව ඔප්පු කළ හැකි වූ බව ද විද්වතකු පවසයි. මේ පිළිබඳව ඔහු තවදුරටත් මෙසේ පවසයි. ඒ මතවාදය සම්පිණ්ඩනය කර කියතොත් ඒ කාලයේ සිටි බොහෝ දාර්ශනිකයන් පැවසුවේ මනස යනුවෙන් මොළයට පරිභාහිර වූ ද්‍රව්‍යමය නොවූ මනසක් හෙවත් ආත්මයක් මිනිස් සිරුරේ අන්තර්ගත වන බවයි “ යනුවෙනි. මෙහිදී පෙර අපර දෙදිග චින්තකයන් හා දාර්ශනිකයන් පිළිගත් දෙයක් ලෙස මෙම මතය ඔහු ඉදිරිපත් කර ඇත. එවැනි මත ඉදරිපත් කළ දාර්ශනිකයන් නොසිටියා නොවේ. එහෙත් විශ්වය නුවණින් විනිවිද දුටු ගෞතම බුදුන් වහන්සේ මනස ගැන දේශනා කර ඇතත් එය ආත්මයක් බව දේශනා කළේ නැත.මොළයට බරිබාහිරව පවතින මනසෙහි ස්වභාවය උන්වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළහ.භෞතිකවාදි වූ ඇතැම් විද්වතකු බුදුදහම ගැන ද කතා කරතත් බටහිර විද්‍යාවට අනුව බුදුදහම විග්‍රහ කරනු විනා බුදුදහමෙහි එන ගැඹුරු තැන් අවබෝධ කරගෙන ඔහු එම විග්‍රහයන් නොකරන බව පැහැදිලි කරුණකි.

එම විද්වතාගේ තවත් ප්‍රකාශයක් මෙසේය “ ඒ මනස කාර්යයන් පහක් ඉටු කරන බව බටහිර දාර්ශනිකයෝ දැඩිව විශ්වාස කළහ. ඒ කාර්යයන් පහ මෙසේය.

1. සිතුවිලි ජනිත කිරීම thinking
2. හැගීම් ඇති කිරීම Feeling
3. ස්මරණය හෙවත් මතක තබාගැනීම remembering
4. සංවේද ඉන්ද්‍රියන් මගින් අවට ලෝකය ග්‍රහණය කර ගැනීම හෙවත් සඤ්ඤාණය Perceiving
5. යමක් සිතා මතා කිරීම හෝ නොකිරීම willing

මනස විසින් ඉටු කරනු ලබන මේ ක්‍රියාවලි පහෙන් හතරක් මොළයේ කාර්යයන් බව සැකයෙන් තොරව ඔප්පු වී තිබෙන බව ද ඔහු පවසයි. එහෙත් බුදු දහමට අනුව නම් මේවා මොළයේ කාර්යයන් නොව මනසේ කාර්යයන්ය. ඇතැම් විද්වතකු වැනි බටහිර විද්‍යාව දේවත්වයෙන් සලකන උගතුන් කොපමණ උත්සාහ කළත් මොළය හා මනස එකක් ලෙස හෝ සිතිවිලි ජනිත කිරීම වැනි ක්‍රියාවලි මොළයේ ක්‍රියාවන් ලෙස හෝ ඔප්පු කළ නොහැක.

ඔහු ඉංගී‍්‍රසි බසින් දක්වන පාඨයක් සිංහල බසින් වැරදි ලෙස පරිවර්තනය කර ඇත. “ The mind is a set of operations carried out by the brain මෙය සිංහලෙන් දක්වා ඇත්තේ “ මනස යනු මනසේ සිදුවන ක්‍රියාවලි සමුදාය බවයි “ යනුවෙනි. එහෙත් එය සිංහලෙන් කිව යුත්තේ මනස යනු මොළයේ ක්‍රියාවලි සමුදායක් යනුවෙනි. මෙසේ ඉංගී‍්‍රසි බසින් කියන දේ නිවැරදි සිංහලෙන් කීමට හෝ හේ සමත් වී නැත.

බුදුරජාණන් වහන්සේ මොළය ගැන සදහන් කරන්නෙ “ මත්ථලුංගං ” යනුවෙනි. මනස හැදින්වීමට ‘චිත්ත විඤ්ඤාණය’ වැනි වචන භාවිතා කර ඇත. “ චිත්තේන නීයතිලෝකෝ “ යනුවෙන් උන්වහන්සේ ලෝකය මෙහෙය වනු ලබන්නේ සිතින් බව පැවසූහ. “ දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයං” යනුවෙන් සිත දුර ගමන් යන සිරුරක් නැති හුදකලාව හැසිරෙන ගුහාවෙහි හෙවත් ශරීරය කූ®ඩුව තුළ රැදෙන ස්වභාවයක් බව දක්වා තිබේ. එම සිතද එක දිගට පවතින්නක් නොව හේතු ප්‍රත්‍ය න්‍යාය ධර්මය අනුව ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් අනිත්‍යතා ලක්ෂණය මත ක්‍රියාත්මක වන්නක් බව දහමට අනුව කිය හැකිය. මනස හා මනසේ ක්‍රියාවලිය මෙසේ ඉතා පැහැදිලිව බුදු දහමෙහි සඳහන් වෙද්දි එය පිළිනොගෙන හෝ ඒ පිළිබඳව අවබෝධයක් නොමැතිව බුදු දහම ගැනද කතා කරන ඇතැම් විද්වතකු මොළය හා මනස පිළිබඳව බටහිර විද්‍යාව ඔස්සේ යමින් විග්‍රහ කිරීමට යාම නිවැරදි දෙයක් නොවන බව අවධාරණය කරමි.

ඔහුගේ තවත් අදහසක් නම් මරණය යනු මොළයේ මරණය බවයි.බටහිර විද්‍යාත්මකව යන්ත්‍ර සූත්‍ර වලට හසු වෙන පරිදි ඔහු එසේ පවසනවා විය හැකිය. එහෙත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරති. “අචිරං වතයං කායෝ පඨවිං අධිසෙස්සති ඡුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරත්ථංව කලිංගරං “ මේ සිරුර නොබෝ කලකින් මනස විසින් බැහැර කරනු ලැබුවේ හෙවත් මනස ඉවත් වූයේ වැඩකට නැති සොහොන් පෙනෙල්ලක් මෙන් මහ පොළොව මත ඇද වැටෙයි.යන දේශනාවෙන් පැවසෙන පරිදි අප වටහා ගත යුත්තේ මරණය යනු සිරුර මනස විසින් බැහැර කිරීමෙන් හෝ සිරුරෙන් මනස බැහැර වීමෙන් මරණය සිදු වන බවයි. එසේ වුව ද සිරුරෙන් සිරුරට හෝ තැනකින් තැනකට ගමන් කරන දෙයක් ලෙස මනස වටහා ගත යුතු නැත.

කලින් සඳහන් කළ පරිදි මනස ද හේතුප්‍රත්‍ය න්‍යාය ධර්මයට අනුව අනිත්‍යතාදර්ශනය මත ක්‍රියාත්මක වන්නක් බව අප හොඳීන් වටහා ගත යුතුය.

බුදු දහම ගැන නොදන්නා හෝ ඒ ගැන කතා නොකරන පඤ්චේන්ද්‍රියන්ට ප්‍රත්‍යක්‍ෂ වන පර්යේෂණ මගින් කරුණු වටහා ගැනීමට උත්සාහ දරන බටහිර විද්‍යාඥයන් මනස හා මොළය එකක් ලෙස වටහා දීම (එම විග්‍රහය වැරදි වුව ද) ඔවුන්ගේ නොදැනුම මත බැසගත් නිගමනයක් බව කිව හැකිය.

එහෙත් බුදුදහම ගැන ද කතා කරමින් මනස හා මොළය හා එකක් ලෙස හුවා දැක්වීමට උත්සාහ දරන ඇතැම් විද්වතකුගේ විග්‍රහයන් අපි තදින්ම හෙලා දකිමු.

මනස හා මොළය එකක් නොවන බවත් මරණය යනු මොළයේ මරණය නොව සිරුරින් මනස බැහැර වීම බවත් අවධාරණය කරමු. එම බැහැර වීමද තිබුණු මනස තවත් තැනකට යාමක් නොව හේතුප්‍රත්‍ය වශයෙන් බැහැර වීමක් බව වටහා ගත යුතුය.

බටහිර විද්‍යාව මිනිසාගේ පහසුව තකා යම් යම් දේ නිර්මාණය කළ බව සැබෑවකි. එසේම සිරුරට ඇති වන ලෙඩ රෝග මර්දනය කිරීම සඳහා ඔවුන් ප්‍රතිකාර සොයා ගෙන ඇත. ශල්‍යකර්ම වැනි දේ බටහිර විද්‍යාව බිහිවන්නට පෙර ද පැවැති බව ඉතිහාසය දන්නෝ දනිති. ඒ නිසා බටහිර විද්‍යාවෙන් සිදු කළ අමුතු වික්‍රමයක් නොමැත. ඔවුන් කරන භෞතික විද්‍යාත්මක පර්යේෂණ මගින් කිසිදා මනස හදුනා ගැනීමට හෝ මනස පිළිබඳව විග්‍රහ කිරීමටද ඔවුන්ට නොහැකි වනු ඇත.

මනස හා මොළය එකක් ලෙස හැදින්විය හැක්කේ “මොලේ අවුල් වූ අයට” පමණි. නැතහොත් බටහිර විද්‍යාව දේවත්වයෙන් අදහන අයට පමණි.