Print this Article


ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013 බෞද්ධ සමාජ දර්ශනය

ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013

බෞද්ධ සමාජ දර්ශනය

2013 වසරේ පැවැත්වීමට නියමිත දහම් පාසල් ධර්මාචාර්ය විභාග විෂය නිර්දේශයට අදාළව ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව සහ පිළිතුරු පත්‍රයේ හත්වැන්න අද පළ වේ.

1. බුද්ධ කාලීනව පැවැති විවිධ වෘත්තීන් හඳුන්වා දෙන්න

බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව මිනිසාට මූලික අවශ්‍යතා සමූහයක් වේ. එනම් අහාරපාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන හා බෙහෙත් හේත් ය.මෙම මූලික අවශ්‍යතා සම්පූර්ණ වූ පසු එයින් ද ආස්වාදයක් ලැබිය හැකිය. බුදුදහමට අනුව පුද්ගලයෙකුට වෘත්තියක් හෝ ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී ඒ සඳහා කළ හැකි වෘත්තීන් වශයෙන් කෘෂිකර්මාන්තය (කසී) වාණිජ කටයුතු (වනිජ්ජ) පශුරක්ෂණය (ගෝරක්ඛ) රජයේ සේවය (රාජ පෝරිස) ශිල්ප කර්මාන්තය (සිප්පඤ්ඤතර) හමුදා සේවය (ඉස්සත්ථ) යන මේවායින් කවරක් වුවද අභිරුචිය පරිදි තෝරා ගත හැකිය.මෙම වෘත්තීන් අතරින් වඩාත් ජනපි‍්‍රය වන්නට ඇත්තේ කෘෂිකර්මය පශුරක්‍ෂණය හා වෙළෙඳාමයි. වෙළෙඳාම පහසුවෙන් පොහොසත් විය හැකි මඟක් මෙන්ම පහසුවෙන් වැරැදි මඟට වැටෙන්නටද ඉඩකඩ වැඩි වෘත්තියක් හෙයින් එහිලා ඇතැම් වෙළෙඳාම් හා වාණිජ්‍ය උපක්‍රම අනර්ථකාර බව පැහැදිලි කරන්නන්ටද බුදුරදුන්ට සිදු විය. සතුන් හා මිනිසුන් වෙළෙදාම (සත්ත්ව වණිජ්ජ) අවි ආයුධ වෙළෙදාම (සත්ථ වණිජ්ජ) විෂ වෙළෙඳාම (විෂ වණිජ්ජ),මස් වෙළෙඳාම (මංස වණිජ්ජ) මත්ද්‍රව්‍ය වෙළෙඳාම (මජ්ජ වණිජ්ජ) මේවාගෙන් වැළකී යහපත් වෙළෙඳාමක නිරත වුවද කිරුම් මිණිම් ආදියෙන් වංචනික කටයුතු කෙරෙහි නැඹුරු වන්නට ඇති ඉඩකඩද වැඩිය. කූට වෙළෙන්දෝ කිරුම් මිණුම් වලදී විවිධ වංචාවන් කරති. තුලා කූට හෙවත් තරාදිය උපකාර කරගනිමින් විවිධ ක්‍රම වලින් වංචා කිරීම, කංස කූට හෙවත් බාල කර විකිණීම එනම් බාල දේ උසස් දේ ලෙස විකිණීම, මාන කූට මැනීමේදී කරන විවිධ වංචනික ක්‍රියා තුළින් අයුතු ලාභ ලබයි. පශූපාලනය සම්බන්ධයෙන් පැවතිය යුතු වැදගත් කරුණක් වේ. එනම් සතුන් ඇති කළ යුත්තේ මස් පිණිස නොවන බවයි.

ගවයා මිනිසාගේ පරම මිත්‍රයා බවද ආහාර, බලය, වර්ණය හා සැප ලබාදෙන සත්වයෙකු බවද දක්වන බුදු දහම පශු ඝාතනය හෙළාදකිනු ලැබේ. ආශාව බඩගින්න හා වයස්ගත වීම පමණක් රෝග වශයෙන් උරුම කරගෙන සිටි මිනිසුන් පශූ ඝාතනය ආරම්භ කළ පසු රෝග 98 කට මුහුණ පෑ බව සඳහන් වේ.

මේ කවර රැකියාවක නිරත වුවත් සාර්ථක ආර්ථික ජීවිතයක් ගොඩනඟා ගැනීම සඳහා අදාළ කර ගත යුතු උපදේශ රැසක් බුදුරජාණන් වහන්සේ ව්‍යග්ඝපජ්ජ සූත්‍ර දේශනාවේ උට්ඨාන සම්පදා, ආරක්ඛසම්පදා, කල්‍යාණ මිත්තකා, සමජීවකතා යනුවෙන් දක්වා තිබේ. ආර්ථිකයක් ගොඩනගාගන්නා පුද්ගලයා අලස නොවී ධෛර්යයෙන්, වීර්යයෙන් කටයුතු කළ යුතුය. කුසීතකම ඉතාමත් අනර්ථකාරී කරුණක් බව දක්වා ඇත. ශ්‍රමය යොදවා උත්සාහය තුළින් ධාර්මික වෘත්තියක නිරත විය යුතු බව ආර්ථිකය සම්බන්ධයෙන් බුදු දහමේ මූලික ඉගැන්වීම වේ.

2. පුද්ගලයෙකුගේ ආර්ථිකයක් විනාශ විය හැකි අයුරු බුදු දහමේ පෙන්වා දී ඇත්තේ කෙසේද?

ආර්ථිකයක් ගොඩනඟා ගන්නා අයුරුත් බුදුරජාණන්වහන්සේ එම ආර්ථිකය පරිහරණය කරන ආකාරයත් ඒ වගේම එම ආර්ථිකය විනාශ වී යන ආකාරය පිළිබඳවත් ඉතා හොඳින් දක්වා තිබේ. ආර්ථිකයක් උපයා ගත් තැනැත්තා ආර්ථික සම්පන්න ආකාරයට ඒවා පරිහරණය කළ යුතුය. නාස්තිය මෙන්ම අපරහරණයද නිරර්ථක අන්තවාදී ක්‍රියා බව උන් වහන්සේ පෙන්වා දෙන්නේ “උදුම්බරකාදික” හා “අජද්ධුමාරිත”යන සංකල්පය මඟිනි. උදුම්බරකාදික නම් දිවුල් කඩා ගන්නට ගොස් ගසේ අතුරපතර බිඳ දැමීම යි. එසේ කළ විට නැවත ඵලදාවක් නොලැබේ.

උපයා ගත් ධන සම්පත් විනාශකර ගැනීම එබඳු අනුවණකමකි. අජද්ධුමාරිත නම් රැස්කර තබාගෙන නොකා නොබී මිය යාමයි.මෙම අණුවන අන්ත දෙක මගහැර අරපිරිමැස්මෙන් හා නුවණින් ධනය පරිහරණය කළ යුතුය. මිනිසුන්ට සොබාදහමින් ලැබී ඇති සම්පත් සීමිත බව නිතර මෙනෙහි කරනා ජනයා ඒ ගැන නොතකමින් සම්පත් විනාශ කරගන්නේ උදුම්බරකාදිකයන් මෙන්ය.

වර්තමාන මිනිසුන් මුහුණ පා ඇති ස්වභාවික සම්පත් විනාශය හා පරිසර ගැටලු හමුවේ මෙම බෞද්ධ විචාරය කාලීන හා අතිශය අදාළ බව අවධාරණය කළ යුතුවේ. ආනන්ද හිමිපාණන්ට එකවර සිවුරු 50 ක පූජාවක් වශයෙන් ලැබුණු අවස්ථාවේදී ඒවා පරිහරණය කරන ආකාරය පිළිබඳව බුදුරදුන් පැහැදිලි කර දී ඇති අන්දම ආර්ථික පරිහරණය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය.

ආර්ථිකයක් විනාශ කරන පරිහානි මුඛ 6ක් අපාය මුඛ යනුවෙන් සිඟාලෝවාද සූත්‍රයේ දක්වා තිබේ. එනම් සුරාපානය හා මත්ද්‍රව්‍ය භාවිතය,අවේලාවෙහි වීදි සංචාරය, නිතර නිතර නැටුම් ගැයුම් වැයුම් බැලීමට යාම සුදුසු පාප මිත්‍රසේවනය හා අලසකම මේවා ධන විනාශයට හේතුවන බවද පාප මිත්‍රයනගේ ඇසුර හා මන්දෝත්සාහී බව ස්ත්‍රි ධූර්ථ, සුරා ධූර්ථ වැනි පරාභව සූත්‍රයෙහි පෙන්නුම් කොට ඇති පිරිහීමේ දොරටු ආර්ථිකයක් විනාශයට හේතුවන කරුණුය.

3. අසන්විධිත පරිභෝජනයකට හුරුවූ පස් දෙනෙකු බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. ඔවුන් නම් කරන්න

සෑම සම්පතක්ම (ආර්ථිකයක්ම) තුලනාත්මකව පවත්වාගෙන යාම ඉතා වැදගත්ය. ව්‍යග්ඝපජ්ජ සූත්‍ර දේශනාවේ “ සම ජීවකතා” යනුවෙන් එය දක්වා තිබේ. ඉන් අදහස් කරන්නේ හුදෙක් අයවැය සමසමව තබා ගැනීමට නොවේ.අය වැය සම කරගත් පමණින් සාර්ථක නොවන අතර අය සියල්ලම වැය කිරීමද අනුවණකමකි. වැඩිකම් සැපතට හුරුවීමෙන් කායික හා මානසික පිරිහීමටද පත්වේ. අසංවිධිත පරිභෝජනයකට නැඹුරු වූ 5 දෙනෙකු බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. එම පස්දෙනා නම්,

1. ආහාර භක්තක –ආහාර අධික ලෙසගත් පසු නැගිටීමට අපහසු වී අතින් අල්ලන්නට යැයි කීම

2. අල සාටක –ආහාර අනුභවයෙන් පසු වස්ත්‍රය ගළවා දැමීමට තරම් බඩ පුරවා ගන්නා

3. තත්‍ර වට්ටක – එතැනම වැටී සිටීමට තරම් ආහාර රාශියක් අනුභව කරන්නා

4. කාක මාසක –කපුටන්ට කටින්ගත හැකි මට්ටමට උගුර දක්වාම අනුභව කරන අය

5. භුත්ත චම්තක – කෑ දේ වමනය කරන තරමට බඩ පුරවා ගන්නා අය

මෙසේ අධික පරිභෝජනයට හුරු නොවී අන්‍යයන් සමඟ බෙදා හදාගෙන පරිහරණය කිරීමට බුදුදහම උපදෙස් දෙනු ලැබේ.


1. බෞද්ධ සමාජ දර්ශනයේදී සමාජය දිශා 6 කට බෙදා දක්වා තිබේ. එම දිශාවන් සහ එකී දිශාවන් නියෝජනය කරන පිරිස ලියා දක්වන්න.

සිඟාලෝවාද සූත්‍ර දේශනාවෙහි පෙන්වාදෙනු ලබන දිශාවන් හා එම දිශාවන් නියෝජනය කරන පුද්ගලයන් මෙසේය.

පුබ්බ දිශාව –මව්පියන් – දූ දරුවන්
දකුණු දිශාව – ගුරුවරු – ශිෂ්‍යයින්
බටහිර දිශාව – ස්වාමියා - බිරිඳ
උතුරු දිශාව – මිතුරන් – හිතමිතුරන්
යට දිශාව - සේව්‍යයන්–සේවකයන්
උඩ දිශාව – පැවිද්දන් – ගිහියන්

යනුවෙන් ඒ ඒ දිශාවන් නියෝජනය කරන පුද්ගලයන් හා ඔවුන්ට පැවරුණ යුතුකම හා වගකීම් බෞද්ධ සමාජ දර්ශනයේදි කරුණු 61 ක් මගින් ඉතා පැහැදිලිව දක්වා තිබේ.

2. බුද්ධකාලීන භාරතයේ පැවැති ප්‍රධානතම දේශපාලන ක්‍රම දෙක හඳුන්වා දෙන්න.

බුද්ධ කාලීන භාරතයේ ප්‍රධාන දේශපාලන රටා දෙකක් තිබුණි. එනම් රාජාණ්ඩු හා ගණතන්ත්‍ර ආණ්ඩුය. බුද්ධකාලය තුළ පැවැති රාජ්‍ය දහසයක් ගැන පාලි පොත් වල මෙන්ම ජෛන පොත් වලද දැක්වේ.

මේ අතරින් රාජාණ්ඩු ගංඟා, යමුනා මිටියාවතට නැඹුරුව පිහිටා තිබීම, විශේෂ ලක්‍ෂණයකි. සොළොස් මහ ජනපද ලෙස පාලි පොත් වල දැක්වෙන්නේ අංග , මගධ, කාසි,කෝසල, වජ්ජි, මල්ල ,චේති, වත්ස, කුරු, පංචාල,මච්ච, සූරසේන,අස්සක, අවන්ති, ඝන්දාර, කහන්බෝධී යනු එම ජනපද දහසයයි.මේවා අතුරින් මගධ,කෝසල, වත්ස හා අවන්ති යන හතර වඩාත් ප්‍රබල හා වැදගත් රාජ්‍ය විය.

බුද්ධ කාලීන සියලුම රාජ්‍ය අතර පැවැතුනේ බලය සඳහා වූ අරගලයකි. රාජ්‍ය අතර ඇති බල අරගලය නිසා දේශපාලන සදාචාරයෙහි පරිහානිය පුද්ගල සදාචාර පරිහානියද හේතුවූ බව පෙනේ. රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා මගධයේ අජාසත්ත සිය පියා වධ දී මැරීය. කෝසලයේ විඩූඪභ ද මෙසේම තම පියා ඝාතනය කළේය. එමෙන්ම අජාසත් තම මාමා වූ පසේනදී කොසොල් රජුට එරෙහිව සටනක් කළහ.

ඝණතන්ත්‍ර රාජ්‍යවල පාලන පිළිවෙත රාජාණ්ඩුවල පාලන පිළිවෙතට බෙහෙවින් වෙනස් වීය. සාමූහික පාලනයක් ගෙන ගිය ඔවුන් පාලන කටයුතු සාකච්ඡා කිරීම සඳහා සන්තාගාරවල රැස්වූහ. ඡන්ද බලයෙන් කටයුතු කිරීමට වඩා සාමූහික සම්මුතියෙන් ක්‍රියාකිරීම ඔවුනට පි‍්‍රය වූ අතර වැදගත් තීරණ ගැනීමේදී විශේෂ කමිටුවල තීරණ ලබා ගැනීමේ සිරිතද විය.රාජ්‍ය ප්‍රධානත්වය වැඩිහිටි කිහිපදෙනෙකුට අයත්ව පැවැති අතර ඔවුන් “ගණරාජා” නමින් හඳුන්වා තිබේ. මේ අය වරින් වර පත්කර ගත් බවද සඳහන් වේ. ඊට අතිරේකව උපරාජ, සේනාපති භාණ්ඩාගාරිත වැනි පදවිය විය.

රාජාණ්ඩුවල සිරිත වූයේ පිය පුතු පරපුරට බලය උරුම කරගන්නා රාජවංශයක් විසින් බලය හිමි කරගෙන පුද්ගල ප්‍රමුඛ රටාවකින් රට පාලනය කිරීමය.රජෙකු සාමාන්‍ය පරිදි මිය ගිය විට පිරිස රැස්ව රජෙකු තෝරා පත්කර ගනිති. රජෙක් රට පාලනය කරන්නේ ‘මන්ත්‍රී පර්ෂද” නම් වූ උපදේශක සභාවක ආධාරයෙනි. රාජාඥාව ඉතා ප්‍රබල වූ අතර එය උල්ලංඝනය කිරීම දඬුවම් ලැබීමට හේතුවේ.

මේ ආකාරයට බුද්ධ කාලීනව පැවති දේශපාලන ක්‍රම දෙක හඳුන්වා දිය හැකිය.