Print this Article


විමාන වත්ථු කථා පුවත් 14

දූතිය සූනිසා විමාන වත්ථුව

කොමු පිඩු පිදීමේ පිණෙන් දිව්‍ය සම්පත් ලැබූ දෙවඟන

සැවැත් නුවර විසූ එක්තරා සැදහැති කාන්තාවක් රත්නත්‍රය කෙරෙහි පැහදුනු සිතින් යුක්තව තම ශක්ති ප්‍රමාණයෙන් පින්දහම් කරමින් ධර්මානුකූලව ජීවත්වන්නීය. එකල්හි අප බුදුරජාණන් වහන්සේ ද සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන බැවින්,සැවැත්නුවර නිරන්තරයෙන් ම රහතන්වහන්සේලාගේ සංචාරයෙන් ද යුක්තව පැවතිණ.

එක් දිනක පෙරවරු කාලයේ දී රහතන් වහන්සේ නමක් ගෙපිළිවෙලින් පිඬු සිඟා ඇවිදින්නේ එකී උපාසිකාවගේ නිවස ඉදිරියට පැමිණියහ. උන්වහන්සේගේ උපශාන්ත ස්වරූපයත්,පි‍්‍රය මනාප ඉරියව්වත් දැකීමෙන් මහත් පී‍්‍රතියට පත් ඕතොමෝ අනාරාධනයෙන් ම තමන්ට පුණ්‍ය ක්‍ෂේත්‍රයක් පහළවිණැයි උදම්ව පිණ්ඩපාතය සඳහා යමක් පූජා කිරීමට අදහස් කළාය.

ඒ වන විට නිවස සන්තකයෙහි තිබුණේ ඇගේ උදය ආහාරය සඳහා සකස් කරන ලද කොමු පිට්ටුවක් පමණි.එය උන්වහන්සේට පිදීමට තරම් ප්‍රණීත ආහාරයක් නො වූවද අවස්ථාවේ හැටියට පිදිය හැකි අන් කිසිවක් නොවූ නිසා මහත් වූ ශ්‍රද්ධාවෙන් ඒ කොමු පිට්ටුව උන්වහන්සේගේ පාත්‍රයට පිළිගැන්වූවාය.

ලද දෙයින් සතුටුවන ආර්ය ගුණයෙන් පිරි උන්වහන්සේ උපාසිකාවට පුණ්‍යානුමෝදනා කොට සුපුරුදු සන්සුන් ඉරියව්වෙන් ම පෙරළා වැඩියහ. පසු කලකදී මිය පරලොව ගිය ඒ උපාසිකා තොමෝ මහත් වූ දිව්‍ය සම්පත් සහිතව තව්තිසා දෙව්ලොව රූමත් දෙවඟනකව උපන්නීය. ලත් සතුටින් මහත් වූ උද්දාමයට පත් ව දෙව්සැපත් විඳිමින් සිටිය දී ඇයට මුගලන් මහරහතන් වහන්සේ දකින්නට ලැබිණ. ඒ උන්වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි පැමිණි එක්තරා අවස්ථාවකදී ය.

මුගලන් මහරහතන් වහන්සේ සිරිත් පරිදි මහත් වූ දිව්‍ය සම්පත්තියක් ලැබීමට මිනිස්ලොව දී කළ කුසල කර්මය කුමක්දැයි ඇගෙන් විමසූ විට, මිනිස් දුවකව සැවැත්නුවර සිටියදී තම නිවෙසට පැමිණි රහතන් වහන්සේ නමකට තම ආහාරය සඳහා සකස් කර තිබූ කොමුපිට්ටුවක් පිදූ අයුරුත්,ඒ පිනෙන් දෙව්ලොව සැපත් ලත් අයුරුත් නිහතමානීව පැවසුවාය.

ඒ ඇසූ මුගලන් මහ තෙරුන් ඇයගේ චිත්ත ප්‍රසාදය උදෙසා එහිදී දහම්දෙසූ අතර මිනිස්ලොව පෙරළා පැමිණීමෙන් පසු ඒ ප්‍රවෘත්තිය බුදුරජාණන්වහන්සේට ද දන්වා සිටියේය. ඒ ප්‍රවෘත්තිය නිමිතිකර ගනිමින් බුදුරජාණන් වහන්සේ ද බොහෝ දෙනාගේ හිත සුව පිණිස දහම් දෙසූ සේක. ඒ දේශනය ශ්‍රාවකයින්ට බොහෝ ඵලදායි වූයේය.
 


විමාන වත්ථු කථා පුවත් 13 තම ආහාර වේලෙන් කොටසක් දන් දී දිව්‍ය සම්පත් ලැබූ දෙවඟන