UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළුතර බෝධි භාරකාර මණ්ඩලයෙන් ගාල්ල කළුතර දෙදිසාවේ ඉගෙනුම ලබන හිමිවරුන්ට ශිෂ්‍යාධාර

කළුතර බෝධි භාරකාර මණ්ඩලයෙන් ගාල්ල කළුතර දෙදිසාවේ ඉගෙනුම ලබන හිමිවරුන්ට ශිෂ්‍යාධාර

කළුතර වත්මන් බෝධි මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති පරිශ්‍රය තුළ එදා ගංගාරාම නමින් පූජ්‍ය මධ්‍යස්ථානයක් පැවැති බව ජනවහරේ පවතී.

පසු කල ඉංගී‍්‍රසි ජාතීන්ට යටත් විජිතයක් ලෙස පැවැති යුගයේ අග භාගයේදී බ්‍රෝඩ්හාස්ට් නමැති රජයේ ඒජන්තවරයකු යටතේ පැවතිණි.

එම ඒජන්ත (දිසාපති) වරයාගේ නවාතැන ගොඩනඟා තිබුණේ් උඩමළුව යාබද පැවති දෙමහල් ගොඩනැඟිල්ලකය.

1970 ගණන්වල පමණ කළුතර දිසාපති ලෙස පැමිණී ලීල් ගුණසේකර මහතා වැඩ බාරගනු ලැබූ එම අවධියේ යථෝක්ත සඳහන් කරනු ලැබූ ගොඩනැඟිලි සියල්ල නොනැසී පැවතිණ.

ඉන්පසු ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ගේ අවශ්‍යතාව මත එම ගොඩනැඟිලි සියල්ල දිසාපති ලීල් ගුණසේකර මහතාගේ ආධාර හා උපදෙස් මත සොයිසා මහතා විසින් රජයට කරුණු ඉදිරිපත් කරනු ලැබ බෝධින් වහන්සේ පිහිටි මුළු මහත් බෝධි පරිශ්‍රයම පූජනීය ස්ථානයක් ලෙස ගොඩනැඟීමේ අවසරය ලබාගත්තේය.

ඒ කළුතර බෝධියේ ඓතිහාසික තොරතුරු බිඳකි. සිරිල් ද සොයිසා මහතා 1951 දීම ප්‍රථම බෝධි භාරකාර මණ්ඩලය පත්කරනු ලැබිණ.

නීතිඥ සිරිල් ද සොයිසා සභාපති (නිර්මාතෘ) අගවිනිසුරු හේමා බස්නායක, නීතිඥ වින්සන්ට් ට්‍රැඩන්ට්, වී.ටී.ද සොයිසා, නීතිඥ වින්සන් ද සිල්වා, නීතිඥ ඒ ගුණතිලක, නීතිඥ හෙන්රි ආනෝල්ඩ් ද ආබෲ, නීතිඥ වින්සන් වියනෝල්ඩ් විජේමාන්න සහ ඇල්බට් අර්නස්ට් ද සිල්වා යන මහත්වරු ක්‍රියාකාරි බෝධි භාරකාර මණ්ඩලය ලෙස එදා පත්වූහ.

පසු දිනෙක කමිටුවේ ඒකමතික තීරණයක් අනුව පානදුර විසූ ආතර් වි.දියෙස් (කොස්මාමා) මැතිතුමාගේ වැඩිමහල් සහෝදරිය වූ, විල්මට් ඒ. පෙරේරා දානපතිවරයාගේ මෑණියන් වූ ජෙරමියස් දියෙස් මැතිනිය විසින් කරනු ලැබූ ධන පරිත්‍යාගයෙන් කළුතර බෝධියේ පහළ මළුවේ ආරක්ෂිත පවුර සහ මල්අසුන් සෑදු බව සඳහන්වේ.

අනතුරුව බෝධියේ ප්‍රගතිය පතා සිරිල් ද සොයිසා මැතිතුමාගේ අනුදැනුම ඇතිව පොලිස් විද්‍යාලයේ හිටපු අධ්‍යක්‍ෂ සිරිල් ඒකනායක (විශ්‍රාම යාමෙන් පසු) අමිත ගවේශ නමින් පැවිදි විය.

අනුශාසක වශයෙනුත් පේ‍්‍රමවර්ධන අල්විස්, අධිනීතිඥ ගෞරව ශාස්ත්‍රවේදි හිටපු ආදායම් කොමසාරිස් සභාපති ලෙසත් මාධ්‍යවේදී දිවාකර මොහොට්ටි ලේකම් වශයෙනුත් 1971 සිට 1981 දක්වා දශකයක කාල පරාසයක් ධර්මාදර්ශ සමාජය නමින් පොදුජන හද දිනු දහම් සේවාවක් ඉටුකරමින් බෝධි නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ බෝධි ප්‍රගති සත්කාරයට දායක විය.

එසේම වත්මන් බෝධිභාරකාර මණ්ඩලයේ සාමාජික ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා මෙම ලියුම්කරුගේ ඕනෑකමත්, උත්සාහයත් මත කළුතර දිස්ත්‍රික්කයේ දහම් පාසල්වල ප්‍රගතිය පතා එතුමාගෙන් ලැබුණ සහාය ගැන කෘතවේදි විය යුතුය.

කළුතර දිසාව පුරා ඇති දහම් පාසල් වල උනන්දුවක් ඇතිවීමට හේතු කාරණා බෝධියේ සද  ක්‍රියා පිළිවෙත බව සඳහන් කළ යුතුයි.

මෑතක සිට දහම් අධ්‍යාපනය ලබන දරුවන්ගේ දහම් අධ්‍යාපනය ඉංගී‍්‍රසියෙන් ඉගැන්වීමේ වැඩපිළිවෙළක්ද දියත් කෙරිණි. මේ නිසා සැමගේ උනන්දුව වර්ධනය වී ඇත.

සඟ පරපුරේ අනාගත අභිවෘද්ධිය පතා බෝධිභාරකාර මණ්ඩලය මෙහෙවීමෙන් 1999 සිට මේ දක්වා සාමණේර ව්‍යාපෘතියක් අරඹා ඒ මගින් කළුතර දිසාව පුරා ව්‍යාප්ත පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන්ගේ අධ්‍යාපනය කටයුතු සාර්ථක කර දීම සඳහා සාමණේර ව්‍යාපෘතිය වසරක් පාසා මේවන විට වර්ෂ 13 වැනි දිගු කාලයක් සිදු කරමින් පෙරමුණ බලා ගමනේ යෙදී ඇත.

අනතුරුව ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි හා බෝධිභාරකාර මණ්ඩලයේ වත්මන් සභාපති අජිත් ද සොයිසා මහත්වරු දෙපළගේ සාකච්ඡාවකට බඳුන්වූ කරුණට ගෝනදුවේ ගුණානන්ද හිමියන් සහ හුණුපිටියේ ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නා හිමියන් ඇතුළු සම්භාවනීය පිරිසගේ සාකච්ඡාවට බඳුන් වූ ප්‍රාචීන අධ්‍යාපනාභිවෘද්ධි ශිෂ්‍යත්ව ප්‍රදානය ගාලු දිසාව දක්වා ව්‍යාප්ත කළ යුතු බවට නිගමනය කරනු ලැබූහ.

ඒ අනුව මෙවර ගාල්ල සහ කළුතර දෙදිසාවෙන් ශිෂ්‍ය සාමණේර ස්වාමීන් වහන්සේ එකසිය අට නමක් තෝරාගනු ලැබීය.

ගාල්ල විද්‍යා සමාධි මහ පිරිවෙණ විසිතුන් නමක්ද කළුවැල්ල ශ්‍රී‍්‍ර ලංකා ධර්මදූත මහපිරිවෙණ නවනමක්ද ගාල්ල ශ්‍රී විද්‍යාරාජ මහ පිරිවෙණ පස් නමක්ද පනංගල ගංගාරාම මහ පිරිවෙණ දෙනමක්ද ගාලු දිස්ත්‍රික්කයෙන් තෝරාගත් අතර කළුතර දිස්ත්‍රික්කයෙන් වාද්දුව ප්‍රවචනෝදය පිරිවෙණ එකොළොස් නමක්ද බුලත්සිංහල ශ්‍රී‍්‍ර ඤාණාලෝක පිරිවෙණ හතර නමක්ද පයාගල සිරිනන්දන ත්‍රිපිටකධම්ම පිරිවෙණ හය නමක්ද පාන්තිය මතුගම ශ්‍රී සුමංගල විද්‍යායතන පිරිවෙණ දෙනමක්ද බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙණ අට නමක්ද හොරණ විද්‍යාරත්න විද්‍යායතන පිරිවෙණ තිස් අට නමක් ද වශයෙන් දෙදිසාවෙන් ශිෂ්‍යත්වලාභී සාමණේර හිමිවරුන් එකසිය අටනමක් තෝරා මෙවර නව මුහුණුවරකින් ප්‍රාචීන අධ්‍යාපනාභිවෘද්ධි ශිෂ්‍යයන් වශයෙන් සාමණේර ව්‍යාපෘති ශිෂ්‍යත්ව ප්‍රදානය ඉකුත් මැයි 18 වැනි දින කළුතර බෝධි ධර්මශාලා පරිශ්‍රයේදී තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අති උත්සවාකාරයෙන් සිදු කරනු ලැබිණ.

එම උත්සව සභාව ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය උඩුගම සද්ධම්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහා නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, මාදුළුවාවේ සෝභිත නා හිමි, දොඩම්පහළ චන්දසිරි මහ නාහිමි, වස්කඩුවේ මහින්දවංස නාහිමි, අකුරැටියේ නන්ද නා හිමි ඇතුළු ගිහි, පැවිදි අතිවිශාල පිරිසක් එම රැස්වීමට සහභාගි වූහ.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]