Print this Article


තෘෂ්ණාව ඇති වුණොත් භවයේ බැඳෙනවා

 තෘෂ්ණාව ඇති වුණොත් භවයේ බැඳෙනවා

ඉඳුරන් හා ගැටීම නිසා අරමුණුවලට අනුව තමා කෙරෙහි තෘෂ්ණාව ඇතිවෙනවා. මෙසේ භවයට බැඳෙනවා. කර්ම කරනවා. ඒ හේතුවෙන් ඊළඟ අත්භවේදීත් උපදිනවා. එසේ උපන් විටද අවිද්‍යාව දුරු නොකළහොත් තණ්හාව ඇති වෙනවා. එවිට කර්ම කරනවා. එහි ඵල වශයෙන් ඊළඟ ආත්මයේදී ද උපදිනවා

පසුගිය පත්‍රය හා සම්බන්ධයි

මේවා හැදි හැදී බිඳි බිඳී යන ආකාරය නුවණින් බලන්නට ඕනෑ. ඊට යෙදවිය යුත්තේ සිහියයි.

ශරීරයට ඇතිවන සොම්නස් දොම්නස් උපේක්‍ෂා වේදනාවන් ඒ ඒ වේලාවට නුවණින් සිහිය යොදවා බලා ඉන්නා විට මේවා හැදි හැදී බිඳි බිඳී නැතිවන හැටි හොඳට ප්‍රකට වෙනවා. එතකොට වේදනාව සිතේ නෑ. අනිත්‍යයි, ක්ෂණයකින් හැදි හැදී මැරි මැරී යනවා. එය දුකකි, එතැන සැපයක් නැත.

තමන්ට උපදින සිත් ගැන පරික්‍ෂා කර බැලීමේදී එක වෙලාවකට රාග සහිත සිතක්. රාගය නැති සිතක්, ද්වේශය සහිත සිතක්, ද්වේශය නැති සිතක් තවත් වෙලාවකට කුසල සිතක්, අකුසල සිතක්, ඒ විදියට හිත් හැදි හැදී බිඳි බිඳී යන අයුරු තමන්ට දැනෙන්න වෙනවා.

ඒ ඒ මොහොතේ ඒ ඒ අරමුණු අනුව සිත් හැදෙනවා. එහි ස්ථිර සිතක් නෑ. ඒ නිසා සියලුම සිත් අනිත්‍යයි. සිත් පහළවෙලා ක්‍ෂණයකින් නැතිවෙනවා. ඒනිසා එහි සැපයක් නෑ. ඒක දුකක්, නොනැසී සදාකාලික එක විදියට පවතින සිතක් කොහේවත් නෑ. ඒ නිසා ආත්මය කියල ගන්න දෙයක් නෑ. එනිසාද එයද අනාත්මයි. එළඹ සිටි සිහියෙන් යුක්තව ඉහත කී අයුරින් සිතින් බැලීම චිත්තානු පස්සනාවයි.

භාවනානුයෝගියාගේ සිත්වල ඇතිවන වේදනාවන් හැර තවත් චෛතසික ධර්ම බොහොමයක් තියෙනවා. ශෝභන චෛතසික තියෙනවා. වෙනත් චෛතසිකද තියෙනවා. ඉහළට දියුණු කළාම බෝධිපාක්‍ෂික ධර්ම තිබෙනවා. ඒ සියල්ලටම ධම්ම කියල කියනවා. ඒ අනුව සිතින්ම පරීක්‍ෂා කිරිමේදී ඒවා නිත්‍ය නෑ. ඒවාත් ක්‍ෂණිකව මැරෙනවා. ඒවායෙන් ස්ථිරව පවත්නා දෙයක් හෙවත් ආත්මයක් නෑ.

මෙසේ සිතේ ඇතිවෙන ඒ චෛතසිකයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස බැලීම ධම්මානු පස්සනාවයි. සතර අනුපස්සනා මේ විපස්සනා භාවනාවයි. ජීවිතය පිළිබඳ සියලුම තත්වයන් මෙම සතර සතිපට්ඨානයට අහුවෙනවා. ඒ අනුව අනිත්‍ය, අනාත්ම, පිළිබඳ නුවණින් බැලීම සතිපට්ඨානයයි.

සතිපට්ඨාන සිහිය යොමු කොට එළඹවා තබමින් ශරීරය ආදි තත්ත්වය කෙරෙහි නුවණින් බැලීමයි. සතිපට්ඨාන සූත්‍රයේ පූර්ව භාග විදර්ශනා කියාද කියනවා. එය පුරුදු කළාම සෝවාන් ආදී මාර්ග ඵල ලැබිය හැකියි. සියලුම විපස්සනා භාවනා ක්‍රම මෙම හතරට ඇතුළත් වේ.

ප්‍රශ්නය – මහානායක හාමුදුරුවනේ භව චක්‍රය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

පිළිතුර - ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය නොවැ. සත්ත්වයා නැවත නැවත සසර ඇවිදීමයි. ගිය ආත්මයේදී අවිද්‍යාව දුරු කළේ නෑ.අවිද්‍යාවෙන් සිටි නිසා මේ ලෝකයෙහි ඉන්න ඕනෑ යැයි කියන තෘෂ්ණාව ඇති වුණා. එහි ඵලය වශයෙන් මේ ලෝකයේදී ඇස්, කන්, නාසාදි ඉඳුරන් ඇති වුණා. ඒ ඉඳුරන් හා ගැටීම නිසා අරමුණුවලට අනුව තමා කෙරෙහි තෘෂ්ණාව ඇතිවෙනවා. මෙසේ භවයට බැඳෙනවා. කර්ම කරනවා. ඒ හේතුවෙන් ඊළඟ අත්භවේදීත් උපදිනවා. එසේ උපන්විටද අවිද්‍යාව දුරුනොකළහොත් තණ්හාව ඇතිවෙනවා. එවිට කර්ම කරනවා. එහි ඵල වශයෙන් ඊළඟ ආත්මයේදී ද උපදිනවා.

අවිද්‍යාව මුල්වීමත් සමඟ නැවත නැවත සත්ත්වයා මේ රවුම් ගමනක යෙදෙනවා.

ප්‍රශ්නය – මේ පටිච්ච සමුප්පාදය තවදුරටත් පැහැදිලි කරනවා නම්...

පිළිතුර - පෙර ආත්ම භවයත් මතු ආත්ම භවයත් මේ ආත්ම භවයත් ආත්ම භව තුනත් සම්බන්ධයි. ඇයි එසේ වදාළේ? ඉස්සර ආත්ම භාවයක් තිබුණේ නෑ කියල යම් අයකුට වැරැදි මතයක් ඇතිවෙන්න පුළුවන්. එය දුරු කිරීමට පටිච්ච සමුප්පාද දේශනාවේ මේ ආත්මයෙන් පරලොවට යන හැටි උගන්වනවා. ඒ ඇයි යම්කෙනෙකුට සිතන්න පුළුවන්.මේ ආත්මයෙන් ඉවරයි කියල. ඒ උච්ඡේදවාදයට බැසීම වැළෑක්වීමටයි.මේ විධියට ඉස්සර ආත්මයත් මේ ආත්මයත් මතු ආත්මයන් යන ආත්ම තුනක් පටිච්ච සමුප්පාදයට සම්බන්ධයි.

පෙර ආත්ම භාවයෙහි අවිද්‍යාව දුරු නොකළ බැවින් හෙවත් රහත් නොවූ බැවින් ලෝකයෙහි ඉපදීමට තිබෙන ආශාව නිසා (භව තෘෂ්ණාව) කෙනකු කර්ම කරනවා. ඒ කර්මවල ඵල වශයෙන් අවසාන මොහොතේ අන්තිමට ඉදිරිපත් වන කර්මයට අනුව මේ ආත්මයේ ප්‍රතිසන්ධිය ලබනවා. අවිජ්ජා පච්චයා සංඛාර කිව්වේ අවිද්‍යාව නිසා කර්ම කරනවා. සංඛාර පච්චයා විඤ්ඤාණං කර්ම නිසා මේ ආත්මයේදි ප්‍රතිසන්ධී සිත ඇතිවෙනවා.

කර්ම ශක්තියෙන් ඇති වූ රූප මව් කුසේ මුල්ම රූපය ප්‍රතිසන්ධියෙන් චිත්ත ස්වභාවයද ඇතිවෙනවා. විඤ්ඤාණ පච්චයා නාම රූපං කීවේ ඒකයි.

තවත් විදියකට කියනවා නම් සත්ත්වයෙක් පිළිසිඳ ගන්නවා. එය ඇස්, කන්, නාසාදි ඉන්ද්‍රියයන් ඇතිවීමෙන් දියුණු වෙනවා. ඒ බව මොනව හරි අරමුණු හැපීම් ගැටීම් ඇතිවෙනවා.සළායතන පච්චයා ඵස්සො) අරමුණක ගැටීම නිසා ඇස්, කන්, නාසාදියෙහි වේදනාව සතුට අසතුට මධ්‍යස්ථකම යන මේවායින් එකක් ඇති වෙනවා. පි‍්‍රය රූපයට සතුටත් අපි‍්‍රය රූපයට අසතුටක් ඇතිවෙනවා. මේ විධියට සිතේ අතිවෙන වේදනාව නිසා යමකට සතුට වේදනාව ඇතිවුවහොත් ඒකට තණ්හාව ඇතිවෙනවා. මධ්‍යස්ථ වේදනාව ඇති වුවත් ඒකට ආශාව ඇතිවෙනවා. අසතුට අතිවුණොත් ඒකට ආශාවක් නැ. ඒ අපි‍්‍රය දෙයින් තමා කෙරෙහි ආත්ම තෘෂ්ණාව ඇතිවෙනවා.

කෙනෙකුට මේ ජීවිතයේදි සිදුවන දේවලටත් තෘෂ්ණාව නිසා තදින් අල්ලා ගන්නවා, ඒකට උපාදානය කියනවා.තදින් අල්ලා ගන්නේ රූප, ශබ්ද,ගන්ධ ආදි මේ ලෝකයේ දේවල්,ඒ දේවලට තදින් සිත බැදුණාම ඔහුට භවයේ පැවැත්ම ඇතිවෙනවා. මේ ලෝකයෙන් අස්වීමට නොහැකි වෙනවා. ඒ නිසා ලෝකයේ ඉඳීමට කර්ම කරනවා. උපාදාන පච්චයා භවො කීවේ ඒ නිසයි. කර්ම කළාම ආපසු උපදිනවා. භව පච්චයා ජාති උපන්නාම ජාති, ජරා, මරණ සිදුවෙනවා.ආත්ම භව තුනක් පිළිබඳව පටිච්ච සමුප්පාදයේදි අවිද්‍යාදි අංග ක්‍රියා කරන හැටි දැක්වෙනවා. ඒ අවිද්‍යාව දුරු නොකොළහොත් කලින් වගේම තෘෂ්ණාව නිසා අංග ටික වැඩි කර ගන්න පටන් ගන්නවා. නැවත නැවත ඒවා දික්වීමෙන් භවයේ පැවැත්ම ඇතිවෙනවා.

ප්‍රශ්නය – පෘථග්ජන යනු කුමක්ද?

පිළිතුර - සෝවාන් තත්ත්වයට ළඟා නොවූ ලෞකික තත්ත්වයට අයත් වන අය, පෘථග්ජන වශයෙන් හඳුන්වන්න පුළුවන්.මමය,මගේය යන දෘෂ්ටිය දුරුනොකරපු අයයි.සෝවාන් වීමේදී මමය,මගේය යන දෘෂ්ටිය දුරුවෙනවා, ඊට සක්කාය දිට්ඨිය කියාද කියනවා. ආත්මයක් ඇතැයි සිතන සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් දුරු නොකරපු මූලේච්චින්න වශයෙන් දුරු නොකරපු අය තමයි පෘථග්ජන.

දෘෂ්ටිය දුරු කිරීමේ ක්‍රම තුනක් තියෙනවා. ඒ පිළිබඳ බණ ඇසීමේදි ඒගැන කියලා තිබෙන පොත පතේ ඉගැන්වීම් තේරුම් ගැනීමේදී තාවකාලිකව ඒ දෘෂ්ටිය ඉවත් වෙනවා. එය සක්කාය දිට්ඨීයේ තදංග ප්‍රහාණයයි. තාවකාලික දුරුවීමයි.

විපස්සනා භාවනාව කරන ඇත්තන්ට එනම් හැම දේකම අනිත්‍ය බව දුක් බව අනාත්ම බව නුවණින් සලකමින් නෙතින් දකින්ට වෑයම් කරන අයට නිතරම එහි යෙදෙන අයට නිතර භාවනා කිරීමෙන් ඒ දෘෂ්ටිය යටපත් වෙනවා. එය විශ්කම්භන ප්‍රහාණයයි. එමෙන්ම භාවනා වඩවපු තැනැත්තා සම්පූර්ණයෙන් ඒ දෘෂ්ටිය දුරු කිරීම තමයි සමුච්ඡේද ප්‍රහාණය.

ඒ සමුච්ඡේද ප්‍රහාණය ඇතිවන්නේ සෝවාන්වීමේදීය. සමුච්ඡේද ප්‍රහාණයෙන් සක්කාය දිට්ඨිය දුරුනොකරපු වෙනත් වචනවලින් පැහැදිලි කරන්නේ නම් සෝවාන් නොවු ලෞකික අය පෘථග්ජන යනුවෙන් හඳුන්වනවා. පෘථග්ජන අය අතරද දෙපිරිසකි.එනම් අන්ධ පෘථග්ජන හා කල්‍යාණ පෘථග්ජන වශයෙනි. කල්‍යාණ පෘතග්ජන යනු විපස්සනා භාවනාව කිරීමෙන් ජීවිත නුවණින් බලමින් මමය කියා දෙයක් නැති බව සලකන තරමට නුවණ දියුණු වු තැනැත්තාය. එබඳු නුවණක් නැති සාමාන්‍ය අය අන්ධ පෘතග්ජන වේ.

ඉතිරි කොටස මැයි 18 වන දා පත්‍රයේ පළ වේ


තරුණ වියේදීම සුසිරිතෙහි යෙදෙන්න