Print this Article


මරුවා පැරදූ ජයබිම මරළුවාව රජ මහා විහාරය

මරුවා පැරදූ ජයබිම මරළුවාව රජ මහා විහාරය

පැරැණි යුගයේ නිර්මාණ ශිල්පීන් යම් ඉදිකිරීමක් හෝ පිළිම නෙලීම් ආදිය සිදුකර ඇත්තේ පවතින ස්වාභාවික පරිසරයට අහිතක් අවැඩක් නොවන ආකාරයට ය. පරිසරය වර්ණවත් කිරීමක් විනා විකෘති කිරීමක් ඔවුන් අතින් කිසිදු විටෙක සිදු නොවුණි.

අනන්ත ආකාශය සිඹින උස් කඳු මුදුනක අපූරු ආකෘතියකින් හෙබි ස්තූපයක් ගොඩ නැගෙන්නේ ඒ නිසාවෙන් ය. ඝන වන ගහණයක් තුළ අඳුරේ සැඟැවුණු අඳුරු ගල්ලෙනක් යෝගාවචර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ආවාස කුටියක් බවට පත්වන්නේ ස්වභාව සෞන්දර්යයට හානි නොකරමින්, එම පරිසරය සුන්දර කිරීමට සමත් ආලෝකයක් එක්කරලමිනි.

බුදුන් වහන්සේගේ ගමන් මඟ යන අනුගාමිකයන්ට කිසිදු විටෙක පරිසරය කෙලෙසීමට සිතක් පහලවීමට ඉඩක් නොමැත.

මෙවන් පසුබිමක් යටතේ ආරණ්‍ය සේනාසනයක්, විහාරස්ථානයක් තැනෙන්නේ ස්වභාව සෞන්දර්යයේ වින්දනය තව තවත් උද්දීපනය කිරීමට සමත් සදහම් සුවඳ මුසු වීමෙනි.

ඒ නිසා ස්වාභාවික සුන්දර පරිසරය දෙස කෙනකු බලන්නට පෙළඹෙන්නේ ගෞරවාන්විත බැති සිතකින්ම ය.

මෙම පසුබිම් කථනය සාධාරණීයකරණය කරමින් අද අප පැමිණෙන්නේ නෙත් සිත් ඇද, බැඳ, සුපහන් කිරීමට සමත් තවත් එක් ඓතිහාසික පුදබිමක් වෙතට ය.

මරළුවාව රජ මහා විහාරස්ථානය පිහිටා ඇත්තේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. කුරුණෑගල සිට වැල්ලව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කි. මී. 2 ක් පමණ පැමිණි විට හමුවන මරළුවාව මංසන්ධියෙන් වමට ඇති අතුරු මාර්ගයේ තවත් කි. මී. 1 1/2ක පමණ දුරක් ගමන් කිරීමෙන් මෙම ඓතිහාසික සිද්ධස්ථානය වෙතට ළඟා විය හැකි ය.

ඉහැත්තෑවට නැඟෙන මඟ දිගේ විහාරස්ථානයට සපැත්වන විට අප මීටර් 100 ක් 130 ක් තරම් උස කඳු මුදුනක් තරණය කර අවසන්වේ. ගමන මඳක් වෙහෙසය. එහෙත් හාත්පසින් හමා එන සිහිල් සුළඟෙන් විඩාව පලවා හරින අතර නෙත් හමුවේ දිස්වෙන ඒ සොඳුරු විහාරස්ථානය දැකීමෙන් සිතට දැනෙන්නේ නව ප්‍රබෝධයකි. ඒ තරමට විහාරස්ථානය පිහිටි පරිසරය සුන්දරය. පරිසරයේ සොඳුරු චිත්‍රයට වර්ණ රටා එක්කරනා රමණීය අරලිය ගස් පෙළ සපු ඇසටු මෙන්ම දාහයට සිසිලස කැන්දන කොහොඹාදී වෘක්ෂයන්ගෙන් විහාර බිමට ස්වාභාවික සිහිල් වියනක් සාදා තිබෙනයුරු දැක ගැනීමට ලැබෙයි. කඳු මුදුනක සම බිමක්, උස් මෙවුලක්, පහත් බිමක් ආදී විවිධ ස්වාභාවික හැඩතල ආකෘතිය විහාරයට විවිධ විචිත්‍රාංගයන් සේ ය.

මෙම ඓතිහාසික විහාරස්ථානය විශාල ස්වාභාවික වාසස්ථානයක් වූ ගල්ලෙනක් ඇසුරු කර ගනිමින් ඵුස්සදේව නම් කුමාරයකු ප්‍රතිසංස්කරණය කර ඇති බවට ලිඛිත සාක්‍ෂි හමු වෙයි. ඵුස්සදේව දස මහා යෝධයන්ගෙන් කෙනෙකු බව අපි අසා ඇත්තෙමු. මෙතන දී හමුවන ඵුස්සදේව කුමරු දුටුගැමුණු රජතුමාගේ නැගණියගේ පුතනුවන් ය. මේ දෙදෙනාම එක් අයකුම දැයි සොයාබැලීම ඉතිහාසඥයන්ට භාරදී විහාරස්ථානය හා බැඳෙන පුවත දෙස අපි හැරී බලමු.

විහාරස්ථානයේ චෛත්‍ය ගොඩනංවා ඇති ස්ථානයට සමීපයේ ගල්තලාවක් මත මීටර් 33 ක් දිග මීටර් 1 ක් පමණ පළල සෙල් තලා ලිපියක් දැක ගැනීමට ලැබෙ යි. මේ වනවිට එම ලිපියේ කිසිඳු අක්‍ෂරයක් කියවා ගැනීමට නො හැකි වන සේ පතුරු ගැලැවී විනාශ වී තිබේ. එහෙත් මෙයින් ගම්‍ය වන එක් සත්‍යයක් තිබේ. මේ සා විශාල පසුබිමක යමක් ලියැවෙන්නේ නම් එතැන වදන් රාශියක් සටහන් වනු ඇත. එවන් වදන් රාශියක් ලියැවෙන්නට තරම් මෙතැන සුවිශේෂී ස්ථානයක් බව ඉන් සාධාරණ නිගමනයකට එළැඹිය හැක. එය සනාථ වන කරුණු - සාක්‍ෂි රාශියක් ද මෙහිදී අපට හමුවෙයි.

මරළුවාව රජ මහා විහාරස්ථානයේ ඇති ඉතා ඓතිහාසික වටිනාකමකින් අනූන ආඳාගල තඹ සන්නස මෙහිදී හමුවන ලිඛිත සාක්‍ෂි සහිත ඉපැරණි ලේඛණයකි.

මෙය ලියා ඵල කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසිනි. ( ව්‍යවහාර වර්ෂ 1747 – 1798 ) එහි සඳහන් වන ආකාරයට විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ ඵුස්සදේව නම් කුමරකු විසිනි. ඔහු දුටුගැමුණු රජතුමාගේ නැගණියගේ පුතා බවද එහි සඳහන්ව තිබේ.

කුමරු ආඳාගල සමීපයේ ලේවාණ ගල් විහාරයට පැමිණ මහාදේව මහ රහතන් වහන්සේගෙන් බණ අසා මෙතැන බුද්ධ ප්‍රතිමාවක් කරවූ බවත් කුමරු සැපත් වන විටත් මෙතැන ස්තුපයක් මෙන්ම ඔත් පිළිමයක් තිබූ බව තඹ සන්නසෙහි ලියැවී තිබේ.

එසේම කුමරු විහාරයේ ප්‍රතිසංස්කරණයන් කර දුටුගැමුණු රජතුමාට පෙන්වීමට එතුමාව මෙහි කැ¼ඳවාගෙය ආ බව ද එහි සඳහන් වෙයි. එසේ නම් මෙම විහාරස්ථානය දුටුගැමුණු රාජ්‍ය සමයටත් එපිට ඉදිවූවක් බව සනාථ වෙයි.

අවසානයේ ඵුස්සදේව කුමරු මහාදේව මහරහතන් වහන්සේ යටතේ පැවිදි වී රහත් භාවයට පත්වූ බව ද එහි සඳහන්ව තිබේ.

මෙම සිදුවීමට ජනප්‍රවාදය ඔස්සේ සාහිත්‍ය රසය කවා ඇත්තේ ඵුස්සදේව කුමරු මරුවා පරදවා රහත් වූ බවය. එයට අදාල සංකේතාත්මක චමත්කාරය මුසු සිතුවම් පෙළක් ද විහාරයේ බිතු සිතුවම් අතර දැක ගැනීමට ලැබේ.

තඹ සන්නස අනුව මෙම පිවිතුරු බිම මලිහදේව, මහාදේව වැනි රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් බව ද කියැවෙයි.

විහාරස්ථානයට පිදූ ගම් බිම් භික්‍ෂු පරම්පරාව රාජ්‍ය අනුග්‍රහයන් ආදී විශාල විස්තර රාශියක් තඹ සන්නසෙහි අඩංගුව පවතී.

දුටුගැමුණු රජතුමා විසින් ලියන ලද සන්නස් දිරාපත්ව පැවැති බැවින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා නැවත ඒවා ලියා තැබූ බව ද එම තඹ සන්නසෙහි සටහන් කර තිබේ.

ඇත්තෙන්ම ඉතිහාසය සොයා යන්නකුට කටු කොහොල් හැර නිවැරදි මඟට පිවිසීමට අවැසි පර්යේෂණ ග්‍රන්ථයක් බඳු මෙම ඓතිහාසික තඹ සන්නස විහාරස්ථානයේ අදත් සුරැකිව පවතියි.

විහාරයට උතුරු දෙසින් වූ කටාරම් සහිත ලෙන් විහාරය මහනුවර යුගයේ සිතුවමින් ප්‍රතිමාදියෙන් අලංකාර වී තිබේ. එහි අභ්‍යන්තර සැකැස්ම ඉතා ආකර්ශනීය වෙයි. ඊට යාබද දකුණු හා බටහිර දෙසින් ගල් ලෙන් දෙකක් මෙම සෙල් තලාවේම පිහිටා තිබේ. කටාරම් සහිත තවත් ගල් ලෙන් මේ සමීපයේදී දැක ගැනීමට පුළුවන.

විහාරයට ඊසාන දෙසින් ඇති සැ මළුව ඵුස්සදේව කුමරුන් මාරයා පරදා රහත් ඵලයට පැමිණි ස්ථානය වශයෙන් හඳුන්වයි. එසේම මෙහි වත්මන් ආවාස ගෘහයට ඈඳී ඇති බණ්ඩාර අටුව නම් ගල්ලෙන ස්වභාව ධර්මයේ අපූරු ගෘහනිර්මාණයකි. පුරාණ පොහොය ගෙයක නටබුන් ද ඓතිහාසික බෝධීන් වහ්නසේ සහ කළු ගලින් කළ ඉපැරණි බෝධි ඝරය ඉතිහාසගත කතාව සනාථ කරනා ප්‍රබල සාක්කි කරුවන් ය. මෙහි එක් පසෙක සෙල් තලාවක් මත චෛත්‍ය ගොඩ නංවා තිබෙයි. ඈත අහස් තලය විටෙන් විට විවිධ රටා මවමින් චෛත්‍යයේ පසුබිම ස්වාභාවික දිය සායමින් වර්ණවත් කරමින් දකින නෙතට අපූරු සෞන්දර්යයක් එක් කරවයි.

පැරැණි මුර ගෙය සහ විහාරයට යන මාවතේදී හමුවන ‘ දන්කත්ගල’ ද මෙහි ඉතිහාස ගමනට තවත් සාධක එකතු කරවයි.

විහාරස්ථානය ගොඩ නැගෙන්නේ මරළුවාව නම් කන්දෙහි ය. ඊටම ඈඳුණු ආඳාගල කඳුවැටිය කඳු පවුරක් සේ සෑදී තිබේ. මරළුවාව විහාර භූමියේ සිට ආඳාගල කඳු පවුර සිත්සේ නරඹා අපූරු රස වින්දනයකින් සිත පුරවා ගත හැකි ය. දුර සිට බලන්නකුට මේ දිගු කඳු පවුර දිස්වන්නේ දිගෑදුණු ආඳකුසේ ය. මෙම කඳු සිරස මොහොතකින් අපව අපරිමිත වූ දුරකට රැගෙන යයි. එතැන් සිට ඉබ්බාගමුව අරන් කැලේ - දොළුකන්ද – මාතලේ කඳුවැටිය – ඇතා ගල – ඉබ්බාගල ආදී විශේෂිත ඉසව් මෙන්ම පහත්ම තලයේ නෙක දිසා සිසාරා විහිදෙන නිල්ලෙන් සපිරි කෙත් බිම් – වැව් අමුණු - උරගයින් සේ ඇදෙන මංමාවත් ආදිය ගෙන එන්නේ රමණීය දසුනකි.

ආඳාගල පවුරු කඳු යායෙන් හමා එන නොඉඳුල් සුළං පොද ගතට රැගෙන එන්නේ සිසිලකි. මරුවා ජයගත් ජයබිම සිසාරා හමන පිවිතුරු සුළං පොද හා යාවෙන එම සිසිලස හදවතට ගෙන එන්නේ සදහම් සුවයකි.