Print this Article


 

ගොම්බද්දල ශ්‍රී නන්දාරාම මහ නා හිමි

මහා විහාරවිංශීක ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද ගොම්බද්දල ශ්‍රී නන්දාරාමාභිධාන මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්භාවනීය සඟ පරපුරේ උදාර ගුණයන් ප්‍රකට කරන ධර්මධර, විනයධර ශික්‍ෂාකාමී මහා පඬිවරයෙකි.

ගොම්බද්දල ග්‍රාමයේදී 1922 අගෝස්තු මස 30 වන දා උපන් කුමරු පාසල් අධ්‍යාපනය ලැබූහ. මේ අතර කෝඹල ශ්‍රී සාරානන්ද, කිතලගම ශ්‍රී ඉන්දසාර නාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යත්වයෙන් 1933 මාර්තු 03 වන දින ගොම්බද්දල නන්දාරාම හිමි නමින් පැවිදි විය.

කඹුරුපිටිය, සපුගොඩ විද්‍යානිකේත පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබාගත් නන්දාරාම හිමියෝ උගත මනා බණ දහමින් හා සපිරුණු විසිවයසින් යුක්ත වූයෙන් ඉහත නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් 1941 ජුනි මස 25 වන දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූහ. 1958 වසරේදී ප්‍රාචීන පණ්ඩිත උපාධිය භාෂත්‍රයෙන්ම සමත් වෙමින් පාලි විෂයට ශ්‍රී සුභූති ත්‍යාගය ද දිනා ගත්හ. විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් නන්දාරාම හිමියෝ ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන, පැපිළියානේ සුනේත්‍රාදේවී, ගෝනගල ශ්‍රී සුධර්මාකර, හොරණ නාලන්දා ආදී පිරිවෙන් රැසක ආචාර්යවරයෙකු සේම පරිවේණාධිපතිවරයෙකු ලෙසද උදාර සේවාවක් සිදු කළහ. මේ අතර විද්‍යෝදය පරිවේණාස්ථ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පැවැති විනයාචාර්ය ආදී ත්‍රිපිටක විභාගවලින් ද සමත් වූහ.

ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව ආදී රටවල සංචාරය කරමින් ජාත්‍යන්තර අවබෝධය ලද නන්දාරාම හිමියෝ දක්‍ෂ ලේඛකයෙකි. දක්‍ෂ කථිකයෙකි. ශ්‍රී රෝහණ උපසම්පදාව, බෞද්ධ සාහිත්‍යයේ රස කථා ආදී ග්‍රන්ථවලට මෙන්ම පුවත්පත් සඟරා ආදියට ද ලිපි පළ කළ දේශනයෙහි සිය නෛප්‍රණ්‍යාත ප්‍රකට කළ විද්වතෙකි.

ශ්‍රී රෝහණ මහා සංඝ සභාව පිහිටුවීමේ දී පුරාවිද්‍යා චක්‍රවර්තී, මහාචාර්ය කඹුරුපිටියේ ශ්‍රී වනරතනාභිධාන මහානාහිමියන්ට අයෝමය ශක්තිය ක් වෙමින් නන්දාරාම හිමියෝ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයට 1985 දී පත්වූවා සේම විධායක කාරක සභික හා උපාධ්‍යාය ධුරයන්ට ද නිතරගයෙන් පත්විය. පුරා 30 වසරකට අධික කාලයක් සම්බුද්ධ ශාසනයටත් භාෂාවටත්, රටටත් අමිල මෙහෙවරක් ඉටුකොට වැඩසිටින නන්දාරාම මහ නා හිමියෝ මහාචාර්ය, ගතාරේ ශ්‍රී ධම්මපාල අනුනාහිමියන් අපවත්වීමෙන් පුරප්පාඩු වූ ජේ්‍යෂ්ඨ අනුනායක ධුරයට 2011 වසරේ පත්වූ අතර අත්තුඩාවේ ශ්‍රී රාහුලාභිධාන මහානාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක ධූරයට 2011 දෙසැම්බර් 01 වන දා කාරක මහා සංඝ සභාවේ ඒකමතික තීරණයෙන් ගොම්බද්දල නාහිමියෝ පත්වූහ.

සිය දිවි මඟ 90 වන විය පසු කළ මහානායක මාහිමිපාණන් වහන්සේට සම්බුද්ධ ශාසනයටත්, ජාතියටත් නොනිමි මෙහෙවර ඉටු කිරීමෙහිලා ආයුරාරෝග්‍යාදී සුව හා දිගාසිරි පතමි.


හිපන්කන්දේ සද්ධාසිරි නා හිමි

මීට වසර පනස් හයකට ඉහත දී දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ හිපන්කන්ද නම් රමණීය ග්‍රාම වරයේදී නාහිමිපාණෝ ජන්ම ලාභය ලැබූහ. ඒ 1957 මාර්තු 16 වන දාය. උන්වහන්සේගේ දෙමාපියන් වූයේ අයි.ඩී. සිරිනේරිස් මහෝපාසකතුමා සහ හියාරේ හේවා මැසිලින් මහෝපාසිකාව යන පිනැතියෝය. මේ පින්වත් කුමරුවාණෝ නමින් අයි.ඩී. මුනිදාස නම් වූ අතර ප්‍රාථමික අධ්‍යාපනය ලැබුයේ හිපන්කන්ද ශ්‍රී සෝමරතන රජයේ විද්‍යාලයෙනි.

මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන්ගේ කැමැත්ත පරිදි මේ කුමරා පන්සලට භාර දෙන විට වයස අවුරුදු 03 ක් තරම්ය. පන්සලේ ගත කළ වසර 09 කාලය තුළ මහණකමට අවශ්‍යය බණ දහම් ඉගෙන ගන්නට වූහ.

මේ කුමරුවාණෝ 1969 නොවැම්බර් මස 24 වන දින හිපන්කන්දේ සද්ධාසිරි යන නමින් උතුම් ප්‍රවෘජ්‍යාවට පත්වූහ. මුන් වහන්සේගේ පැවිදි ආචර්යවරයා වූයේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මාදම්පේ සද්ධාසෝම නා හිමියන්ය. උපාධ්‍යායන්වහන්සේ වූයේ ගුරු දේව නාහිමියනගේ නා හිමියන් වූ දේවගොඩ සිරි වඩ්ඩනාරාමාධිපති මාදම්පේ සිරිරතන නා හිමියන්ය.

මූලික අධ්‍යාපනය, ලබා දුන්නේ, කොරකීන ශ්‍රී විජිතාරාමාධිපතිව, වැඩ සිටි අපවත් වී වදාළ උතුරු මාගල දීපංකර හිමිපාණන් වහන්සේ විසිනි. උසස් අධ්‍යාපනය සඳහා 1970 වර්ෂයේදී වැහිහේනේ විද්‍යා ශාන්ති මහ පිරිවෙනට ඇතුළත් වූහ. එම පිරිවෙනේ වසර 02 ක කාලයක් අධ්‍යාපනය ලබා 1972 වර්ෂයේදී ගාල්ල දඩල්ලේ විද්‍යාරාජ මහ පිරිවෙනට ඇතුළත්ව එම පිරිවෙනේ පරිවේණාධිපති අක්මීමන සුමනනන්ද නායක හාමුදුරුවන් හා නියෝජ්‍ය පරිවේණාධිපති නෙල්ලිවල විමලජෝති යන හිමියන් දෙනම නාහිමියන්ට අමතක නොකල හැකි ගුරුවරයාණන් වහන්සේලා දෙනමකි.මේ කුඩා හිමියන් පසුව අධ්‍යාපනය ලබාගත්තේ තෙබුවන ග්‍රන්ථාකාර පිරිවෙනෙන්ය.

1980 ජූනි මස 27 වැනි දින බලපිටිය වැලිතර මහා කප්පින වලව්ව යාබද ‘ස්වෙජින්’ නම් උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදා වූහ. උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වූයේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහානායක ශ්‍රී සද්ධම්මවංශපාල ගණාචාරිය,ගෞරවාර්හ කොස්ගොඩ ධම්මවංශ මහනාහිමියන්ය.ආචාර්යවරයාණන් වහන්සේලා වූයේ සිරි වඩ්ඩනාරාමාධිපති ගාලු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක මාදම්පේ සිරිරතන හිමියන් හා බොරළුකැටිය ශ්‍රී ආනන්දාරාමාධිපති මාදම්පේ සද්ධාසෝම නා හිමියන්ය. නාහිමියෝ 1980 ජුනි මස 28 වන දින හිපන්කන්ද ශ්‍රී පාද මහා විහාරස්ථානයේදී මංගල ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණහ. නාහිමියෝ ගුණ නැණ දෙකින් පෝෂිත දායක දරු පරපුරක් බිහි කිරීමේ අදිටනින් 1970 වර්ෂයේදී හිපන්කන්ද ශ්‍රී සිරිරතන ධර්ම විද්‍යාලය ආරම්භ කරන්නට වූහ.

කරන්දෙණියේ සර්වෝදය ප්‍රාදේශීය සංවිධායක ලෙස පත්වීම, හා පැල්මඩුල්ල පාතකඩ භික්‍ෂු පුහුණූ ආයතනයට බැදී හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් යටතේ වර්ෂ 1976 දී සති පුහුණු පාඨමාලාවක් හැදෑරීම හා චතුර්මාසික පුහුණුවක් ලැබීම ,දික්වැල්ල ග්‍රාම සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ ග්‍රාම සංවර්ධනය පිළිබඳ පාඨමාලාවක් හැදෑරීම ජීවිතයට නොබිෙඳන අත්වැලක් විය. සර්වෝදය හා එක්ව කළ ග්‍රාම සංවර්ධනය අති සුවිසල්ය. ඌරගස්මංහන්දිය, බොරළුකැටිය, ශ්‍රී ආනන්දාරාමයට යන මාර්ගය පිළිසකර කිරීම, බොරළුකැටිය ශ්‍රී ආනන්දාරාමය, විහාරස්ථානයේ සර්වෝදය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම මෙ මඟින් ප්‍රදේශයේ මංමාවත් සකස් කිරීම, ළිං කැපීම, ප්‍රජා ශාලා ඉදිකිරීම් ආදි කටයුතු සිදු කරන්නට වූහ..

1979 වර්ෂයේදී ගම්වාසීන් විසින් හිපන්කන්ද විහාරස්ථානය නාහිමියන්ට භාර දෙන ලදී. නාහිමියෝ එහි සංවර්ධන කටයුතු සිදු කළ අතර ගුරු දේවයන්ගේ අපවත් වීමෙන් හිපන්කන්ද ශ්‍රීපාද මහා විහාරාධිපති බවට පත්වූහ. උන්වහන්සේ පෙර පාසල් ආරම්භ කිරීම හා උපකරණ ලබා දීම, රජයේ තෝරාගත් පාසල් 20ක් සඳහා පාසල් උපකරණ ලබාදීම වැනි සත්කාර්යයන් නාහිමියන් අතින් සිදු වූ ශ්‍රේෂ්ඨ සේවාවන්ය.

උන්වහන්සේ අධ්‍යාපනය නඟා සිටුවීමට පිරිවෙන් ආයතන පහක් ආරම්භ කළහ. ඒ අනුව 1987.08.26 වැනි දින හිපන්කන්ද ගා/විද්‍යා/සමාධි පිරිවෙන ආරම්භ කිරීම 1998.03.18 වැනි දින, සාලියපුර හ/විද්‍යා ප්‍රදීප පිරිවෙන ආරම්භ කිරීම 2000.06.05 වැනි දින, කතරගම මො/ශ්‍රී සද්ධාසෝම පිරිවෙන ආරම්භ කිරීම, 2000.07.03 වැනි දින, මහානාගපුර හ/විද්‍යා ගවේෂී පිරිවෙණ ආරම්භ කිරීම 2003.03.16 වැනි දින,බොරළුකැටිය ගා /ශ්‍රී දීපංකර පිරිවෙණ ආරම්භ කිරීම, නාහිමියන් විසින් පිරිවෙන් ආයතන පමණක් නොව විහාරස්ථාන රාශියක් ඉදි කරන ලදී. ඒ අතර පැලැන්වත්ත විද්‍යා සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ඌරගස්මංහන්දිය යටගල ශ්‍රී දක්‍ෂිණාරාමය, ඌරගස්මංහන්දිය ශ්‍රී බෝධිමළු විහාරය, බෝකුන්දර ධම්මසමාධි විහාරය, කිරිමැටියාව ශ්‍රී මහින්දාරාමය, අමුණුදහය රජමහා විහාරය, විද්‍යා විජේසේකර බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරස්ථානයන්ය. ධර්මදූත සේවය සඳහා ඉන්දියා, බුරුමය, තායිලන්තය,කැනඩාව, කාම්බෝජය, සිංගප්පූරුව, ලාඕසය, තායිවානය, මැලේසියාව, නේපාලය වැනි රටවලට වැඩම කළහ.

ආගමික හා ශාසනික සේවාවන් නිසා ම 1991 අගෝස්තු 17 වැනි දින “ශ්‍රී සද්ධාසෝම වංසාලංකාර” නාම සම්මුතිය සහිතව අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ගාලු වැල්ලබඩපත්තුව නැගෙනහිර කරන්දෙණිය දෙපළාතේ අධිකරණ සංඝනායක පදවියට නාහිමියෝ පත් වූහ. එමෙන් මැ “ජනහිතකාරී විශ්ව කීර්ති ශ්‍රී ශාසනශෝභන ධම්මදස්සී” බුද්ධ ශාසන ජෝති සාහිත්‍යාචාර්ය” “ශාසන කීර්ති ශ්‍රී ලෝකත්ථචාරි “ යන ගෞරව නාම සම්මානවලින් වරින්වර පිදුම් ලැබූ නාහිමියෝ 2008 වර්ෂයේදි අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ “සිරි සද්ධාසෝම වංසාලංකාර ජනහිතකාරි ශාසන කීර්ති ශ්‍රී “ යන ගරු නාම සම්මුතිය සහිත වැ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත්වූහ. 2009 සැප්තැම්බර් 11 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් “පර්යාප්ති සේවා කීර්ති ශ්‍රී” යන ජාතික ගෞරව සම්මානය නාහිමියන්ට පිරිනමන ලදී.


ගිඩ්ඩව සුමනතිස්ස නා හිමි

මහනුවර අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝසභාවේ මහෝපාධ්‍ය හාරිස්පත්තුව ප්‍රධාන සංඝනායක හල්ඔළුව පල්ලේගම සෙල්ලාවලී රාජමහ විහාරය, අලවතුගොඩ, දිප්පිටිය බෝධිමළුව විහාරද්වයාධිපති ශාස්ත්‍රවේදී ගිඩ්ඩව ශ්‍රී සුමනතිස්ස නාහිමිපාණන්ගේ අසූපස් වෙනි (85) ජන්මෝත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 12 වෙනි දින අලවතුගොඩ දිප්පිටිය බෝධිමලුව විහාරයේ දී සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දවස පුරා පැවැත්විණි.

හල්ඔළුව නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය මහනුවර ධම්මරාජ යන විදුහල්වල දශක තුනක පමණ කාලයක් ධර්මාචාර්යවරයෙකු වශයෙන් ධර්මශාස්ත්‍රිය අධ්‍යාපන සේවයක් ඉටුකරමින් ද ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලවල විවිධ තනතුරු දරමින් දරු දැරියන් දහම් පාසල් ඉගෙනීමට යොමු කර ඇති සුමනතිස්ස නාහිමි සුපේෂල ශික්‍ෂාකාමි තපෝවෘද්ධ වයෝවෘද්ධ ගුණාංගයන්ගෙන් අනූන සංඝපීතෘවරයෙකි. අස්ගිරිය මහා විහාරයේ උප සම්පදා විනය කර්ම කටයුතුවලදී මහෝපාධ්‍ය තෙරනමක් වශයෙන් ශාසනික මෙහෙවරක් ඉටුකරමින් මහාවිහාරයේ ආගමික හා සමාජ සේවාවන් ඉටුකරන ගිහි පැවිදි කවුරුත් ‘ගිඩ්ඩව හාමුදුරුවන්’ ලෙස හඳුන්වන සුමනතිස්ස නාහිමිපාණන්ට තව තවත් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අනාගත චිරස්ථතිය වෙනුවෙන් ශාසනික, ජාතික, සාමාජික සේවාවන් ඉටුකිරීමට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.