Print this Article


කලටුවාගම පුරාණ රජමහා විහාරය

කලටුවාගම පුරාණ රජමහා විහාරය


විහාරාධිකාරී මකුල්පොත
ඥානරතන හිමි

ඓතිහාසික ඇතුගල්පුර රාජධානිය පුරා විසිරී ඇති විශාල සංඛ්‍යාවක් වූ පුරාණ විහාරස්ථාන අතරින් සුවිශේෂී වූ පෞරාණික වටිනාකමකින් යුත් පූජනීය ස්ථානයකි කලටුවාගම පුරාණ විහාරය. පෙර දා ‘අටුවා කළ ගම’ කලටුවාගම නම් වූ බව ජනප්‍රවාදයේ එන මතයයි. කුමන රජ දවසේ ඉදිවූවාදැයි පැහැදිලිව හඳුනාගෙන නොමැති වුව ද මෙහි ඇති සෙල් ලිපියක සඳහන් පරිදි ඉතිහාසයේ මෙය හඳුන්වා ඇත්තේ ඇත් වෙහෙර නමින් ය.

පෞරාණික වටිනාකමකින් යුත් විහාරාංග රාශියක් විහාරය සතු වේ. ඒ අතරින් දේවතා කොටු දෙකකින් යුත් වෙහෙර වහන්සේ අදටත් නොනැසී වැඩසිටිනුයේ විහාරයට මහත් වූ වටිනාකමක් ගෙන දෙමිනි. අගනා ටැම්පිට විහාරය විනාශව නටබුන් පමණක් අද ශේෂ වී තිබුණ ද එය කෙතරම් මනරම් ඉදිකිරීමක් වන්නට ඇත්දැයි ඒ ගැන තොරතුරු දන්නා වැඩිහිටියන් සමඟ කතා කරන විට අපට වැටහී යන්නේ ය. විහාරය හා මෙම භූමියෙහි ආරක්‍ෂාවට විශාල නාග රාගයකු සිටි බවට මතයක් පවතී.

වත්මන් විහාරාධිපති කහටපිටියේ සීලරතන හිමියන්ගේ අනුශාසනා හා මඟපෙන්වීම මත විහාරාධිකාරී මකුල්පොත ඥානරතන හිමියන් විහාර වංශ කතාවට නව යුගයක් එක්කරන්නට සමත්ව ඇත. ප්‍රදේශයේ දීප්තිමත්ම දහම්පාසලක් වූ ශ්‍රී ගුණරතන දහම් පාසල ද මෙම පුණ්‍යභූමියේ පවත්වන්නේ සිසු දරුවන් 300කගේ පමණ දහම් නැණැස පාදමින් ය. ඉදිවෙමින් පවතින දෙමහල් සංඝාවාසය, අතිවිශාල මකර තොරණ සහිත ප්‍රාකාර බැම්ම විහාරයේ වටිනාකම දෙගුණ තෙගුණ කරනවාට කිසිදු සැකයක් නොමැත්තේ ය.