UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලාව – 19 නිමි ජාතකයෙන් හෙළිවන කර්ම විපාක

පුනරුප්පත්ති ලිපි මාලාව – 19

නිමි ජාතකයෙන් හෙළිවන කර්ම විපාක

පසුගිය ලිපියෙන් අපගේ අවධානය යොමු වූයේ ‘එඩ්ගාර් කේසී’ පුනර්භවය සඳහා කර්මය බලපාන බව පෙන්වීම සඳහා සිදුකළ පර්යේෂණ කෙතරම් දුරට බෞද්ධ කර්ම විභාගය පිළිබඳ ගැළපේදැ’යි සසඳා බැලීමටය.මෙවර අපගේ අවධානය යොමුවන්නේ නිමි ජාතකයෙන් ඉදිරිපත්වන අකුශල කර්මයන්ගේ විපාකයන් කෙබඳුදැ’යි විමසා බැලීමට ය

ප්‍රශ්නය – නිමි ජාතකයෙන් හෙළිවන කර්ම විපාකයන් පුනර්භවය සඳහා බලපා ඇත්තේ කෙසේද?

අප බෝසතාණන් වහන්සේ වේදේහ නුවර ‘නිමි’නමින් මහරජව ගතකළ අවධියේ ඔහුගේ සිල්වත් බව පිළිබඳ සතුටට පත් සදෙව්ලොවට අධිපති සක්දෙව් රජු ඔහු හමුවීමට පැමිණි කල සාකච්ඡාවකි. නිමි ජාතකයේ ඇතුළත්ව ඇත්තේ.සක්දෙවි රජ දානය හා බ්‍රහ්මචරියාව පිළිබඳව කළ සාකච්ඡාවෙන් අනතුරුව දෙව්ලොවට ගොස් නිමි රජතුමා සුදර්මා දේව සභාවට කැඳවාගෙන එන ලෙසට තම රියදුරා වූ මාතලී පිටත් කර යවයි. මාතලී නිමි රජතුමා දෙව්ලොවට කැඳවා ගෙන එන අතරතුර මාර්ග දෙකක් පෙන්වයි.එම මාර්ග දෙකනම් පව්කම් කළ සත්වයෝ නිරයට යන මාර්ග හා පින්කම් කළ සත්වයෝ සුගතියට යන මාර්ගයයි.

උභයෙනෙව මංනෙහී, මාතලි දේවසාරථි,
යෙන වා පාපකම්මන්තා,පුඤ්ඤකම්මා ව යෙ නරා
කෙන ත පඨමං නෙමී.රාජසෙට්ඨ දිසම්පති
යෙන වා පාපකම්මන්තා, පුඤ්ඤකම්මා ව යෙ නරා

මෙම මාර්ග විමසා බැලීම සඳහා සිතක් ඇතිවන නිමි රජු ඒ බව මාතලී රියදුරාට පවසයි.ඒ අනුව පළමුව නිරයගාමී වන සත්වයන්ගේ දැකීම සඳහා වෑයමට කැමැති බව පවසයි.ඒ අනුව මාතලී නිමිරජුව පළමුව වේතරාණි නම් නරකයෙහි උපදින සත්වයන් පෙන්වීම සඳහා එම නිරයට යයි.

එහි දී මාතලී විසින් නිමි රජුට කැකෑරෙමින් පැසෙන රත් වූ, ගිනි සිළු බඳු පැහැදී යෑමට නොහැකිවූ ලෝදියෙන් යුක්ත වූ ‘වේතරණි’නම් නදිය පෙන්වීය. එහි වැටී සිටින සත්වයන් දැක බියට පත්වන නිමි රජු ඔවුන් මේ කටුක වූ වේදනා ඇති මේ නිරයෙහි වැටී දුක් විඳීමට හේතු විමසයි. එසේ මිනිසුන් මේ මේ නරකයෙහි ඉඳීමේ කටුක වූ දුක්වේදනා විඳීමට හේතු වශයෙන් මාතලී මෙසේ පවසයි.

යෙ දුබ්බලෙ බලවන්තා ජීවලොකෙ
හිංසන්ති රොසන්ති සුපාපධම්මා
තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං
තෙමෙජනා වෙතරණිං පතන්ති

මිනිස්ලොව උපන් යමෙක් පහත් ස්වභාවයෙන් යුක්තව තමාගේ බලවත්කම නිසා දුබල අයට හිංසා පීඩා කරයි ද, අක්‍රෝෂ පරිභව කරයි ද,මෙසේ දරුණු ක්‍රියාකොට දුබල අය පීඩාවට පත් කිරීමේ විපාක නිසා ඔහු මේ වෙතරණී නම් නිරයෙහි උපදී යනුවෙනි.

ඊට පසු නිමි රජු විසින් රත් පැහැති බල්ලෝද කබර පැහැති බල්ලෝද , ගිජු ලිහිණියෝද,භයානක කපුටෝද වට කරගනම මස් කඩ කඩා කන නිරිසත්තු පිරිසක් දකියි. එයින්ද තැතිගන්නා නිමි රජු ඔවුන් හිසේ අනන්ත දුක් විඳීමට හේතු විමසයි.

ඊට පිළිතුරු දෙන මාතලී පවසන්නේ මේ පිරිස මෙසේ දුක් විඳීමට හේතුවන්නේ මසුරු බවින් යුක්තව අනුනට දෙන දෙය වළක්වා, පිඬුපිණිස පැමිණෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට යමක් නොදී අක්‍රෝශ පරිභව කළ නිසා එහි විපාක වශයෙන් මෙසේ නිරයේ ඉපිද අනන්ත දුක් විඳීන බවයි.

යෙ කෙවීමෙ මච්ඡරිනො කදරියා
පරිභාසකා සමණබ්රාහ්මණානං,
හිංසන්තිරොසන්ති සුපාපධම්මා තෙ
ලුද්දකම්මා පසවෙත්ව පාපං
තෙමෙ ජනෙ කාකොලසඞ්ගා අදන්ති

ඊට පසු මාතලී විසින් නිමි රජුව,ගිනිදැල් සහිත පොළොවෙහි එහා මෙහා යන රත් වූ දඬු මුගුරුවලින් නිතර තැලෙන නිරි සතුන් ඇති තැනකට රැගෙන යයි. එයින් බියට පත් නිමි රජු ඒ සඳහා හේතු විමසයි. ඊට පිළිතුර දෙන මාතලී පවසන්නේ මිනිස් ලොව ඉපදී සිටින කළ ඔවුන් විසින් නිවැරැදි ස්ත්‍රියන්ට, පුරුෂයන්ට අභූත චෝදනා කිරීමෙන් හිංසා කිරීමෙන් හා අක්‍රෝෂ පරිභව කිරීමෙන් මෙවැනි කටුක වූ දුක්වේදනා විඳීන බවයි.

අඞ්ගාරකාසුං අපරෙ ඵුණන්ති
නරා රුදන්තා පරිදඞ්ඪගත්තා
යඤ්හි මං විදන්ති සූත දිස්වා
පුච්ඡාමි තං මාතලි දෙවසාරථි
ඉමෙ නුව මච්චා කිමකංසු පාපං
යෙමෙ ජනා අඩ්ගාරකාසුං ඵුණන්ති

නැවතත් මාතලී විසින් නිමි රජුව හාත්පසින් දැවෙන ස්වභාව ඇති නිතර හැඬීම් ඇති. ගිනිඅඟුරු වළවල්වලට නිතර නිතර පතිත වන නිරිසතුන් පිරිසක් සිටින තැනකට රැගෙන යයි. එයින්ද තැති ගන්නා නිමි රජු එසේ ඔවුන් අනන්ත ලෙස දුක් විඳීමට හේතු විමසයි. ඊට පිළිතුරු දෙන මාතලී පවසන්නේ ඔවුන් මිනිසුන්ව සිටින කල බොරු ණය කියා අහිංසකයන්ගේ ධනය කොල්ලකෑම් හෙවත් බොරු පැමිණිලි දමා ඔවුන් සන්තකව තිබූ ධනය අත්පත් කර ගැනීමේ විපාක වශයෙන් මෙසේ කටුක වූ දුක්විඳීන බවයි.

යෙ කෙදි පූගාය ධනස්ඪ හෙතු
සක්ඛිංකරිත්වා ඉණං ජාපයන්ති
තෙ ජාපයිත්වා ජනතං ජනින්ද
තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං
තෙමෙ ජනා අඞ්ගාරකාසුං ඵූණන්ති

නැවතත් මාතලී විසින් නිමි රජුව ඇවිලගත් දිළිසෙන ගිනිදැල් ඇතිමහත් ලෝ සැලියක පැසෙන්නා වූ නිරි සතුන් පිරිසක් දැක බියට පත්ව මාතලීගෙන් කරුණු විමසයි. ඊට පිළිතුරු දෙන මාතලී පවසන්නේ ඔවුන් මිනිසුන්ව සිටින කල පක්‍ෂීන් අල්වාගෙන පිහාටු ගලවා පැසෙන දියෙහි දමා මැරීමේ විපාක වශයෙන් මෙසේ කටුක වූ දුක්වේදනා විඳීන බවයි.

යෙජීවලොකස්මිං සුපාපධම්මිනො
පක්ඛී ගහෙත්වාන විභෙඨයන්ති තෙ,
විහෙඨයිත්වා සකුණං ජනින්ද
තෙ ලුද්දකාමා පසවෙත්ව පාපං,
තෙමෙ ජනා ලුත්තසිරා සයන්ති

ඉහත සඳහන් කරුණු විමසා බලන විට ඔවුන් කළ අකුශල කර්මයන් ඍජුවම ඔවුන්ගේ දෙවන භාවය හෙවත් පුනර්භවය සඳහා බලපා ඇති බව මනාව පැහැදිලි වෙයි.

සටහන - බණ්ඩාර පිළවල


පුනරුප්පත්ති ලිපි මාලාව 18 විපතක ප්‍රතිවිපාක

 

බක් මස පුර පසළොස්වක පෝය

 අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.04ට ලබයි.
26 වැනිදා සිකුරාදා පූර්වභාග 01.26 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 02 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]