UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දන් දීමේ දී අවශ්‍ය චිත්ත පාරිශුද්ධිය යි

දන් දීමේ දී අවශ්‍ය චිත්ත පාරිශුද්ධිය යි

තිරිසන් සතෙකුට ආහාර පිණිස යමක් දුන්නොත් එය ආත්මභාව සියයක් දෙව් මිනිස් සැපගෙන දෙනවා. තිරිසන් සතෙකුට යමක් දෙනවාට වඩා දුර්ගුණ වුවත් මනුෂ්‍යයෙකුට යමක් දුන්නොත් එය ආත්මභාව දහසක් දෙව් මිනිස් සැපගෙන දෙනවා. දුර්ගුණ මිනිසෙකුට යමක් දෙනවාට වඩා පෘතග්ජන සිල්වතෙකුට යමක් දුන්විට ඒ දානය අවුරුදු දස දහසක් දෙව් මිනිස් සැප ගෙන දෙනවා. පෘතග්ජන සිල්වතෙකුට යමක් දෙනවාට වඩා බුද්ධ ශාසනයෙන් පිටත වුවත් කර්මවාදී ක්‍රියාවාදී තවුස්වරයෙකුට යමක් පූජා කළ හැකිනම් ලක්ෂයක් පමණ දෙව් මිනිස් ආත්මභාව වලදී සැප ලබා දෙනවා

මහා කාරුණික තථාගතයන් වහන්සේ දුක් විඳින සත්ත්වයාට සසර දුකින් මිඳීම සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය දියුණු කරන ලෙස වදාළා. ඒ අතර සීල සමාධි ප්‍රඥා දියුණු කිරීමත් දාන, සීල, භාවනා නිරන්තරයෙන් දියුණු කිරීමත් පිළිබඳව දීර්ඝ ලෙස වදාළා. ඒ අතර අප කාටත් ඉතාමත් ආනිසංස ගෙන දෙන දානය පිළිබඳව කියා දෙන්නට අදහස් කළා.

තථාගතයන් වහන්සේ දානය විවිධාකාර ලෙස බෙදා දක්වමින් වදාළා. මේ ලෝකයේ පහල වූ බොහෝ ශාස්තෘවරුන්, දානය අගය කළා. ප්‍රශංසා කළා. අනුමත කළා. ඒ අතරින් දානය පිළිබඳව බොහෝ කරුණු සහිතව ප්‍රභේද ගතව අපගේ ශාස්තෘන් වහන්සේ තරම් දේශනා කළ තවත් ශාස්තෘවරයෙකු ලොව පහල වී නැහැ. උන්වහන්සේ වදාළ ආකාරයට මහත්ඵල මානිශංස ගෙනදෙන දානමය පිනක් කරන්නට පුළුවන්කම තිබෙන්නේ බුද්ධ ශාසනයේ පමණයි.

දානය පළමු කොට දෙ ආකාරයි. ඒ අනුකම්පවෙන් දෙන දානය සහ පූජා බුද්ධියෙන් දෙන දානය. එහිදී පූජා බුද්ධියෙන් දෙන දානයේ ආනිශංස වැඩියි. ඒ වගේම පෞද්ගලික දානය සහ සඟ සතු දානය ලෙස තවත් ආකාරයට දානය බෙදා වදාළා. පෞද්ගලික දාන 14 ක් වදාළ අතර තිරිසන් සතෙකුට වුවත් යමක් කෑමට දෙනවා නම් ඒක දානයක්. ඉඳුල් වතුර ටික වුවත් වලක ඉන්න පණුවෙකුට ආහාර පිණිස වේවා කියා කලණ සිත පහල කරගෙන තිරිසන් සතෙකුට ආහාර පිණිස යමක් දුන්නොත් එය ආත්මභාව සියයක් දෙව් මිනිස් සැපගෙන දෙනවා. තිරිසන් සතෙකුට යමක් දෙනවාට වඩා දුර්ගුණ වුවත් මනුෂ්‍යයෙකුට යමක් දුන්නොත් එය ආත්මභාව දහසක් දෙව් මිනිස් සැපගෙන දෙනවා. දුර්ගුණ මිනිසෙකුට යමක් දෙනවාට වඩා පෘතග්ජන සිල්වතෙකුට යමක් දුන්විට ඒ දානය අවුරුදු දස දහසක් දෙව් මිනිස් සැප ගෙන දෙනවා. පෘතග්ජන සිල්වතෙකුට යමක් දෙනවාට වඩා බුද්ධ ශාසනයෙන් පිටත වුවත් කර්මවාදී ක්‍රියාවාදී තවුස්වරයෙකුට යමක් පූජා කළ හැකිනම් ලක්ෂයක් පමණ දෙව් මිනිස් ආත්මභාව වලදී සැප ලබා දෙනවා. එබඳු කර්මවාදි ක්‍රියාවාදී සෘර්ධිලාභි අයට යමක් පූජා කරනවාට වඩා සෝතාපන්න මාර්ගයකට පිවිසි අයෙකුට යමක් පූජා කළ හැකිනම් එය ඊට වඩා ආනිශංස ගෙන දෙනවා. ආත්මභාව සියයක්, දහසක්, ලක්ෂයක්, කෝටියක් කියා නිම කළ නොහැකි දෙව් මිනිස් සැප ලබා දෙන බව වදාළා. උන්වහන්සේ වදාළා සෝතාපන්න මාර්ගස්ථයාට පුදන දානයට ලැබෙන ආනිශංසය ප්‍රමාණ කළ නොහැකි බව. සෝතාපන්න මාර්ගස්ථයාට වඩා සෝතාපන්න උතුªමන්ටද, සෝතාපන්න උතුමන්ට වඩා සකදෘගාමි මාර්ගස්ථයාට ද, සකදෘගාමි මාර්ගස්ථයාට වඩා සකදෘගාමි උතුමන්ටද, සකදෘගාමි උතුමන්ට වඩා අනාගාමි මාර්ගස්ථයාටද , අනාගාමි මාර්ගස්ථයාට වඩා අනාගාමි උතුමන්ටද, ඊට වඩා රහත් මාර්ගස්ථ උතුමන්ට, ඊටත් වඩා රහතන් වහන්සේලාට ද, රහතන් වහන්සේට යමක් පූජා කරනවාට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකටද, ඊට වඩා තථාගත සම්මා සම්බුදු රාජාණන් වහන්සේ නමකට යමක් පූජා කිරීම බොහෝ ආනිශංස යි.

මෙසේ තිරිසන් සතෙකු දක්වා පරිග්‍යාග කළ හැකි දාන දහ හතරක් ක් ඊට ලැබෙන ආනිශංය විපාක කොතෙක්ද කියන කාරණාවක් සමඟ තථාගතයන් වහන්සේ පැහැදිලි කළා.

මේ දේශනාව තුªළ සඳහන්් වෙන්නේ ඒ දුර් ගුණයන්ගෙන් යුක්ත වූ තැනට වඩා ගුණයෙන්, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් විමුක්තියෙන්, විමුක්ති ඥාණ දර්ශනයෙන් යුක්ත වෙන්නට වෙන්නට දානයට ලැබෙන ආනිශංස බොහෝ වෙන බවයි. විශේෂයෙන් දානයට ආනිශංස ලබන්නට සීලයටත් වඩා දර්ශනය දැක්ම ප්‍රධාන වෙනවා. ධ්‍යානලාභියෙක් ධා්‍යනඵල සමාපත්ති ලබන්නේ් සීල සංවරය ඇතුවයි. එහෙත් එබඳු දානයකට ලැබෙන ආනිශංසය දේශනා කළා. සෝතාපන්න මාර්ගයට පිවිසි කෙනෙකුට දෙන දානයේ ආනිසංස මෙතකැයි කියා නියම කළ නො හැකි බව වදාළා. එනිසා දානය බාර ගන්නා පුද්ගලයාගේ ගුණ කදම්භය අනුව පෞද්ගලික දානයේ ආනිසංශ වැඩි දිියුණු වන බව මේ පිළිවෙල අනුව වැටහෙනවා.

මේ ගැන මීට වඩා ගැඹුරින් සලකා බැලීමේදී දානයක් මහානිශංස බව හොඳින් ලබන්නට නම් ඒ අවස්ථා තුනේ් චිත්ත පාරිශුද්ධිය විශේෂයෙන් යහපත්ව පවතින්නට ම ඕන. එසේ නො මැති වුවහොත් ඊට ලැබෙන විපාකය අල්ප ස්වල්ප වෙන්න පුළුවනි. අප දන්නවා මේ සමාජයේ සමහර අයට බොහෝ සම්පත් ලැබිලා තිබෙනවා. තමා සන්තකයේ බොහෝ ධන ධන්‍ය සම්පත් තිබෙනවා. හැබැයි සමහරු ඉන්නවා ඒ සම්පත් තිබුණට ලස්සන ඇඳුමක් අඳින්නේ නැහැ. චාම් බව සරල බව කියමින් නො වටිනා දෙයක් අඳිනවා. බොහෝම ප්‍රණීත ආහාරපාන වළදන්නට තිබෙනවා. නමුත් නීරස දෙයක් සාමාන්‍ය සැහැල්ලු දෙයක් කියලා ජීවිතයට බොහෝ නීරස රළු දෙයකින් ජීවිතය පවත්වනවා. වෙනත් වෙනත් සුව පහසුකම් භුක්ති විඳින්නට ළඟාකර ගන්නට පුළුවන්. ඒත් සිත නැමෙන්නේ නැහැ. ඒවා වියපැහැදම් කරලා සැප විඳින්න. මෙබඳු දේ සිද්ධ වෙන්නේ අර අවස්ථා තුනේ චිත්ත පාරිශුද්ධියෙන් යුක්තව දාන, පින්කම් නො කළ නිසා ලැබෙන චතු විපාකයක්.

තථාගතයන් වහන්සේගේ කාලයේ අපුත්තක සිටුවරයෙක් සිටියා. අදත් එවැනි අපුත්තක සිටුවරු සිටිනවා. වරක් කොසොල් මහරජතුමා ආවේලාවේ තථාගතයන් වහන්සේ දකින්නට පැමිණි මොහොතක උන්වහන්සේ විමසුවා මහජතුමනි, අවේලාවේ පැමිණීමට හේතුව කුමක් ද? ස්වාමිනි අර ගමේ සිටි අසවල් අපුත්තක සිටුතුමා මිය ගියා. එයා සන්තකයේ තිබුණ මහ ධනය දැන් දින ගණනාවක් තිස්සේ රජමාළිගාවට රැගෙන ගිහිල්ලා. එය තැන්පත් කරලයි මම මේ ආවේ. අසූ කෝටියක් තරම් මහ ධනය තිබුණ ඒ සිටුවරයා කාඩි හොද්දයි, ඇල්හාලේ බතයි කෑමට ගත්තේ. තල්පතක් තමයි ඉහට ඉහලුවේ. බොහෝම නො වටිනා පාවහන් යුගලක් තමා දැම්මේ. ගවයන් යෙදූ කරත්තයකින් තමයි ගමන් කළේ. බොහෝම නො වටිනා රළු ගොරෝසු වස්ත්‍ර ඇන්දේ. එච්චර සම්පත් තිබිලත් බොහෝම දුකසේ කාලය ගෙව්වේ කියලා කොසොල් රජතුමා ප්‍රකාශ කරන කොට බුදුරජාණන් වහන්සේ ඒ කර්මයට පූර්ණ හේතුව දක්වමින් පසේබුදුරජාණන් වහන්සේ නමකට සැදැහැ සිතින් දන් පූජා කරන්නට නියම කොට එහෙත් පිණ්ඩපාතය ගෙන වඩින පසේබුදුරජාණන් වහන්සේ ගේ පාත්‍රය බලා එහි තිබූ ප්‍රණීත ආහාර දැක මොහුට මෙය දීම අපරාධයක්. අපට භුක්ති වින්ඳානම් කොතරම් යහපත් ද? නැතිනම් සේවකයකු හෝ භුක්ති වින්ඳානම් වැඩපලක් හෝ කර ගන්න තිබුණා කියලා දීමෙන් අනතුරුව සිත අපහදවා ගත් කර්මයේ විපාක තමයි මේ දකින්නට ලැබෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ දන් දෙන්න කියා නියෝග කළ පමණකින් එහි විපාක වශයෙන් බොහෝ සම්පත් ලැබුණා. දීලා සතුටු වෙන්න බැරි වූ නිසා එසේ දුක් විපාකයකුත් විඳින්නට වුණා. තිබෙන සැප පරිහරණය කරන්නට බැරි වුණා. එනිසා එදත් අදත් සම්පත් ඇතිව දුකසේ දිවි ගෙවන ජීවිත වල පූර්ව කර්ම විපාක පිළිබඳව විමසා බැලුවොත් මේ තුන්සිත පහදාවගෙන පින්දහම් නො කළ බවට සාක්ෂි තිබෙනවා.

එනිසා ඔබත් දෙන දේ තුළින් මහත්ඵල මානිශංස ලැබෙන ආකාරයට අවබෝධයෙන්ම දන් දෙන්න පුරුදු වන්න.

 

බක් මස පුර පසළොස්වක පෝය

 අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.04ට ලබයි.
26 වැනිදා සිකුරාදා පූර්වභාග 01.26 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 02 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]