Print this Article


නිරෝධ සමාපත්තිය

නිරෝධ සමාපත්තිය

චිත්ත චෛතසික ඇති නොවීම සම්පූර්ණයෙන් ම නතර වුණු අවස්ථාව තමයි නිරෝධ සමාපත්තිය කියන්නෙ. එය විස්තර කරන්නේ මෙසේයි. සාමාන්‍ය මනුෂ්‍යයාගේත් ධ්‍යානයක් නො ලැබූ මිනිසාගේත් සිත කාම වස්තු කෙරෙහි ගැටී පවතින්නේ රූපයත්, ශබ්දයත්, ගඳත්, සුවඳත්, රසයත් ගැනය. යම්කිසි අරමුණක ඒවා ගැටිලා කාම ලෝකයේ සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිත් ඇතිවේවි යන්නෙ. අරමුණක් නැතිව සිත හැදෙන්නෙ නෑ. අරමුණ කියන්නෙ සිත එල්ලෙන දේ. රූපයක නැතිනම් ශබ්දයක ඒ විධියට සිත ඇලෙනවා. ඉතින් එහෙම හැදෙන සිත්වලට අප කියනවා කාමාවචර සිත් කියලා

2013 අප්‍රේල් 18 වනදා පත්‍රය හා සම්බන්ධයි

ප්‍රශ්නය – මහනායක හාමුදුරුවනේ නිරෝධ සමාපත්තිය පිළිබඳ විස්තර කරනවා නම්, ...

පිළිතුර – චිත්ත චෛතසික ඇති නොවීම සම්පූර්ණයෙන් ම නතර වුණු අවස්ථාව තමයි නිරෝධ සමාපත්තිය කියන්නෙ. එය විස්තර කරන්නේ මෙසේයි.

සාමාන්‍ය මනුෂ්‍යයාගේත් ධ්‍යානයක් නො ලැබූ මිනිසාගේත් සිත කාම වස්තු කෙරෙහි ගැටී පවතින්නේ රූපයත්, ශබ්දයත්, ගඳත්, සුවඳත්, රසයත් ගැනය.

යම්කිසි අරමුණක ඒවා ගැටිලා කාම ලෝකයේ සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිත් ඇතිවේවි යන්නෙ. අරමුණක් නැතිව සිත හැදෙන්නෙ නෑ. අරමුණ කියන්නෙ සිත එල්ලෙන දේ. රූපයක නැතිනම් ශබ්දයක ඒ විධියට සිත ඇලෙනවා.

ඉතින් එහෙම හැදෙන සිත්වලට අප කියනවා කාමාවචර සිත් කියලා.

කෙනෙක් ධ්‍යාන භාවනා කරනවා නම් සිත බැඳී තිබෙන කාම වස්තූන්ගෙන් ඉවත් කිරීමේ බලාපොරොත්තුවෙන්.

උදාහරණයක් වශයෙන් කියතොත් සිත එකඟ කරන භාවනා ක්‍රම හතළිහක් තිබේ. ඒවායින් සෑදූ භාවනාව පුරුදු කරන තැනැත්තා මැටිවලින් සෑදූ සටහනක් එහෙම නැත්නම් ජලය පුරවන ලද කට පළල් භාජනයක් දෙස හෝ එහෙමත් නැත්නම් එළියක් දිහා බලමින් සිත එකඟ කරනවා. එහෙම වුණාම අනික් සියලු ම දේ අත්හැරලා සිතට පේන එම ද්‍රව්‍ය කෙරෙහි සිත ඇළිලා පවතිනවා. ඉතින් මේ ක්‍රමය පුරුදු කරාම එහිම සිත රැඳෙනවා. අන්තිමේදී ඒක සිතට පෙනෙන්ට වෙනවා. ඊට පස්සේ ඒ සිත එකඟ කිරීමට යොදා ගත් දේ අතහැරල යොදා ගත් සටහන දිහා සිතෙන් බලනවා.

දැන් මෙතෙන්දි සළකන්න ඕන, මුලින්ම සාමාන්‍ය මිනිහෙක් දිහා බලන දේවලට වඩා මේ ධ්‍යාන භාවනාවලට ගත් අරමුණට නැමුණු සිත ගොරෝසු කමින් අඩුයි. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්න කොට ඒකේ සටහන සිතට පෙනෙන්න වුණාම සිතට පෙනෙන අරමුණ නැවත සිතින් බලමින් ඇතිවන සිත අර සියලුම සිත්වලට වැඩිය සියුම් අර මුලින් ඇති වූ ගොරෝසු ගතිය එහි නෑ. දැන් ඉතින් අර හරියට පෙනෙන අරමුණ දිහා සිතින්ම බලමින් ඒ අරමුණෙහිම සිත පිහිටුවමින් ඒ පිළිබඳව ම සිත එකඟ කරමින් ටික කලක් ඉන්න විටදි රාගාදී කිසිම ක්ලේශයක් නැති නිසා ඒ සිත බොහෝ දුරට පිරිසිදු වෙලා ඒ නිසාම සිතට පෙනෙන අරමුණත් එළියත් පෙනෙන්න වෙනවා. දැන් සිතට පෙනෙන එළිය කෙරෙහි තදින් සිත බඳිනවා. අන් සියල්ලම අමතක කරල එහිම සිත බැඳලා පැය ගණන් ඉන්නට ඔහු පුරුදු වෙනවා.

ඒ තත්ත්වයෙන් ඉන්න විට ඔහුට වට පිටාවේ කිසිම දෙයක් ඇහෙන්නේ දැනෙන්නෙ පේන්නෙ නෑ. ඔහුගේ සිත අර ආලෝකයේ බැඳිලා ඒ දිහාම බලමින් ඉන්න නිසා වෙන කිසිම ක්ලේශයකට බැඳෙන්න ඉඩක් නෑ. මොකද අරමුණ අර එළියෙහි බැඳිල තියෙන නිසා.

දැන් ඒ සිතට පේන එළිය ටික ටික ලොකු වෙන්න කියල සිතා ගන්නවා. එහෙම සිතාගෙන ඒ තැනම සිත බැඳල පවත්වන කොට ආලෝකය විශාල වී පේන්න පටන් ගන්නවා.

එතැන එන්නේ එළියක් ලොකුවීමක් නොවේ. සිතේ පරිකල්පනයක්. ඒ ප්‍රමාණයට මහත් වූ එළියෙහි සිත තදින් බැඳලා බොහෝ වෙලා ඒකෙහිම සිත නතර කරවන්න ඔහු උත්සාහ කරනවා.

මම නිදර්ශනයක් කියන්නම් ලීයකට ඇණයක් ගැහුවොත් තදින් ඒ ඇණය ලීයෙහි කාගෙන හෙල්ලෙන්නෙ නැතිව තදින් පවතිනවා.

අන්න ඒ වගේ අර සිතට පේන එළියෙහි සිත කාගෙන ගොහින් සිත බැඳිලා හෙල්ලෙන්නෙ නැතුව එළිය දෙස බලමින් සිත පවතිනවා. සිතට පේන එළිය වට්ටියක් කුල්ලක් ප්‍රමාණයට ලොකු වුණාම කලින්ට වඩා එහි සිත තදින් බැඳී පවතිනවා. ඔහු කැමති ඒ විදියට තවත් විශාල කරගන්න පුළුවන්.

යම් තරම් දුරට සිතේ එකඟකම දියුණු වුණාම සිතේ කාමාදී කෙලෙස් බොහොම ඈත් වී යනවා. විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන ප්‍රධාන අංග පහ සිතේ තදින් වැඩ කරනවා. ඔය අංග පහෙන් යුක්ත වෙන කොට ක්ලේශයන් බොහෝම යටපත් වෙනවා.

මේ අවස්ථාවට අපි කියනවා පළමුවන රූපධ්‍යාන අවස්ථාව කියල. මේ අවස්ථාවේදී සිත කලින් හටගත් සිතිවිලිවලට වඩා හුඟාක් සියුම්. කලක් අරමුණෙහි සිත හොඳට පුරුදු කරන කොට අර විතර්ක නමැති සිතේ අරමුණු ඕනකමක් නන්වන අවස්ථාව නැතිව ඕනෑම විවේකයකදි මතක් වනවිට ආලෝකයට ගැටිල සිත ඇතිවෙන්න පටන් ගන්නවා. මේකට කියනවා පළමුවන රූපධ්‍යාන අවස්ථාව කියල. තවදුරටත් ඒක හොඳට සිතට පුරුදු වුණාම අර විතර්ක කියන අංගය විචාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතා නැති අනිත් අංග අතරින් සිත ඇතිවෙනවා. සිතේ එළිය නැවත නැවත පිහිටුවමින් එය උත්සාහ කරන කොට අර විචාරයක් නැතිව ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනෙනුත් සිත ඇතිවෙනවා. ඒ සිතින් එළිය දිහා බලමින් කලක් ඉන්න කොට ප්‍රීතිය නැතිව සුඛ ඒකාග්‍රතා කියන අංග දෙකින් යුක්තව සිත ඇති වෙන්න පටන් ගන්නවා.

ඔය ක්‍රමයට සිත එකඟ කරන කොට සුඛ වේදනාව නැතිව ඒ වෙනුවට උපේක්ඛා ( මධ්‍යස්ථ බව ) ඇතිව සිත ඇතිවෙන්න පටන් ගන්නවා. එය එකඟකමේ ඉහළට ගිය පස්වැනි අවස්ථාවයි. ඒ තත්ත්වයෙන් පවත්නා සිත කලින්ට වඩා බොහෝම සියුම්. සිතේ ගොරෝසු ගති අඩුවෙලා. පංචමධ්‍යාන සිත යනුවෙන් එය හඳුන්වනවා.

එම තත්ත්වයෙන් ඉන්න තැනැත්තා මගේ සිත එළියක් කෙරෙහි බැඳිල පවතින්නෙ මේකත් ගොරෝසුයි. මීට වඩා සිත සියුම් කළ යුතුයි කියා සිතනවා. එහෙම සිතල හිතට පෙනෙන මනෝමය ආකාසයෙහි හැමතැනම පැතිරෙන්න කියල

මෙසේ ටික දවසක් උත්සාහ කරන විට තමාගේ බලාපොරොත්තුව හරි යනවා. මනෝමය ආකාසේ එළිය හැම තැනම පැතිරිලා පේන්න වෙනවා. තමා ඇතුළතත් තමාගේ පිටතත් දැන් ඇත්තේ එළිය. ඒ අයුරින් ඔහුට පේන්නෙ. දැන් ඉතින් එයා අධිෂ්ඨාන කරනවා මේ අනන්තව පැතිර ඇති කසිනාලෝකය අතුරුදහන් වේවා කියා නොපෙනී හිස් අහස පමණක් පෙනේවා කියල. මෙසේ ටික දිනක් උත්සාහ කරන කොට ඒ අදහස හරි යනවා.

සිතට අර එළිය නොපෙනී හිස් අනන්ත ආකාසය විතරක් පේන්න වෙනවා. කලින් තිබූ කසින එළියෙන් ඉවත් කිරීමෙන් පෙනෙන්නාවූ අහසයි ඒ. දැන් අනන්තවූ හිස් අහස ඉතාම සියුම් අරමුණක්. ඒ අරමුණෙහි බැඳුණු සිත් අනිත් සිත්වලට වඩා සියුම්. දැන් අරමුණ සියුම් වෙන්න වෙන්න සිතත් සියුම් වෙනවා. මේ අනන්ත ආකාසයෙහි බැඳී පවත්නා සිතට ආකාස අනන්තායතන හිත යනුවෙන් නම් කැරෙනවා.

ඉතිරි කොටස මැයි 02 වන දා පත්‍රයේ පළ වේ