Print this Article


ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013 බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය

ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය

2013 වසරේ පැවැත්වීමට නියමිත දහම් පාසල් ධර්මාචාර්ය විභාග විෂය නිර්දේශයට අදාළව ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව සහ පිළිතුරු පත්‍ර අද සිට පළ වේ.

1. අ) මහාදේව තෙරුන්ට ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවන්නේ කවර හේතූන් නිසා ද?

ආ) ඒ හිමියන් නිසා උද්ගත වූ විශේෂ සිදුවීම කුමක්ද?

2. අ) ගෝකූලික නිකායයෙන් බෙදී ගිය අලුත් ශාඛා දෙක නම් කරන්න.

ආ) මේ නිකාය දෙක පැන නැගීමට කවර කරුණක් හේතු වූවා සේ සැලකේ ද?

3. අ) සර්වාස්තිවාදීන්ට සහාය වෙමින් ඔවුන්ගේ සංගායනාවට අනුග්‍රහ දැක් වූ භාරතීය රජතුමා කවුුද?

ආ) මේ සංගායනාව පැවැත් වූ ප්‍රදේශය නම් කරන්න.

4. අ) ආචාර්ය ශාන්තිදේවපාදයන් අයත් වූයේ කවර මහායාන බෞද්ධ සම්ප්‍රදායකටද?

ආ) එතුමා ලියූ ග්‍රන්ථ අතුරින් දෙකක් නම් කරන්න.

5. අ) බුදුරදුන්ගේ සහෝදර නන්ද කුමරුගේ පැවිදි වීම ආදී විස්තර ඇතුළත් කොට සංස්කෘත භාෂාවෙන් රචිත කාව්‍යයේ නම කුමක්ද?

ආ) මෙහි කතුවරයා කවරෙක් ද?

6. අ) සිංහල සංඝ පරපුර බිහිවූයේ අග්නිදිග ආසියාවේ කවර රටක ද?

ආ) මේ කාලයේ දී එම රටෙහි රජතුමා කවරෙක්ද?

7. අ) කල්‍යාණි ශිලා ලිපිය දක්නට ලැබෙන්නෙ කවර රටකද?

ආ) මේ ශිලා ලිපියේ නිර්මාතෘවරයා නම් කරන්න.

8. අ) බුදුසමය පළමුවෙන්ම කොරියාවට රැගෙන ගිය චීන ජාතික භික්‍ෂූන් වහන්සේ නම් කරන්න.

ආ) මේ වකවානුවේ දී කොරියාවේ විසූ පාලකයාගේ නම කුමක් ද?

9. අ) වෛතුල්‍යවාදී මත ඛණ්ඩනය කිරීම සඳහා භාරතයේ සිට ලංකාවට වැඩම කළ පැවිදි ආචාර්යවරයන් වහන්සේගේ නම කුමක්ද?

ආ) මෙකල ශ්‍රී ලංකාව පාලනය කළ රජතුමා කවරෙක් ද?

10. අ) පරමත්ථ ජොතිකාවට පාදක වූ ත්‍රිපිටක ග්‍රන්ථය කුමක්ද?

ආ) සංයුක්ත නිකායට ලියවුණු අටුවාවේ නම කුමක්ද?

පිළිතුරු

1. අ) මහාදේව තෙරුන් වහන්සේ ථෙරවාද භික්‍ෂූන්ට විරුද්ධව අරහත් සංකල්පය පිළිබඳ කරුණු 05 ක් ඉදිරිපත් කිරීම.

ආ) මහායාන අදහස්වල බීජ ජනිත වී නිකාය භේදයේ පදනම සකස් වීම, නිකාය භේදය ඇතිවීම.

2. අ) බහුශ්‍රැතියෝ, ප්‍රඥප්තිවාදියෝ

ආ) කල්යාමේ දී ඇති වූ අභිධර්මය පිළිබඳ ගැටලු හේතු කොටගෙන මේ නිකාය දෙක බෙදීයන්නට ඇත.

3. අ) කණිෂ්ක රජතුමා

ආ) භාරතයේ කාෂ්මීරයේ දී

4. අ) මාධ්‍යමික බෞද්ධ සම්ප්‍රදායට

ආ) ශික්‍ෂා සමුච්චය, සූත්‍ර සමුච්චය, බෝධිචර්යාවතාරය

5. අ) සෞන්දරා නන්ද කාව්‍ය

ආ) භදත්ත අශ්ව ඝෝෂ ආචාර්යවරයා

6. අ) බුරුමය (මියන්මාරය)

ආ) අනෞරථ රජතුමා

7. අ) බුරුමය හෙවත් වර්තමාන මියන්මාරය

ආ) ධම්මචේතිය රජතුමා

8. අ) සුනන්දෝ හිමියන්

ආ) කොරෙයි රජතුමා

9. අ) ජොතිපාල නම් ආචාර්යවරයා

ආ) පළමු වන අග්බෝ රජු

10. අ) සුත්ත නිපාත/ කුද්ධකපාඨ

ආ) සාරත්ථප්පකාසිනි

රචනා ප්‍රශ්න - 02 කොටස

2. ධ්‍යානී බෝධිසත්වවරුන් ගැන හැඳින්වීමක් කරන්න.

මහායානික ග්‍රන්ථවල ධ්‍යානී බෝධිසත්වවරුන් පිළිබඳව විස්තර සඳහන් වේ. එම ග්‍රන්ථවලට අනුව එම බෝසත්වරු අසීමිත බව දක්වා තිබේ. ඔවුන් අතුරින් ප්‍රධානම බෝසත්වරුන් කීප දෙනෙකුගේ නම් මහායාන සාහිත්‍යයේ දක්නට ලැබේ. එනම්,

අවලෝකිතේශ්වර, ආකාශගර්භ, වජ්‍රගර්භ, ක්ෂිතගර්භ, සර්ව නිර්වාණ විෂ්කම්භ, මෛත්‍රෙය, සමන්තභද්‍ර, මඤ්ජු ශ්‍රී

ඇතැම් මහායාන සූත්‍රවල ධ්‍යානී බෝසත්වරුන්ගේ සංඛ්‍යාව මීට වෙනස් ය. මහායාන බෞද්ධයෝ මේ බෝධිසත්වයන් දෙවිවරුන් මෙන් අදහති. මෙම බෝසත්වරුන්ට මුද්‍රාවක් ද සංකේතයක් ද, වාහනයක් ඇත. ධ්‍යානී බෝසත්වරුන් අතර ප්‍රධාන අය ලෙස ගරු බුහුමන් වලට බඳුන්ව සිටිනුයේ අවලෝකිතේශ්වර හා මඤ්ජු ශ්‍රී යන බෝසත්වරු දෙපළය. සමහර කරුණු වලින් අවලෝකිතේශ්වර ප්‍රධාන වේ.

සමහර කරුණු වලින් මඤ්ජු ශ්‍රී ප්‍රධාන වේ. මහායාන බුදු සමය ලක්දිවට පැමිණීමේ දී මේ බෝසත්වරු ද හඳුන්වා දෙන ලදහ. කාලයාගේ ඇවෑමෙන් මේ බෝසත්වරුන්ගේ් ස්වරූපය ශ්‍රී ලංකාවට ගැළපෙන ලෙස සකස් වූ බව පෙනේ. ලංකාවේ දී අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් උපුල්වන් නාථ දෙවියන් බවට පත්විය. සමන්තභද්‍ර බෝධිසත්වයෝ සමන් දෙවියන් වූහ.

3. භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ආරම්භය පිළිබඳ විස්තරයක් කරන්න.

නාලන්දාව බුදුරදුන් දවස සිටම බෞද්ධ ආභාෂය ලැබූ ගම්මානයක් ලෙස හැඳින්විය හැකි ය. ඓතිහාසික තොරතුරු වලට අනුව නාලන්දා මහා විහාරය ශක්‍රාදිත්‍ය හෙවත් පළමු වන කුමාරගුප්ත රජතුමා විසින් ගොඩනඟන ලදී. දහවන ශත වර්ෂය වන විට නාලන්දා විශ්වවිද්‍යාලය 10,000කට නේවාසික පහසුකම් සැපයූ විශාල විද්‍යාපීඨයක් බවට පත්ව තිබුණි.මෙම විශ්වවිද්‍යාලයේ සියලුම ගොඩනැඟිලි මහල්වලින් යුක්ත විය. නේවාසික සරසවියක් වූ මෙහි සියලු දෙනාම මහායානික ග්‍රන්ථයන් උගනිති. මෙහි නේවාසික පිරිසෙන් 1510ක් ආචාර්යවරුය. එම ආචාර්යවරුන්ට සූත්‍ර හා ශාස්ත්‍ර ග්‍රන්ථ කාණ්ඩ 20ක් විස්තර විවරණ සහිතව පැහැදිලි කළ හැකිය. ආචාර්ය මණ්ඩලයේ උපස්ථානය සඳහා ‘මානව‘ නමින් හැඳින්වෙන පිරිසක් සිටියහ. ශිෂ්‍යයන් 7000ක් පමණ ඉගෙනීමෙහි නියැළී සිටියහ. ගිහි පැවිදි දෙපිරිසම සිටියහ. දේශීය හා විදේශීය, බෞද්ධ, මෙන්ම අබෞද්ධ ශිෂ්‍යයෝ මෙහි සිප් සතර හදාළහ. නාලන්දාවෙහි ඉගෙනීම කළ සිසු පිරිස කොටස් තුනකට වර්ග කළ හැකි ය.

1. මූලික අධ්‍යාපනය වෙනත් ගුරුකුලයකින් ලබා අවුරුදු පහළොව සම්පූර්ණ වූ පසු නාලන්දාව අවට ශිෂ්‍යයෝ මෙහි ඇතුළත් වූහ. පුරා අටවසරක් ඔවුහු උගනිති.

2. මූලික හා ද්විතීක අධ්‍යාපනය නිම කළ වයස අවුරුදු 20 සපිරුණු පසු උපාධි අපේක්‍ෂාවෙන් ඇතුළත් අය. මොවුහු අවුරුදු 3ක් පාඨමාලා හදාරා විසිර යති.

3. දේශීය හා විදේශීය වෙනත් අධ්‍යාපන ආයතන වල සිප් සතර හදාරා පශ්චාත් උපාධි අපේක්‍ෂාවෙන් ඇතුළත් වන අය වශයෙනි.

නාලන්දා විශ්වවිද්‍යාලයේ ප්‍රවේශය අතිශයින් තියුණු ය. එයට හේතුව මෙහි ඇදී ආ ශිෂ්‍ය පිරිස විශාල වීමය. විෂයධාරා පහක් යටතේ අධ්‍යාපනය ලබා දී ඇත.

1. භාෂා අධ්‍යයන විෂය ධාරාව.
2. බුද්ධ ධර්මය විෂය ධාරාව
3. දර්ශන විෂය ධාරාව
4. ලෞකික විද්‍යා විෂය ධාරාව
5. ලලිත කලා විෂය ධාරාව වශයෙන් දැනුම ලබාදීම සඳහා අධ්‍යාපන ක්‍රම කිහිපයක් අනුගමනය කර ඇත.

1. දේශන ක්‍රමය
2. විවාද ක්‍රමය
3. පෞද්ගලික සාකච්ඡා ක්‍රමය යනුවෙනි.

නාලන්දා විශ්වවිද්‍යාලය සතුව ‘ධර්මගඤ්ජ’ නමින් විශාල පුස්තකාලයක් තිබුණ අතර රතනසාගරී, රත්නෝදදී, රත්නරංජන නමින් මන්දිර 3කින් එම පුස්තකාලය සැදුම් ලද්දේ ය.

මෙම විශ්වවිද්‍යාලයේ මුල්ම වියතුන් අතර අසංග, වසුබන්ධු යන දෙනමට ප්‍රමුඛස්ථානයක් හිමි වෙති. ටිබෙට්, චීනය ආදී රටවල් රැසකම මෙයින් උගත් පඩිවරු ධර්මදූත සේවාවේ ගියහ. 13 වන සියවසේ මෝගල් ආක්‍රමණික භක්තියාර් ඛල්ජි මෙම විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන් විනාශ කළහ. වසර දහසක් පමණ භාරතීය ජනතාවට ධර්මාලෝකය හා ශාස්ත්‍රාභිලෝකය බෙදා දුන් මෙම විශ්වවිද්‍යාලය ආසියාව පුරා කීර්තිරාවය පැතිර වූ ශ්‍රේ්ෂ්ඨ බෞද්ධ අධ්‍යාපන ආයතනයක් විය.

4. බුද්ධ ප්‍රතිමාවෙහි ආරම්භය දක්වා ගණ්ධාර හා මථුරා බුද්ධ ප්‍රතිමාවන්හි වෙනස්කම් ගෙන හැර දක්වන්න.

බුදුපිළිමය උද්දේසික වශයෙන් බුදුරදුන් පිදීම සඳහා යොදාගනු ලැබේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් පහක් ගතවනතුරු බුදුපිළිම නිර්මාණය කර නොතිබුණි. මුලදී ප්‍රතිමා වෙනුවට යෙදුයේ බෝධිය, වජ්‍රාසනය, ත්‍රිරත්නය, සිරිපතුල වැනි සංකේතයන් ය.

මුල්ම බුද්ධරූප වශයෙන් සැලකෙන්නේ කණිෂ්ක රජුගේ කාසිවල හා ඔහු විසින්ම නිර්මාණය කරන ලද ධාතු කරඬුවක ඇති බුද්ධ රූපයයි. ගී‍්‍රක රෝම කලාවේ ආභාෂය ලබා මේවා නිර්මාණය කර ඇත. මීට සමකාලීනව මථුරාවලද බුදුපිළිම නිර්මාණය ආරම්භ වී තිබුණි. කෝසල බිම්භ වර්ණනාවේ සඳහන් වන ආකාරයට පළමුව කොසොල් රජු විසින් සඳුන් අරටුවකින් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන ලද බවද සඳහන් වේ.

ගන්ධාර බුදුරුවෙහි ලක්‍ෂණ

1. මහාකාරුණික ලීලාව දක්වයි.
2. ආභංග හෙවත් මදක් නැමුණු කෝමල සිරුර
3. අත් සංවරව සිරුරට ලංව ඇත.
4. නෙත් අඩවන් ය. තොල් සිහින් ය. පරිමාණානුකූල කම්මුල් ය.
5. හිසකෙස් ස්වාභාවික ය.
6. චීවරය ශි‍්‍රක මෝගාවකට
7. පද්මාසනය කුඩා නෙළුම් මලක් මත දුෂ්කරව වැඩ සිටින විලාසයකි.

මථුරා බුදුරුවෙහි ලක්‍ෂණ

1. ශාක්‍ය සිංහ ලීලාව දක්වයි.
2. සමභංග හෙවත් සෘජු, මදක් අසංවර ලෙස දෙපා පැත්තට තබා ගත් ලීලාව.
3. දෑත් සිරුරට ඈත් ය.
4. නෙත් විවෘතය. තොල් මහත් ය. කම්මුල් පිම්බී ඇත.
5. හිසකෙස් ශෛලිත ක්‍රමයට කැරලි ගැසී ඇත.
6. විනිවිද පෙනෙන තරම් දුහුල් සිවුරක් දරා ඇත.
7. පද්මාසනය නෙළුම් මලක් මත වැඩ සිටීම.

මතු සමිබන්ධයි