Print this Article


මෙගොඩ කළුගමුව ශ්‍රී සීලවිමල දහම් පාසල

මෙගොඩ කළුගමුව ශ්‍රී සීලවිමල දහම් පාසල


මෙගොඩ කළුගමුව ශ්‍රී සීලවිමල දහම්පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහනුවර ‘චන්ද්‍රරත්න පදනමෙන්’ ලබා දුන් නිල ලාංඡන, පදනමේ සභාපති, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ජගත් චන්ද්‍රරත්න මහතා විසින් ශිෂ්‍යාවකට පළඳවද්දී ආචාර්ය සුළුගුණේ පේමරතන හිමියෝද උත්සව සභාව මෙහෙයූ නිලධාරියාද අසළ සිටිති.

මහනුවර දිසාවේ දොළුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල ප්‍රදේශයේ මෙගොඩ කළුගමුව පුරාණ බෝධිමළු විහාරස්ථ ශ්‍රී සීලවිමල දහම් පාසල් ආචාර්ය මණ්ඩලය 12 දෙනෙකුගෙන් සමන්විතය.

අපවත් වී වදාළ විහාරාධිපති ගොඩකන්දේ සීලවිමල මා හිමියන් වැඩ සිටි කාලයේ වසර 25 කට පෙර පිහිටුවා ලූ මෙම දහම් පාසල, ප්‍රදේශයේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නඟා සිටුවීමට මෙන්ම වැඩිහිටියන් දක්වා අධ්‍යාත්මික ගුණවගාවන් ප්‍රගුණ කරවන්නට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

දැනට මෙම දහම්පාසල දියුණුකිරීම සඳහා දානපතියන්ගේ හා සම්භාවනීය පිරිසගේ අවධානය යොමු වී ඇති අතර විශේෂයෙන් දහම් පාසල් දරුවන් උනන්දු කරලීමේ බලාපොරොත්තු ඇතිව ඒ අයගේ සුළු දිවා ආහාරයක් වශයෙන් ‘බනිස්’ ලබා දීමට පියවරගෙන ඇත. මේ හැර සෑම පොහෝ දිනකම පෙහෙවස් සමාදන්වන උවැසු උවැසියන් හටද පිහිඹියහේන වැඩිහිටි නිවාසයේ නේවාසිකයන්ටද මෙම සංග්‍රහය නොකඩවා පවත්වාගෙන එන බව මෙහිදී විශේෂයෙන් මතක්කර දිය යුතුයි.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණූගම මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ජගත් චන්ද්‍රරත්න මහතා ද ‘චන්ද්‍රරත්න පදනමෙන්’ ශ්‍රී සීල විමල දහම් පාසල සඳහා ප්ලාස්ටික් පුටු පරිත්‍යාගයක් ද කරමින් දහම් පාසල් සිසුන්ට ලබා දුන් නිල ලාංඡන පැළඳවීමක්ද ඉකුත් දා (24) පිළිමතලාව ඌරාපොල ශ්‍රී අභයරාජ පිරිවෙනේ ආචාර්ය සුළුගුණේ පේමරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළහ.