Print this Article


වැලිගල්ල ඇල්පිටිය ශ්‍රී සුමංගල දහම් පාසල

වැලිගල්ල ඇල්පිටිය ශ්‍රී සුමංගල දහම් පාසල


විහාරාධිපති අඹගමුවේ සෝරත හිමි

කන්ද උඩරට රාජධානියේ පසෙකින් දළදා සමිඳුන් වැඩ සිටිනා සෙංකඩගල පුරවරයයි. අනෙක් පසෙන් ශ්‍රී පාද කඳු මුදුන ද අම්බුළුවා ජෛව විවිධත්ව සංකීර්ණ කඳු මුදුන ද පිහිටා ඇත. තවත් පසෙකින් මහවැලි ගඟ ගලා බසියි. මේ අතර වැලිගල්ල ඇල්පිටිය ගම්මානයේ තේ වත්තක් මධ්‍යයේ පිහිටා ඇති පොත්ගුල් විහාරස්ථානයේ ශ්‍රී සුමංගල දහම් පාසල සුවිශේෂී වෙයි.

ප්‍රධානාචාර්ය හිමි සමඟ ආචාර්ය මණ්ඩලය

දහම් පාසල් දරු දැරියන්

බෞද්ධ දරු පිරිසකට දහම් අධ්‍යාපනය ලබා දෙන ගම්පල වැලිගල්ල ඇල්පිටිය ශ්‍රී සුමංගල දහම් පාසල වසර 25ක් සපුරා ඇත. ප්‍රදේශයේ දහම් පාසල් අතුරෙන් මෙම දහම් පාසල දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.

කලක් වැසී තිබුණු මෙම දහම් පාසල විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අඹගමුවේ සෝරත හිමියන් යළි ආරම්භ කර ඇත. අද වන විට වසර 25ක් පුරා විවිධ දුෂ්කරතා මධ්‍යයේ මෙම දහම්පාසල ජය ටැඹ කරා පැමිණ ඇත. සෑම පසළොස්වක පොහොය දිනකම විවිධ වැඩසටහන් අරඹමින් දරුවන් නිසි මඟකට යොමු කිරීමට පියවර ගන්නා අතර ගමේ ආගමික, ජාතික, සාමාජික, සංස්කෘතික ක්‍රියාකාරකම් වලදී දරුවන් ඉදිරිපත් කිරීමට පියවර ගනී. දහම් පාසල් ප්‍රධාන අනුශාසක ධුරය විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අඹගමුවේ සෝරත හිමි සහ දහම් පාසල් ප්‍රධාන ආචාර්ය ධුරය ගෞරව ශාස්ත්‍රවේදී දුම්බරගම ධම්මරතන හිමියන් දරයි. දැනට ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලය 17ක් පමණ සේවය කරති.

2013 මාර්තු 03 වන දා වසර 25 ක් සපිරුණු මෙම දහම් පාසලේ අති උත්කර්ෂවත් උළෙලක් ද පැවැත්විණි. එහිදී පිදිය යුත්තන් පිදීම දරුවන්ට කියා දෙමින් ප්‍රවීණ ගුරුවරුන් කැඳවා උපහාර පිදීමක් සහ දහම් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් ප්‍රදානය කිරීමක් සිදු කරන ලදී. දහම් පාසලේ දූ දරුවන්ට සහතික සම්මාන ලබාදීම මෙන්ම දරුවන්ගේ දක්‍ෂතා එළි දැක්වීමත් මෙහිදී සිදු කරන ලදී.

දහම් පාසලේ දියුණුව වෙනුවෙන් විහාරාධිපති හිමි, ගම්වාසීන් හා ප්‍රදේශවාසීන් සහ ප්‍රාදේශීය ප්‍රභූවරුද විශාල දයකත්වයක් දක්වති. ගමට මිණි පහණක් වූ මෙම දහම් පාසල දිනෙන් දින දියුණුව කරා පියමන් කරයි.