Print this Article


පුවක්පිටිය මිරිස්වත්ත ශ්‍රී ජීවකාරාමය ගොඩනඟන්නට අත දෙමු

පුවක්පිටිය මිරිස්වත්ත ශ්‍රී ජීවකාරාමය ගොඩනඟන්නට අත දෙමු


වරිච්චි බැඳ කටුමැටි ගසා තනා ඇති ආවාසය

කුඩා ධර්ම ශාලාව

අතීත සීතාවක රාජධානියට අයත් අවිස්සාවේල්ල හංවැල්ල සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වූ මිරිස්වත්ත ග්‍රාමය, සීතාවක රාජසිංහ යුගයේදී ‘මිරිස් වැවූ ග්‍රාමය’ වූයේ යැයි සමහරුන්ගේ මතයයි. මීට යාබද ග්‍රාමය වන (අස්වත්ත) ඇස්වත්ත නම් ගම්මානය අශ්වයන් ගාල් කළ ප්‍රදේශයයි. කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ පුවක්පිටිය හා කොස්ගම අතර මිරිස්වත්ත ග්‍රාමය පිහිටා ඇත. මහා මාර්ගය හරහා දුම්රිය මඟ වැටී තිබෙන මිරිස්වත්ත හන්දියෙන් හැරී කිලෝමීටරයක පමණ දුරක් පැමිණි තැන දර්ශනීය භූ®මි පසුතලයක පිහිටි ශ්‍රී ජීවකාරාමය හමුවේ.

වසර 30 ක් පැරැණි ශ්‍රී ජීවකාරාමයෙහි විහාරාංග නිසිපරිදි ගොඩනැඟීමට තවමත් නොහැකි වී ඇති බව කිව යුතුය. ඒ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ විහාරයේ නඩත්තු කටයුතු කරගෙන යෑමට සිදුව තිබෙන නිසාය. පින් කැමැති ප්‍රදේශවාසින්ගේ ආර්ථික අපහසුතා හේතුවෙන්ද දාන මානාදි ප්‍රත්‍ය පහසුකම් පවා හරි හැටි නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇත.

ශ්‍රී ජීවකාරාමයෙහි දැනට භික්ෂූන් වහන්සේ පස් නමක් වැඩ වාසය කරති. විහාරාධිපති මහගල්කඩවල පියනන්ද හිමියෝ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ශාසනික ප්‍රතිපදාවෙහි පුහුණු කරවන අතර විහාරයේ දියුණුව සඳහාද මහත් වෙහෙසව කටයුතු කරති. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ අතරින් තුන් නමක්ම විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපනය සහ ප්‍රාථමික අධ්‍යාපනය හදාරන හිමිවරු වෙති. උන්වහන්සේද අධ්‍යාපන කටයුතු සිදුකරන අතරතුර දිවා රෑ වෙහෙසෙමින් විහාරයේ දියුණුව වෙනුවෙන්ද කැපවෙති.

මේ සියලු ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් බෝධි ප්‍රාකාරය, විහාරස්ථානයට පිවිසුම් මාර්ගය, ළිං සහ නළ ජල පහසුකම්, විදුලිය, දුරකථන, දහම්පාසල සඳහා තාවකාලික මඩු, තාවකාලිකව කටුමැටි ගසා සැකසූ ආවාසයක් ආදිය ඉදිකරගැනීමට හැකිවී ඇත. ධර්ම ශාලාවේද අඩක් වැඩ නිමවා තිබේ. ස්ථීරව ඉදිකරනු ලබන දැනට අඩක් වැඩ නිමවා ඇති සංඝාවාසයේ ඉදිකිරීම් කටයුතු වසරකට අධික කාලයක සිට අත්හිටුවා අත්තේ ආර්ථික අපහසුතා හේතුවෙනි.

ප්‍රදේශවාසි බෞද්ධ පිරිස් ඇතුළු සැමට වැඳ පුදාගනු පිණිස බුද්ධ මන්දිරයක් සහ චෛත්‍යයක්ද ශ්‍රී ජීවකාරාමයෙහි ගොඩනැඟිය යුතුව තිබේ. ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් ඇති ධර්මශාලාවක්, දහම් පාසල් ගොඩනැඟිලි, පුස්තකාල පහසුකම්, ඝණ්ඨාර කුලුනක්, ගිනිහල් ගෙයක් හා වැසිකිළි පහසුකම් ආදියද ලබාදිය යුතුව ඇත.

මේ පුණ්‍ය කටයුත්ත සඳහා දායක වීමට පින්වත් දානපතින් හට අවස්ථාව සැලසී තිබෙන අතර විහාරස්ථානයට පැමිණ කටයුතු සොයාබලා උපකාර කරන්නේ නම් එය ශාසනයේ දියුණුවට මහත් රුකුලක් වන බව විහාරාධිපති හිමියෝ සිහිපත් කර සිටිති. විහාර කාර්ය සාධක සමිතියේ සහ කුලඟන සමිතියේ පින්වත් පිරිසද මේ කටයුත්තෙහි ලා දානපති පින්වතුනට සිය සහයෝගය ලබාදීමට සැදී පැහැදී සිටිති.