Print this Article


ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි

ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ 70 වන ජන්ම දිනය අප්‍රේල් මස 05 දිනට යෙදී තිබිණි.

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරය,කතරගම කඳසුරිදුගම විහාරමහාදේවි සෑයද කතරගම ආසිරිබෝධි විහාරය හා පානදුරේ බෝධි චේතියාරාමය යන විහාරයන්හි අධිපති ධුරය දරමින් විශාල ශාසනික සේවාවක් ඉටු කරන මහා තෙරනමකි. කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් ලොකු කුඩා සැමදෙනා අතර වියත් මහා පඬිවරයෙක් වශයෙන් ප්‍රචලිතය.

හුංගම නගරයට ආසන්න අලුත්වැව ගම් පියසේදී 1943 අප්‍රේල් මස 05 දින ජන්ම ලාභය ලැබීය.අලුත්වැව දොන් එළියස් දහනායක විදාන මහතා හා කරුණාවතී දිසානායක මැණිකේ දම්පතීන්ගේ 04 වැනි පුත් රුවන ලෙස වැඩුණේ ය. අලුත්වැව රජයේ පාසලින් මූලික අධ්‍යාපනය ලැබීය. අනතුරුව නාලන්ද, විද්‍යෝදය යන විද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලැබීය.

අලුත්වැව මේධංකර, පරත්තේ ශ්‍රී ආනන්ද, පොළොන්නරුවේ ශ්‍රී රේවත යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් වයස 14 දී 1957 නොවැම්බර් 08 දින පැවිදි බිමට පත්වූහ. ඉන් පසුව විද්‍යාලංකාර, විද්‍යෝදය පිරිවෙන් වලින් අධ්‍යාපනය ලැබීය. 1963 මැයි මස 31 දින මල්වතු පාර්ශ්වයේ මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලැබූහ.

අනතුරුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රාචාර්ය, ශාස්ත්‍රපති, ආචාර්ය උපාධිය ලබා ගත්හ. 1976 දී ගුරු සේවයට ඇතුළත්ව අධ්‍යාපනික සේවා කටයුතු කළේ ය.

කතරගම මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධුරයට පැමිණ 1987 දී එම විදුහලේ විදුහල්පති ධූරයට ද පත් වූහ.

එවකට මහා විද්‍යාලයක්ව තිබූ කතරගම පාසල මධ්‍ය මහා විද්‍යාලයක් හා ජනාධිපති ජාතික පාසලක් දක්වා උසස් තත්ත්වයට ගෙන ඒමට ගත් උත්සාහය සාර්ථක විය.

උන්වහන්සේ විවිධ ක්‍ෂේත්‍රයන් වෙනුවෙන් කරන ලද සේවාවන් හා ශාසනික සේවාවන් ඉමහත් ය. උන්වහන්සේගේ ශාසනික මෙන්ම බොදු කටයුතු සේවාවන් අගය කරමින් මල්වතු පාර්ශ්වයේ මහා සංඝ සභාව විසින් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියද 2003 දෙසැම්බර් මස 24 දින මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් ප්‍රධාන කාරක සංඝ සභාව විසින් “උපාධ්‍යාය” පදවිය ද මංගල උපෝසථාගාරයේ දී පිරිනමන ලදී. කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේ වටා ලක්‍ෂ 20 ක රන්වැටක් ඉදිකරන ලදී.

කතරගම ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ හා මොනරාගල හා හම්බන්තොට දෙදිසාවේ විහාරාධිපති සංගමයේ සභාපතිධුරයන්ද කතරගම බෞද්ධ සංගමය, කිරිවෙහෙර මහාසේන සිල් සමිතිය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, ශ්‍රී සංඝමිත්තා කුළඟන සමිතිය, විහාරස්ථ තරුණ බෞද්ධ සමිතිය මුල් ළමාවිය ලේක්හවුස් සරසවි පියස යන සමිති සමාගම්වල අනුශාසක ධුරයන්ද ඇතුළු ප්‍රදේශයේ සමිති සමාගම් රැසක නිලතල දරති. කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපතිව වැඩ විසූ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පරත්තේ ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ අපවත් වීමෙන් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරය හා පානදුරේ බෝධිචේතියාරාමය යන විහාරයන්හි අධිපති ධුරයද 87 ගම් උදාව වෙනුවෙන් ඉදිකරන ලද විහාර මහාදේවී සෑය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමා විසින් පූජා ඔප්පුවක් මඟින් නාහිමියන්ට පූජා කරන ලදී.

ධීවර අමාත්‍යාංශය විසින් පවත්වාගෙන ආ විසිර ගම්මාන වැඩසටහන කතරගම ප්‍රදේශයට ගෙන ඒමට නාහිමියන් පුරෝගාමීවී ඒ පිළිබඳව දැඩි කැපවීමකින් කටයුතු කර ගම්මාන කීපයකට නිවාස සාදාගැනීමට ආධාර මුදල් ලබා දෙන ලදී.

මැණික් ගඟ කුඩා ගල් අමුණ ප්‍රදේශයෙන් හරස්කර කතරගම ප්‍රදේශයේ ඇති වැව් ජලයෙන් පුරවා යල මහ දෙකම වී ගොවිතැන් කර ප්‍රදේශවාසි ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීමේ භාරදූර කාර්යය රජයේ අනුග්‍රහය ලබා සාර්ථක කරගන්නා ලදී. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමුකර කතරගම නාගවීදිය ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් නව පාලමක් ඉදිකරදීමත් නාගහවීදිය ගම්මානයේ පොල් අතු සෙවිලි කළ කුඩා නිවාස වෙනුවට ස්ථිර නිවාස 200 ක් පමණ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා දාපතියන්ගේ ආධාර උපකාර ඇතිව ඉදිකර එම ගම්මානවල ජනතාවගේ ආර්ථිකය නගාලීම සඳහා ගම්මානය මැදින් ජලය ගලායන ඇළක් ද ලබාදෙන ලදී. නාගහවීදිය ගම්මානය “මහාඝෝෂපුර” නමින් නව ගම්මානයක් ඉදිකර එම ගම්මානයේ ජීවත්වන අයගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කර ගැනීම සඳහා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමුකර ක්‍රීඩා මණ්ඩපයක් සහිත විශාල ක්‍රීඩා පිටියක් ලබාදෙන ලදී.

කතරගම පුද සිරිත් ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය, “බෞද්ධ රෝහණය” හා බෞද්ධ භාවනා යනුවෙන් ඓතිහාසික වටිනාකමකින් යුත් පර්යේෂණ ග්‍රන්ථ 04 ක් පාඨකයාට ප්‍රදානය කර ඇත.

කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ පසළොස්වක පෝදා පවත්වන ධර්මදේශනා “කතරගම කිරිවෙහෙර ධර්මදේශනා” නමින් පොත් කාණ්ඩයක් පළකරවීමත් කතරගම පුදබිමෙන් පලකරනු ලබන ‘කතරගම වෙසක් කලාපය’ ‘කතරගම පුද පෙරහර’ වාර්ෂික සඟරාවන් ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පලවේ. ප්‍රශස්ත ලේඛකයෙක් වශයෙන් ද විද්‍යුත් මාධ්‍ය හරහා කාලීන දේශනයන්ටද සහභාගි වෙමින් නාහිමියන් ඉටුකරනු ලබන සමාජ මෙහෙවර තව තවත් පුළුල්ව කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කතරගම නව නගරයේ පළාත් පාලන විශ්‍රාම ශාලාව කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පවරා ඇත. කතරගම ග්‍රාම සේවා වසම කප්රුක් ග්‍රාමයක් ලෙසින් නම්කර එම ගම්මානයේ පොල් වගා කරන ලදී. කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පෞරාණිකත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව විශාල වැඩ කොටසක් ඉටු කරනු ලබයි. නාහිමියන් විසින් ඉටු කරනු ලබන ආගමික හා සමාජ සේවාවන් අගය කරමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් උපහාර තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

අප්‍රේල් මස 04 දින කිරිවෙහෙර චෛත්‍ය අබියස මල් පහන් ගිලන්පස පූජාවක්ද විහාරස්ථ ධර්ම ශාලාවේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් ද පැවැත්විණි. අපි‍්‍රයල් මස 05 දින අර්ධශතාධික මහා සංඝරත්නය වෙනුවෙන් අටපිරිකර සමඟ මහාදාන පිළිගැන්විණි. 70 වන ජන්ම දින උපහාර උත්සවය කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැතවිණි.

උපහාර තිළිණය කථානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් පිළිගැන්වීම සිදුකෙරේ. උපහාර ග්‍රන්ථය රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා විසින් නාහිමියන්ට පිළිගන්වනු ලබයි.

රුහුණු කතරගම මහාදේවාලයේ කපු ධුරන්දර සාමවිනිසුරු සරත් සෝමපාල රත්නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පද්මසිරි රාජපක්‍ෂ යන මහත්වරු විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල කතරගම පොලීසිය, ස්වේච්ඡා සංවිධාන හා විහාරස්ථ දායක සභාව මෙම කටයුතු සංවිධානය කර ඇත.


බද්දේගම බුද්ධසාර හිමි

ගාල්ල දිස්ත්‍රික්කයේ ගඟබඩ පත්තුවේ ගිංගඟ මිටියාවතේ සශ්‍රීක බිම්පෙතක පිහිටි අගලිය ශෛලතලාරාම මහා විහාරස්ථානයේ ආධිපත්‍යය හෙබවූ ගාල්ල ගඟබඩපත්තුවේ ප්‍රධාන සංඝනායක බද්දේගම පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීමත් සමඟ එම හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වූ ශාස්ත්‍රවේදී පණ්ඩිත බද්දේගම බුද්ධසාර හිමිපාණන් වහන්සේ වෙත ආධිපත්‍යය පැවරුණි.

1933 ජනවාරි මස 04 වැනි දින බද්දේගම නයාපාමුල පදිංචිව සිටි ඇඩ්වින් පාවුල් දිසානායක මහතා සහ ඩොටී සේරසිංහ මහත්මියට ලැබුණු පුත්‍රරත්නය කුඩා කළ සිටම දහමට ලැදි බව පෙන්වා ඇත. 1947 ජනවාරි මස 08 දා බද්දේගම අගලිය ශෛලතලාරාමයේ දී බද්දේගම ශ්‍රී පඤ්ඤාසාර මාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස බද්දේගම බුද්ධසාර නමින් පැවිදි වූහ. ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙණින් මූලික අධ්‍යාපනය ලැබ ගංගොඩවිල විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ඉහළින් සමත් වූහ. 1953 ජූලි මස 15 දා මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලද සේක.

උන්වහන්සේ වතුරවිල ආරණ්‍ය සේනාසනයට වැඩ එහි භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් වූ පිරිවෙණෙහි අධිපතිව කරන ලද අමිල මෙහෙවර ප්‍රසංශනීයය. පණ්ඩිත බුද්ධසාර හිමියෝ ස්වකීය අගලියේ ශෛලතලාරාමය සකලාංග සම්පූර්ණ ආදර්ශවත් ආරණ්‍ය සේනාසනයක් බවට පත්කොට ඇබිල කන්ද සේනාසනය, අටුවගල ආරණ්‍ය යෝගාශ්‍රමය, යට්ටපාත සිරිසුමන සේනාසනය, මෙන්ම පිටිගල සුද්දැල්ලාව ආරණ්‍යයට අනුබද්ධ ආයතන සේ මනාව සංවර්ධනය කොට තිබේ.

සුද්දැල්ලාව සේනාසනය මහා පුණ්‍යභූමිය වෙත පණ්ඩිත බුද්ධසාර හිමියන් 1983.07.25 වැනි දින වැඩම කළහ. පිටිගල ප්‍රදේශයට ආසන්න සුද්දැල්ලාව වන අරණ සංවර්ධනය කිරීමට අතපොත් තබන බුද්ධසාර මා හිමියෝ ලෑලි වලින් වට කරන ලද කුඩා පොල් අතු කුටියකින් සෙනසුන් ගලපාගත්හ. එදා එහි පහසුකම් නොතිබුණි. රාත්‍රියට කුප්පිලාම්පුව පරිහරණය කරමින් අප්‍රමාණ පොත පත ලියූහ. දේශන සකස් කළහ. 2012 ජූලි 25 වැනිදාට සුද්දැල්ලාව ආරණ්‍ය සේනාසනයට වසර 31 ක් පිරුණි. තිස් එක් වසරකට පෙර ලෑලිවලින් වටවූ පොල්අතු මඩුව අද සකලාංග සම්පූර්ණ සැදැහැවතුන්ගේ අප්‍රමාණ පුද පූජා ලබන මහා පින්බිමකි.


නාරම්පනාවේ පඤ්ඤාසාර නා හිමි

උතුරු මාතලේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී නාරම්පනාවේ විමල කීර්ති ශ්‍රී විමලසාර පඤ්ඤාසාර මාහිමිපාණන් වහන්සේ මහනුවර නාරම්පනාව නම් ග්‍රාමයෙහි 1941 මාර්තු 02 දින ආර්.බී. ඒකනායක සහ කේ.එම්. දිසානායක යන දම්පතින්ට දාව ජන්ම ලාභය ලබා ඇති අතර සිය දෙමාපියන් මේ කුමරුවා යූ.බී.ඒකනායක යන නමින් ව්‍යවහාර කර ඇත. මූලික අධ්‍යාපනය සඳහා නාරම්පනාව විදුහලට (විමලරත්න කුමාරගම විදුහලට) ඇතුළත් විය.

උන්වහන්සේ මහවැහැර විහාරාධිපති සද්ධර්මාචාර්ය මහෝපාධ්‍යාය වැහැර විමලසාර හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1951 අගෝස්තු 16 වැනි දින නාරම්පනාවේ පඤ්ඤාසාර නමින් සසුන්ගත විය. සාමණේර නමකට අවැසි මූලික වත් පිළිවෙත් හා බණ දහම් සිය ගුරුදේවයන් වහන්සේගේ පා සෙවනෙහි හදාරා මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙනටත් අනතුරුව වටද්දර ඥාණෝදය මහ පිරිවෙනටද ඇතුළත් විය. එහිදී ප්‍රාචීන මධ්‍යම දක්වා අධ්‍යාපනය ලැබූ අතර භාෂාත්‍රයෙන්ම විශිෂ්ට ලෙස සාමාර්ථ ලබා උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට පිවිස 1965 වර්ෂයේ දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. උන්වහන්සේ උගතමනා බණ දහම් හා වත් පිළිවෙත් ආදිය මනාව ප්‍රඟුණ කර තිබීමත් සපිරුණු විසිවයසින් යුක්ත වී සිටීමත් නිසාවෙන් 1964 මැයි 16 දින මහනුවර අස්ගිරි මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී රාජකීය පණ්ඩිත හාල්යාලේ ශ්‍රී සුමනතිස්ස අනුනා හිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී. අනතුරුව උන්වහන්සේ පිරිවෙන් ගුරු සේවයට ඇතුළත් විය. මුලින්ම ගුරු දිවිය අරඹන ලද්දේ බදුල්ල ප්‍රදේශයේ මීගහකිවුල ආසන්න පිහිටි කිරිවෙහෙර පිරිවෙන් විහාරයෙනි. විහාරස්ථානයෙන් ඈත ප්‍රදේශයක සේවය කිරීම දුෂ්කර වූයෙන් පසුව කු/වෑඋඩ විද්‍යාතිලක පිරිවෙන මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙන ද, පොල්ගහවෙල දෙනගමුව බෝධිගුප්ත පිරිවෙන ද යන පිරිවෙන්හි දසවසරකට අධික කාලයක් ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසට අධ්‍යාපනය ලබා දෙමින් සිටින අතර තුර රජයේ පාසල් ගුරු සේවයට එළඹීමට අවස්ථාව උදා වූ නිසා පිරිවෙන් ගුරු සේවයෙන් ඉවත් වී 1976 වර්ෂයේ සිට පුරා වර්ෂ 20ක පමණ කාලයක් මාතලේ මානිගමුව මහා විද්‍යාලය, මාතලේ මාදිපොළ මහා විද්‍යාලය යන විද්‍යාලවල ගුරු සේවයේ නිරත වූහ.

මෙම කාලසීමාව තුළ විහාරස්ථානයේත් අවට ප්‍රදේශයෙත් ජාතික ආගමික සමාජයීය සේවාවන් රැසක නිරත වෙමින් විහාරස්ථානයට අවැසි සියලු විහාරාරාංග සංවර්ධනය කිරීමට ද සමත් වූහ.

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට පොදු ජන සමාජයේ අභිවෘද්ධියට ද කරගෙන යනු ලබන උදාර මෙහෙවරයන් කෙරෙහි ප්‍රසාදයට පත් ශ්‍යාමෝපාලීවංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වීය විංශත් වර්ගික කාරක සංඝ සභාව මඟින් කීර්ති ශ්‍රී විමලසාර යන ගෞරව නාමය සහිතව උතුරු මාතලේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය 2005 ජූනි මස 25 වන දින පිරිනමන ලදී.